නොයෙකුත් දෙවිවරුන් ඇතුළු, අදෘශ්‍යමාන බලවේග උදෙසා, භාරහාර වීමට හා භාර ඔප්පු කිරීම සඳහා පොල් ගැසීම ඇතැමුන් අතරේ පවතින්නා වූ සිරිතකි. මෙහිදී කපුරු පෙත්තක් දල්වා පොල් ගෙඩිය මත තබා එම පොල් ගෙඩිය හිස වටා තුන් වරක් කරකවා දේවාලය ඉදිරියේ ඇති ගලක ගැසීම සිදු කරයි. මෙහිදී ඇස්වහ දෝෂ, කටවහ දෝෂ, හෝවහ දෝෂ කැපී යන බව ඇතැමුන්ගේ විශ්වාසයයි.   


මෙසේ පොල් ගැසීම මඟින් සෙතක් සැලසේද? ඇතැම් අය විසින් සතුරන්ට විරුද්ධව පොල් ගැසීම සිදුකරති. එහිදී ද පොල් ගැසීමෙන් පසු සතුරාට හානියක් සිදුවේද? මේ සම්බන්ධව අප සමාජයේ මිනිසුන් තුළ ඇති අදහස් විවිධාකාරය.   


මෙහිදී සිදුවනුයේ පොල් ගෙඩිය ගසන වේගය මත කෑලි කෑලිවලට කැඩී යාමයි. පොල් ගෙඩිය ගසන වේගය අනුව ගලේ වැදීම නිසා පොල් ගෙඩිය බිඳී යයි. අප දන්නා ඊළඟ කරුණ නම්, අපට පොල් ආහාර ලෙස ලබා ගැනීමේ අවශ්‍යතාව මත පොල් ගෙඩිය ලොකු පිහියකින් ගසා බිඳීම. මෙහිදී ලොකු පිහිය හෝ කැත්ත මඟින් ගසන පහරේ වේගය මත පොල් ගෙඩිය බිඳීයාම සිදුවේ. මෙලෙස පොල් බිඳින්නා වූ ආකාරයටම යමෙකුට පිහියක්, කැත්තක් වැනි භෞතික උපකරණයක් භාවිත නොකර තමාගේ අතින් පමණක් ගසා පොල් ගෙඩියක් දෙපළු කළ හැකි යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු නියතය. මිට මොළවා අතින් ගසා පොල් බිඳින, තැඹිලි ගෙඩි බිඳින මහා බලගතු අරුම පුදුම කපු මහතකු සොයා ගිය ගමනක කතාව මෙසේය.   


දෙමටගොඩ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වන නිරුපමා දෙදරු මවකි. නිරුපමාගේ ස්වාමිපුරුෂයා මීට වසර පහකට පෙර හදිසි අනතුරකින් මියගිය අතර, ඇයට තම දියණියන් දෙදෙනා රැකබලාගෙන ජීවත් වීමට තරම් යහමින් මුදල්හදල් ද තිබුණේය. වැඩිමල් දියණිය දහ වන ශ්‍රේණියේ ද බාල දියණිය හය වන ශ්‍රේණියේ ද ඉගෙනුම ලබන්නේ කොළඹ නගරයේ බාලිකා විද්‍යාලයකය.   


නිරුපමා බොහෝ නිහඬ චරිතයක් වුවද ඇය අන් අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් පෙළුණාය. නිරුපමා විවාහ වීමට පෙර ඇය බොහෝ අහිංසක, නිහතමානී යුවතියක වුවද විවාහයෙන් පසු ඇයගේ ස්වභාවය බොහෝ වෙනස් විණ. සැමියාගේ මරණයෙන් පසු එය වඩාත් දරුණු තත්ත්වයකට පත්විණ. නිරන්තරයෙන්ම තම දෙමාපියන්ට හා සහෝදරියන්ට ඇනුම්පද කියමින් නින්දා අපහාස කිරීම ඇයගේ පුරුද්දක් විය. අසල්වාසීන් සමඟ සුහද ඇසුරක් තිබුණ ද ඔවුන්ගේ අඩුපාඩුම සොයමින් තමා ඔවුන්ට වඩා උසස්ය යන සිතුවිල්ලෙන් ඇය නිතරම පසුවූවාය. ගැටුම් ඇති කර නොගත්ත ද යටි සිතින් අන් අයට ද්වේශ කළාය.   


