අපලය සහ කර්මය යන වචන දෙක ඇසූ පමණින්ම බොහෝ විට අප සිතෙහි යම් කැළඹීමක්, තිගැස්මක් ඇතිවන බව පෙනීයයි. අපල කාලය යනු අප කරන්නාවූ අකුසල කර්මයන්ට දඬුවම් ලබා දෙන්නා වූ කාලය යැයි හැඳින්වුවහොත් එය නිවැරදිය. මේ කාලවකවානුවේදී විවිධ ආකාරයේ පිංකම් සිදු කිරීමට පෙළඹෙයි. මෙහිදී ප්‍රධාන තැනක් ගන්නේ බෝධි පූජා පිංකම් සහ වයස්ගත පුද්ගලයන්ට, තිරිසන් සතුන්ට දාන මාන දීමේ පිංකම් විශේෂයෙන් සිදුකරනු ලැබේ. ඊට අමතරව පන්සල් යාම, යන්ත්‍ර පැළඳීම, මුදු පැළඳීම, ආදී වූ දේ ද සිදු කරනු ලබයි. මෙම ක්‍රියා සිදු කරනු ලබන්නේ තමන්ට සිදුවන අහිතකර බලපෑම්වලින් මිදීමේ සිත් ඇතිවයි.
බෞද්ධ දර්ශනයේ කර්මය මැනවින් පැහැදිලි කර ඇත. සමහර ආගම් කර්මයක් හා විපාකයක් නැතැයි ඉගැන්වේ. එවැනි ආගම් අකිරියවාදී ආගම් ලෙස බුදු රදුන් හඳුන්වා ඇත. එමෙන්ම සියල්ල සිදුවන්නේ කර්මයෙන්ය යන්න තවත් ආගම් ඉැගන්වුවත් එම ඉගැන්වීම හඳුන්වන පුබ්බේ කත හේතුවාදය ද බුදු රදුන් ප්‍රතික්‍ෂේප කළහ.
මෙම කර්මය හා විපාකය ක්‍රියාත්මක වන්නේ පට්චිච සමුප්පාද මූලධර්මයට අනුව බව උන්වහන්සේ පෙන්වා දුන්හ. සෑම පුද්ගලයෙකු තුළම අවිද්‍යාව, තෘෂ්ණාව ආදී කෙලෙස් පවතින නිසා ඒවා හේතුකොටගෙන යම් යම් අකුසල කර්ම සිදු කරන බැවින් එම සිදුකරනු ලබන කර්මයන්ට විපාකද ඇතිවේ. බුදු දහමට අනුව මිනිසත් කමේ වටිනාකමත්, මිනිසාගේ ඉරණමත් විනිශ්චය කිරීම කෙරෙහිද කර්මය බලපායි.
කර්මය හා විපාකය අතර පවතින සම්බන්ධතාව කිසියම් පුද්ගලයෙකුගේ මෙහෙයවීමෙන් සිදුවන්නක් නොවේ. වැපිරීම අනුව අස්වැන්න ලැබෙන න්‍යාය අනුව ස්වයං ක්‍රියාකාරීත්වයෙන් මෙය සිදුවේ. පුද්ගලයන්ගේ විවිධත්වයත්, පුනර්භවයත් ඇතිවන්නේ කර්මය නිසා ඇති වන විපාකය නිසා බව බුදු දහම දක්වයි. චුල්ලකම්ම විභංග සූත්‍රයේ සඳහන් පරිදි සත්වයෝ තමන් කළ කර්මයෙහි අයිතිකාරයෝ වෙති. කර්මය දායාද කොට ඇත්තාහු වෙති. සත්වයන් ගේ උසස් පහත් බවට හේතුව ද කර්මය බව උන්වහන්සේ වදාරා ඇත.
එමෙන්ම සියල්ල සිදුවන්නේ කර්මයෙන්ය යන මතයද බුදු දහම ප්‍රතික්‍ෂේප කරයි. ගිරිමානන්ද සූත්‍රයෙහිද, සීවක සූත්‍රයේද සැප හා දුක විඳීමට බලපාන හේතු අටකි. පිත, සෙම, වාතය යන තුන් දොස් කිපීම, සෘතු විපර්යාසය, විසම දේ පරිහරණය කිරීම, අන්‍යයන්ගේ උපක්‍රම හා කර්ම විපාක යන එම අටයි. ඒ අනුව බලන විට දුක, සැප, ඇතුළු සියලු වින්දනයන් හරහා මිනිසාගේ තත්ත්වය විනිශ්චය කිරීමට බලපාන එක් කරුණක් පමණි කර්මය.
සත්වයාට බලපාන එමෙන්ම ලොව ක්‍රියාත්මක වන තවත් කරුණු පහක් ගැන බුදු දහමේ විස්තර වේ. එ්වා නම් නියාම ධර්මයි. එහි පළමුවැන්න උතු නියාමයයි. සියලුම භෞතික තත්ත්වයන් මෙයට ඇතුළත් වේ. ඍතු ගුණය නිසා ගස්වැල්වල නියමිත කාලයෙහි කිසිවකුගේ බලපෑමකින් තොරව මල් හටගනී. හේමන්තයේ සීතල අධික වේ. ග්‍රීස්ම කාලයේ ඌෂ්ණය අධික වේ. වර්ෂා කාලයේ වැසි ඇති වේ. නියඟ කාලයේ ජලය හිඟවේ. කාලගුණ වෙනසින් සිදුවන බලපෑම උතු නියාමයයි.