නිරුපමා ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර ගැන බෙහෙවින් විශ්වාස කළාය. තම දියණියන් දෙදෙනා ද තමා ගැන කිසිදු සැලකිල්ලක් හෝ ආදරයක් නොදැක්වීම නිසා ඇය බෙහෙවින් දුකට පත්ව සිටියාය. සමාජයේ කැපී පෙනෙන චරිතයක් වීමට ඇය උත්සාහ කළාය. මේ අතරතුර නිරුපමාට නිතරම පාද ආබාධ ඇති විය. එක වරම ඇඟට පණ නැතිව යාම, උණ ගතිය, කෑම අරුචිය, ඇවිදීමට නොහැකිව කකුල් ඉදිමීම නිසා නිරුපමා සිත බියට පත්වූවාය. තමාට ඊර්ෂ්‍යා කරන තම ඥාතියකු විසින් ඇවිදීමට බැරි වන ලෙස එක් තැන්වීමට යම් ගුරුකමක් කර ඇති බව ඇය තදින්ම විශ්වාස කළාය. කොපමණ වෛද්‍යවරුන් කරා ගියත් තම කයට සුවයක් නොලැබුණ හෙයින් මෙය තම ඊර්ෂ්‍යාකාරයකු විසින් තමාට කළ දෙයක් බව ඇයට හැඟිණ. හැකි ඉක්මනින්ම මෙයට පිළියමක් කිරීමට ඇය සිතට ගත්තාය.   


සිතට දිරිගත් ඇය දේවාලයක් කරා ගොස් කපු මහතකු හමුවූවාය. නිරුපමාව දැක්ක හැටියේ කපු මහතා කීවේ ප්‍රේත ආත්මයක බැල්මක් වැටී ඇති බවයි. ‘තමන්ට කෑම කන්න පිරියක් නැහැ නේදැයි’ කපු මහතා ඇය කිසිවක් පැවසීමට පෙරම ඇසුවේය. නිරුපමා ඉතා අසරණ ස්වරූපයෙන් කියා සිටියේ ඇය දින දෙක තුනක් තිස්සේ කිසිදු ආහාරයක් නොගත් බවත් අප්පිරියාවකින් පෙළෙන බවත් තමන්ට ඉඳහිට ඇවිද ගැනීමට අපහසු වී දණහිස් පණ නැතිව යන බවත්, දෙපා ඉදිමෙන බවත් එය ටික දවසක සිට තිබෙන බවයි.   


කපු මහතා නිරුපමාට පැවසුවේ ඇයට ඇස්වහ කටවහ වැදී ඇති බවත් මුලින්ම ඇස්වහ කටවහ දුරු කර නූලක් දමා ගන්නා ලෙසයි. දෙවියන් ඉදිරියේ කන්නලව් කළ කපු මහතා දෙහි ගෙඩි නමයක් ගෙන නිරුපමාගේ හිසේ සිට පාද‌ාන්තය දක්වා දෙහි කපා ඇස්වහ කටවහ දුරු කළේය. ඉන්පසු කරට නූලක් දැමුවේය.   


මේ අනුව, දේවාලයෙන් පැමිණි නිරුපමාගේ සිතට විශාල සහනයක් ඇතිවිය. තම කය ද සැහැල්ලු වූ බවක් හැඟුණි. මතුරා දුන් දෙහි ගෙඩි තුනෙන් එකක් නිවසට පැමිණි විගස මිරිකා බිවූ ඇය ඉතිරි ගෙඩි දෙක ද වරු දෙකක් තුළ බීවාය. පෙරේත බැල්ම නිසා තමන්ට දින කිහිපයක් නිරාහාරව සිටීමට සිදු වූ අයුරු මෙනෙහි කළාය. මෙලෙස දින තුනක් හෝ හතරක් ගත වූ පසු නැවත නිරුපමාට ඉහත කී රෝගී ලක්‍ෂණ මතුවිය. ඇයට නැගිට ගැනීමට පවා නොහැකි විය.  


“මේ මොන කරුමයක්ද මට වෙන්නේ. මට කරන එවුන්ට හොඳක් නම් වෙන්න එපා. මාව නැති කරන්න හදන එවුන්ව දෙවියොම බලාගන්න ඕනෙ” නිරුපමා තමාට කවුරුන් හෝ කළ ගුරුකමක් නිසා මෙලෙස සිදුවන බව තදින් විශ්වාස කළ නිසා ඔවුන්ට දෙස් දෙවොල් දීමට පෙළඹුණාය. අමාරුවෙන් හෝ නැවත කපු මහතා හමුවීමට ඇය තීරණය කළාය. සවස හය හමාර වන විට දේවාලය වෙත ගිය නිරුපමා කපු මහතා හමුවූවාය.   
“අනේ කපු මහත්තයා එද‌ා මං කපු මහත්තයා ළඟට ඇවිත් නූලක් දමාගෙන ගියා. කෑම කන්න බැරි නිසා දෙහි ගෙඩි තුනකුත් මතුරලා දුන්නා මට. ඒත් ආයෙත් මට ඇවිද ගන්න බැහැ. ඇඟට පණම නැහැ මගේ. කෑම හරිම අප්පිරියයි” නිරුපමා පැවසුවාය.   


කපු මහතා සියල්ල අසා සිට “මං එදාම කීවනේ කරපු දෙයකුත් තියෙනවා බලගතු පෙරේත ආත්මයක බැල්මක් වැටිලා මේ ළමයව එක්තැන් වෙන්න. ඒකයි කෑම පිරියක් නැත්තේ කියලා. මේකට දෙවියන්ට කන්නලව් කරලා පොල් ගැහුවා නම් හරි කැපිලා යන්න” යි කීවේය.   


දින තුනකින් පසු නැවත එන ලෙස පැවසූ කපු මහතා නිරුපමාට යළිත් දෙහි ගෙඩි තුනක් මතුරා දුන්නේය. එදින ද නිවසට පැමිණි නිරුපමා දෙහි ගෙඩි තුන වරු තුනක් බී අමාරුවෙන් බත් කටක් දෙකක් කෑවේ ඉක්මනින් දින තුනකින් කපු මහතා හමු වී මෙයට පිළියමක් කර ගැනීමටය.   


දින තුනකින් යළිත් කපු මහතා හමු වූ නිරුපමා “කපු මහත්තයා කීයක් ගියත් කමක් නෑ මට මේ කරලා තියෙන දේ අයින් කරලා දෙන්න” යනුවෙන් පැවසුවාය.   


“මේකට රුපියල් හැත්තෑපන්දහසක් වියදම් වෙයි. කරන්න පුළුවන්ද. දෙවියන්ට කන්නලව් කරලා මටම තමා මේක කරන්න වෙන්නේ. ලේසි පහසු දෙයක් නෙවෙයි මං මේ කරන්නේ කාටවත් කරන්න බැරි දෙයක්. නැතුව මේවා ලේසි වෙන්නෙ නැහැ” කපු මහතා නිරුපමාගෙන් රුපියල් විසිපන්දහසක මුදලක් ගත්තේ ඉතිරිය වැඩේ කරන දවසට දෙන්න යැයි පවසමිනි.   


කපු මහතා පවසන පරිදි පොල් ගසන කලාවක් සූස්තරයක් ද ඇත. එය කපු මහතා විස්තර කරන්නට විය. හොඳ වැඩවලට පොල් ගහන්නෙ විෂ්ණු, පත්තිනි, කතරගම, සමන්, විභීෂණ, ඊශ්වර ආදී දෙවියන් ඉදිරියේ ය. නරක වැඩවලට පොල් ගහන්නේ කාලි, දුර්ගා, කඩවර, සූනියන්, දෙවොල් ආදී දෙවි දේවතාවුන් ඉදිරියේ ය. පොල් ගැහීමේදී පොල් ගෙඩිය අතින් ගිලිහී යන ලෙස පොල් ගැහීම නිවැරදි නොවන්නේය. පොල් ගෙඩිය අතින් ගිලිහෙද්දී ශරීරයයි පොල් ගෙඩියයි අතර ආකර්ෂණ ශක්තිය බිඳ වැටේ. පොල් ගෙඩිය අතේ තබාගෙනම ගැසීම නිවැරදි ක්‍රමයයි. ඒ වගේම මතක තබා ගත යුතු තවත් විශේෂ කාරණයක් ඇත. හොඳ වැඩවලට දකුණු අතිනුත් නරක වැඩවලට වම් අතිනුත් පොල් ගැසිය යුතු යැයි, අතින් පොල් බිඳින කපු මහතා පවසයි.  