දෙවැනි නියාමය ජීව විද්‍යාත්මක නියාමයන් අයත් වන බීජ නියාමයයි. මෙහිදී ශාක, බීජ, යෝනි ආදිය අනුව ශාක හා සත්ත්ව ජීවය හටගෙන වර්ධනය වන ආකාරය පිළිබඳව නියාමයන් මෙම බීජ නියාමයට අයත් වේ. උදාහරණ ලෙස දෙමව්පියන්ගෙන් දරුවෙකුට ලැබෙන ජාන ලක්‍ෂණ ගත හැක. මවට, පියාට සම වූ පෙනුම හොඳම උදාහරණයයි
එමෙන්ම ඒ ඒ බීජයන්ට, ශාකයන්ට උරුම ආවේණික වූ ලක්‍ෂණද උදාහරණ ලෙස ගත හැක. සමහර වර්ගයේ ගස්වල අරටුව ඇත්තේත් තවත් සමහර ගස්වල අරටුව නැත්තේත් කොස් ගස්වල කොස් ඵලත්, දෙල්ගස්වල දෙල් ගෙඩිද පොල්ගස්වල පොල්ගෙඩිද, අඹගස්වල අඹ ගෙඩිම පමණක් හටගනී. මෙයට වෙනත් කිසිදු බලපෑමක් නැත. බීජ නියාමය අනුවම සිදුවේ.
මීළඟ නියාමය ධර්ම නියාමයයි. ආලෝකයෙන් අඳුර නැති වේ. ජලය සැමවිටම පහත් බිම් ඔස්සේම ගලායයි. බෝධි සත්ව උතුමන්ගේ ගුණ මහත්වය නිසා පොළෝ කම්පා වීම ආදිය සිදුවේ. මෙය හේතුඵල නියාමය හැටියට ද පැහැදිලි කළ හැක.
හතර වැනි නියාමය. චිත්ත නියාමයයි. එය මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමයයි. අපගේ සිරුර මුළුමනින්ම වාගේ ක්‍රියා කරන්නේ අපට නොපෙනෙන අපගේ සිතේ බලයෙනි. සිතේ පවතින වේගාත්මක බව නිසා ඉතා සුළු කාලයක් තුළදී බොහෝ සිත් ඉපැදී නැතිව යයි. සිතේ මේ වේගවත් ක්‍රියාකාරීත්වය ඇති කරන බලය චිත්ත නියාමය වශයෙන් හැඳින්විය හැකිය.
පස්වැන්න කම්ම නියාමයයි. ඒ ඒ පුද්ගලයන් සිදු කරගත් කුසල, අකුසල ක්‍රියාවන්ට අනුව විපාක ලැබීම කම්ම නියාමය ලෙස බුදු දහමේ මනාව ඉතා දීර්ඝ ලෙස පැහැදිලිව විස්තර කර ඇත.
එසේ නම් අපල යනුවෙන් හැඳින්වෙන්නේ අකුසල කර්ම නොවේද? එය මෙලොව සෑම සත්වයෙකුටම පොදු ධර්මතාවයක්ය. මහා බලගතු දෙවියකු වූ විෂ්ණු දෙවියන්ටත් බටකොළ කැවූ සෙනසුරු පිළිබඳ වූ කතා පුවතක් සමාජයේ පවතී. සෙනසුරු වරදට දඬුවම් දෙයි.
අපලය යනු අයහපත් කර්මයේ විපාක කැරකී එන ආකාරයයි. එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ සෙනසුරුටය. එය එසේ වුවත් සෙනසුරු තරම් සාධාරණ ග්‍රහයෙකුද නැති තරම්ය. සෙනසුරු ඒරාෂ්ඨකය යනු වරද හදාගැනීමට ලබාදෙන අවස්ථාවකි. සෙනසුරු දෙවන අවස්ථාවක් ලබා නොදෙයි. දිළින්දන් මහා ධනවතුන් කරන්නටත් මහා බලවතුන් සිඟමන් යදින යාචකයන් බවට පත් කරන්නටත් සෙනසුරු නොපසුබට වේ. මෙවැනි දේ සිදුවන්නේ අපල කාලයේදීය.
මෙය එසේ නම් අප ජීවත් වන කෙටි කාලය තුළ සිදුවිය යුත්තේ කුසල් සිදුකිරීමය. යම් අයකුට අපල කාලයක් උදාවන අවස්ථාවේදී සිදු කළ හැකි සුදුසුම ක්‍රියාව නම් එම කාලය තුළ උපරිම ලෙස දාන, සීල, භාවනා ආදී කුසල් සිදුකිරීමයි. කුසල් වැඩෙත්ම ක්‍රියාකාරීත්වයට පැමිණ ඇති අකුසල විපාක ඵල දීම අඩුවෙයි. උපරිමයෙන් කුසල් සිදුකරන විට අපල හෙවත් අකුසල විපාක බොහෝ දුරට මග හැරී යයි. අපලවලට යෙදිය හැකි හොඳම පිළියම වන්නේද මෙයයි. එම නිසා අපලය මැනවින් හඳුනාගෙන එය මඟහරවා ගැනීමට කුසල්ම වඩමු.
ජ්‍යොතිර්වේදී
කොත්මලේ
රංජිත් සූරියආරච්චි
අටබාගේ ගම්පොළ
2025 නොවැම්බර් මස 21
197
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
259
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1161
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අපල යනු අයහපත් කර්මය පල දීමයි