යහපත් කටයුතු සඳහා පොල් ගැසීමේදී පොල් ගෙඩියේ මුඩ්ඩ ඉවත් නොකර ගෙඩිය කහ දියෙන් සෝද‌ා ගත යුතුයි. පොල් ගසන ස්ථානයේ ඊශාන දිශාවෙන් අබ තෙල් පහනක් දැල්විය යුතුයි. ආවතේවකරුවෝ මේ සියලුම දේ නිසි පරිදි සිදු කරන ආකාරය කපු මහතා අධීක්ෂණය කරන්නේය. පොල් ගෙඩිය මත කපුරු පෙත්තක් දල්වා, දෙවියන් ඉදිරියේ පවසා, එය ඉටුකර දෙන මෙන් ඉල්ලා දකුණු අතින් පොල් ගෙඩිය ගැසිය යුතුයි. පොල් ගැසීමට පෙර පලතුරු පස් වර්ගයක් සමග පූජා වට්ටියක් දෙවියන්ට පුද කරන්නට සකස් කර ඇති ආකාරය ද දැකිය හැකිය. 

 
අයහපත් කටයුතු සඳහා පොල් ගැසීමේදී ගෙඩියේ මුඩ්ඩ ඉවත් කළ යුතුයි. ‘‘දුර්ගා දේවි, සොහොන් කාලි, ගිනි කාලි, යම කාලි, ලේ කාලි වැනි දෙවඟනන් ඉදිරියේ පොල් ගැසීම වඩාත් සාර්ථක වෙනවා. මේ අැත්තිට වින කළ හැත්ත බුරුත්ත නැතිවෙලා සුන්නත් දූලි වෙලා කුල්ලේ ගොම ගෑවිලා යන්න තමයි මේ කටයුත්ත සිදු කරන්නේ’’ කියමින් අපේ කතාන්දරයේ කපු මහතා කුජ හෝරාව උදාවන තුරු දේව කන්නලව් සිදු කරන්නට විය. කුකුළු බිල්ල දෙස හැරෙමින් ජප කරන්නට ද කපු මහතා අමතක නොකරයි. ඒ කපු මහතාගේ හා රෝගියාගේ ආරක්ෂාව සදහාය.  


පිරිසිදු අමු පලතුරු වර්ග පහක් සහිත පූජා වට්ටියක් තැබිය යුතුයි. අමු ඇඹරැල්ල, අමු නෙල්ලි, අමු අන්නාසි, අමු අඹ, අමු නාරං ආදිය මේ සඳහා සුදුසුයි. දෙහි ගෙඩි තුනක් ගෙන ඒවා දෙකට කපා දෙහි බෑ පහක් ගෙන ඒවා අනිත් පිට හරවා ඒ මතට තෙල් යොදා කපු පුළුන් වැටි යොදා දැල්විය යුතුයි. දෙහි ගෙඩි හතක මාලයක් ද සාදා දෙවියන් ඉදිරියේ තැබිය යුතුයි. මේ ගැත්තියට වින කළ සතුරාගේ නමේ අකුරු දෙකෙන් බෙදීමට හැකි ලෙස ගළපා පොල් ගෙඩිය මත කුකුළකුගේ කරමලයෙන් ලේ ගෙන විපත්තිය සිදු කළ පුද්ගලයාගේ නම හෝ ගම සටහන් කරන්නේ ද දේව කියමන මතයි.   


කිතුල්ගල ප්‍රදේශයේ තිබූ මෙම කපු මහතාගේ දේවාලය වෙත නිරුපමා ළමයි දෙදෙනාත් නිරුපමාගේ නැන්දා ද පේවත් වී පුදුම සහගත පූජාවට සූදානමින් සිටිති.   


පූජාව පටන් ගන්නේ රාත්‍රී එකොළහටය. පූජාව ආරම්භ කෙරිණි. කපු මහතා විශාල ප්‍රමාණයේ කඩුවකුත් ත්‍රිශූලයකුත් දෑතට ගෙන දේවාලයට ඇතුළු වී එහි ඇති කුඩා ඝණ්ටාර සොලවමින් දෙවියන්ට කන්නලව් කර වරම ලබා ගත්තේය.   


“ආ......හ්.....ආ.....හ්......ආ.....හ්හ්” ආකාරයෙන් කෑ ගසා ඔළුව පද්දමින් ගැහෙමින් කඩුවත් ත්‍රිශූලයත් වනමින් ආවේශයෙන් නටයි. මෙලෙස විනාඩි විස්සක් තිහක් පමණ නැටූ කපු මහතා පන්දම් දෙකත් ගෙන ඒවාට දුම්මල ගසමින් ඒ මේ අත දේවාලය ඇතුළෙහි දුව ගියේය. ත්‍රිශූලයත් කඩුවත් පන්දම් දෙකත් පසෙකින් තබා විශාල පලතුරු වට්ටියක් ගෙන දෙවියන් ඉදිරියේ තැබීය. ඉන්පසු දේව භාෂාවකින් කතා කරමින් දේවාලයේ ඉදිරියේ සිටි කකුල් දෙක ගැට ගැසූ කුකුළා දෑතට ගෙන දේවාලයෙන් පිටතට ගොස් කුකුළා එහි බිම තැබීය.   


නිරුපමාටත් දරුවන් දෙදෙනාටත් දේවාලය ඉදිරියේ පසෙකින් පැදුරක් දමා එහි වාඩිවෙන ලෙස පැවසුවේ කපු මහතාගේ ගෝලයකු විසිනි. ඉන්පසු කුකුළා අතට ගෙන උගේ කරමලය කටුවකින් හිල් කර ලේ ගෙන තමාගේ ඇඟිල්ලක ගා ගත් කපු මහතා කුකුළා නිරුපමාත් දරුවන්ගෙත් හිස වටා තුන් වරක් බැගින් කරකවා පසෙකට දැමීය. දේවාලය තුළට ගොස් පූජා වට්ටිය ගෙනවිත් නිරුපමාගේත් දරුවන්ගෙත් හිස වටා කරකවා නැවත දේවාලයේ ඇතුළතින් තැබීය. ඉන්පසු කපු මහතාගේ විශේෂිත හැකියාවන් පෙන්වන හාස්කම් පටන් ගැනිණි.   


පූජා වට්ටියේ තිබූ තැඹිලි ගෙඩිය ගෙන දේව භාෂාවකින් කතා කරන ගමන්ම තමන්ගේ හිසේ ගසා පලා දැමීය. බලාසිටිනවුන්ට ඇස් අදහාගත නොහැකි සේය. විශාල ප්‍රමාණයේ හොඳින් වැඩී තිබූ තැඹිලි ගෙඩිය එක පාරින්ම තම හිසේ ගැසීමත් සමඟ පැලී ගියේය. ඉන්පසු නැවතත් ආරූඪයෙන්ම පන්දමකට දුම්මල ගසමින් ඒ මේ අත දිවගිය කපු මහතා පන්දම පසෙකට විසිකර දේවාලය ඉදිරියේ නතර විය.   


ඉන්පසු ඔහු විසින් ලබා ගත්තේ වට්ටියේ තිබූ පොල් ගෙඩියයි. පොල් ගෙඩියට දුම් අල්ලා තමාගේ ඔළුව වටේ තුන් පාරක් කරකවා ඉන්පසු නිරුපමා හා දරුවන් දෙදෙනාගේ ද හිස් වටා තුන් වරක් කරකැවීය. පසුව ආරූඪයෙන් ඔළුව වනමින් එම පොල් ගෙඩිය දේවාලය ඉදිරියේ ඇති ගල් පතුරක් මත තබා අතමිට මොළවා පොල් ගෙඩියට වැරෙන් පහරක් එල්ල කෙරිණි. මහා පුදුමයකි! පොල් ගෙඩිය පිහියකින් ගසා හරියටම දෙපළු කළා සේ අත් පහරට පොල් ගෙඩිය දෙපළු විය.  


“මොකක්ද මේ වෙන්නේ? අතේ කිසිම දෙයක් තිබුණෙත් නෑ. ඇත්තටම ඒක නම් මහා බලයක් තමයි” බලා සිටිය අය විමතියෙන් යුතුව එකිනෙකා හා පවසන්නට වූහ. නිරුපමාගේ පපුව ‘ඩිග් ඩිග්’ ගා ගැහෙන්නට විය. නිරුපමාට හිතාගන්නටත් බැරි විය. ඉන්පසු තවත් විනාඩි පහළොවක් විස්සක් පමණ නටමින් දේව භාෂාවකින් කතා කරමින් දුම්මල ගසමින් පූජාව නිම කළේය. රාත්‍රී දෙකත් පසු වී තිබුණි. ඉන්පසුව ආරූඪයෙන් ඉවත් වූ කපු මහතා කිසිවක් නොදන්නා ලෙස ඔළුව ගසා වටපිට බැලීය.   


“හරියට ඔක්කොම දේවල් ටික පූජා කළාද” කපුවා තම ගෝලයාගෙන් ඇසීය. “ඔව් කපු මහත්තයා. හැම එකක්ම අඩුවක් නැතිව කැප කළා” ගෝලයා පිළිතුරු දුණි. “එහෙනම් ඉතින් දැන් ඔය ළමයින්ගේ ගැටලු ඉවරයි. ආයිත් කිසිම දවසක ඒවා ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ” යනුවෙන් පැවසූ කපු මහතා නිරුපමා පසෙකට කැඳවා ඇයගෙන් ඉතිරි මුදල වන රුපියල් පනස්දහස ලබාගෙන ගනුදෙනුව ද අවසන් කළේය. මේ වෙලාවෙ යන්න විදිහක් නැහැනේ. අර එහා පැත්තෙ ශාලාවේ පැදුරු කොට්ට තියෙනවා. ඒකෙ ඉඳලා උදේට යන්න පුළුවන්. පූජාවල්වලට එන වැඩිදෙනෙක් නතර වෙන්නේ ඒ ශාලාවේ තමයි.   


පැය කිහිපයක් හාන්සි වී සිටි නිරුපමා ප්‍රමුඛ පිරිස තවත් පූජාවක් සඳහා පැමිණ සිටි පිරිසකුත් පාන්දර එළිය වැටීමත් සමඟ පිටත් වුණේ පුදුමාකාර සතුටු සිතකිනි. පැය කිහිපයක් නින්ද ගිය ද පැයක්වත් හරිහැටි නින්ද නොගියේය. ඔවුනොවුන් කතා කළේ කපු මහතාගේ මහා බලගතු වික්‍රමයන් ගැනය.   


සියලු ගැටලු විසඳිණි. නිරුපමාගේ තිබූ ඇඟපත පණ නැති වීම්, සියලු වේදනා එක දවසින්ම තුරන් විය. දරුවෝ ද වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කළෝය. ඒ කපු මහත්තයා නම් දෙවියෙක්. මේ අගාධයෙන් අපිව ගොඩගත්ත එකට එතුමාට පිං. නිතර නිතරම නිරුපමාගේ මුවින් කියැවෙන්නට විය.   


මෙලෙස මාස කිහිපයක් ගතවිය. නැවත නැවත පරණ රෝගී ලක්‍ෂණ නිරුපමාට මතුවන්නට විය. සිතේ තිබූ සතුට සැහැල්ලුව ක්‍රමයෙන් තුරන් විය. ඒ අතර ඇයගේ වැඩිමල් දියණිය ද ප්‍රේම පලහිලව්වකට පැටලිණි. බාල වයස්කාරයෙකු වූ එම දියණියට මව මොන තරම් අවවාද දුන්නද මුරණ්ඩු ගති පෙන්වූවාය. අවවාද මායිම් කළේ නැත. තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්නයක්. නිරුපමාගේ සිත තව තවත් පීඩනයට ලක්විය. එන්න එන්නම ගැටලු උත්සන්න විය. නිරුපමාට මැරෙන්න සිතුණු වාර අනන්තය. පියා ද නොමැතිව තමන් හදාගත් මවට දරුවන් කතාබහ කරන්නේ සතෙකුට මෙනි. එන්න එන්නම නිරුපමාගේ කලකිරීම තවත් වැඩිවිය.   
එක් වරම රෝග ලක්‍ෂණ උත්සන්න වී නිරුපමාට ඇවිදීමට නොහැකි විය. පොඩි දුව දිවගොස් කඩේ ගෙදර ඇන්ටිව කැඳවාගෙන ආවාය.   


“මොකද නිරුපමා වුණේ” අසමින් කඩේ ගෙදර ඇන්ටි නිරුපමා නැගිටවන්නට උත්සාහ දැරුවාය. සිහිකල්පනාවේ කිසිදු වෙනසක් නොමැති අතර, දෙපා පණ නැත. දුවත් ඇන්ටිත් එකතු වී අමාරුවෙන් ඇයව උස්සා පුටුවක වාඩි කළෝය.   


“දුවේ ඔයාලගේ නැන්දට කෝල් එකක් ගන්න. මම අංකල්ටත් කියන්නම්. අම්මා ඉස්පිරිතාලෙකට එක්ක යමු” යනුවෙන් පැවසූ කඩේ ගෙදර ඇන්ටි තම සැමියාට ද කතාකර නිරුපමා ළඟම තිබෙන රෝහලක් කරා ගෙන ගියහ. දින දෙක තුනක් පමණ රෝහලේ නේවාසිකව සිටි නිරුපමාගේ රෝගය පිළිබඳව කරන කරන පරීක්‍ෂණ සාමාන්‍ය බවක් පෙනුණි. වෛද්‍යවරුන්ගේ අදහස වූයේ නිරුපමාට කිසිදු කායික රෝගයක් නැති බවයි. රෝහලෙන් ඇයව මානසික ඒකකයට යොමු කළ අතර, බලෙන් ටිකට් කපාගෙනම ඇය රෝහලෙන් පිටත් වුණේ “මට ඇති පිස්සුවක් නැතැ”යි කියමිනි.   


නැන්දාත් දරුවන් දෙදෙනාත් සමඟ ඔවුන්ගේ ශක්තියෙන් ඔවුන්ගේ ඇඟේ එල්ලී ත්‍රීවීලරයට ගොඩවිය. නිවසට පැමිණි මොහොතේම නිරුපමා පැවසුවේ “මේක දොස්තරලට හොඳ කරන්න බෑ. මාව අර කපු මහත්තයා ළඟට එක්කරන් යන්න” යනුවෙනි. “රුපියල් හැත්තෑපන්දහසක් වියදම් කරලා කපු මහත්තයාගෙන් වැඩ කරලත් වැඩක් වුණේ නැහැනේ. ඒක නිසා නැවතත් එතනට යන එක බොරු වැඩක්” යනුවෙන් අවට බොහෝ දෙනා මැයගේ ඔළුවට දැමූහ. “ඔය වගේ අමනුස්ස බලපෑම් අයින් කරන වෛද්‍යවරයෙක් ඉන්නවා. එහෙම දෙයක් තියෙනවා නම් එයා අයින් කරයි” යනුවෙන් පැවසූ අසල්වාසියෙක් නිරුපමා ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.   


දිගු වේලාවක් නිරුපමාත් දරුවන් දෙදෙනාත් නිරුපමාගේ නැන්දා හා අසල්වාසියෙකු සමඟත් වෙන් වෙන්ව කතා කළ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ගැටලුව නිරාකරණය කිරීමට භාර ගැනිණි.   


නිරුපමාව මෝහන ප්‍රතිගමනයට ලක් කළ වෛද්‍යවරයා මෝහන නිද්‍රාව තුළ සිටියදීම හොඳින් ඇවිද්දවීය.   


“දැන් ඔබට ඇවිදින්න පුළුවන්. ඔබේ යටි සිත මඟින් ඇති කළ විධානයක් මඟින් ඔබට ඇවිදීමට නොහැකි බව දැනුණා. නමුත් එය ඔබට දැනුණු දෙයක් පමණයි. මෙතැන් සිට ඔබට එය ගැටලුවක් වන්නේ නැහැ. ඔබට සම්පූර්ණයෙන් ඇවිදීමට හැකියාව ලැබෙනවා” යනුවෙන් පවසා මෝහන නිද්‍රාවෙන් අවදි කෙරුණි. නමුත් නිරුපමාගේ තිබෙන මානසික ආතතියට දිගට ප්‍රතිකාර ගන්නා ලෙස ඇයව දැනුම්වත් කළේය. එම මොහොතේම ඇවිදීමට හැකියාව ලැබුණු නිරුපමාට මාස කිහිපයක් මනෝ ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඇයගේ මානසික මට්ටම ද සම්පූර්ණයෙන්ම සුව විය. දරුවන් දෙදෙනාට ද මනෝ ප්‍රතිකාර හා උපදේශන ලබා දී ඔවුන්ගේ මානසික මට්ටම ද යහපත් අතට ගැනුණි. මෙම කාරණය පිළිබඳව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ පැහැදිලි කළේය.   


නිරුපමා දෙමාපියන් ද නොමැතිව තමාගේ සැමියා ද නොමැතිව මහත් දුකකින් බොහෝ ප්‍රශ්න මධ්‍යයේ පීඩිතව හිටපු කාන්තාවකි. ඒ නිසාම දුක, කලකිරීම, එපාවීම, තරහා යාම, අමතක වීම ආදී බොහෝ ලක්‍ෂණ මැයට ඇති විය. වැඩිමල් දුවගේ ප්‍රශ්නයත් සමඟ මැයගේ මානසික මට්ටම තවත් පහතට වැටිණි. එහිදී එම මානසික මට්ටම මත මනෝකායික රෝගයක් ලෙස පාද පණ නැතිවීම සිදුවිය. වෛද්‍ය පරීක්‍ෂණ සෑම එකක්ම සාමාන්‍ය බව පෙන්වූයේ ඒ නිසාය. එහිදී අප විසින් මෝහනය මඟින් දෙනු ලබන විධානය මත තාවකාලිකව එම තත්ත්වය සුව වූ අතර, ඇයගේ මානසික ගැටලුවට නිසි ප්‍රතිකාර කිරීමෙන් පසු එම තත්ත්වය ස්ථිරව සුව විය. මැය රෝහලේදී බලෙන් ටිකට් කපාගෙන පැමිණ කර ඇත්තේ අනුවණ ක්‍රියාවකි. කුමක් නිසාද යත්, රෝහලේදී මානසික ඒකකය වෙත යොමු වුණේ නම් එහිදී නිරුපමාට සුවයක් ලබන්නට තිබිණි. නමුත් මැය මිථ්‍යා විශ්වාස කෙරේ තිබූ දැඩි ඇල්ම නිසා බලෙන් ටිකට් කපා පැමිණියාය. අද වනවිට ඇය සම්පූර්ණයෙන් සුවයෙන් යුත් සැහැල්ලුවෙන් සතුටෙන් දිවි ගෙවන කාන්තාවකි.   


එසේ නම්, මොවුන් ප්‍රතිකාර ගත් කපුවා සිදු කළ පූජාවලින් කෙටි කාලීන සහනයක් මොවුන් ලැබුවේ කෙසේද යන්න ඔබට ද ගැටලුවක් වනු ඇත. එය මෙසේය.   


ඇතැම් මනෝකායික රෝග හා සුළු මානසික ගැටලු දැඩි විශ්වාසයන් මත තාවකාලික අඩුවීමක් සිදුවිය හැකිය. නමුත් එය කෙටි කාලීනය. ටික දිනකින් යළිත් මතු වේ. නිරුපමාට සිදුවූයේ ද එයමයි. ඒ වගේම ඔබට තවත් ප්‍රශ්නයක් පැන නගිනු ඇත. ‘‘කපු මහතාට බලයක් නැත්නම් කොහොමද අතින් පොල් ගෙඩියක් බින්දේ.. තැඹිලි බින්දේ..? එය ද මා විසින් කර පෙන්වන්නම්. යනුවෙන් පැවසූ විද්‍යාකුලපති මහතා විසින් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, හාමුදුරුවරුන් හා සිසු සිසුවියන් ඉදිරියේ 2018 මාර්තු මස දිනක සිදුකර පෙන්වූයේය.   


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් වේදිකාව ඉදිරියේ සිටින සිසුන් කිහිප දෙනෙකුට ආසන්න නිවසකට හෝ කඩයකට ගොස් පොල් ගෙඩිය බැගින් ගෙන එන්නට පැවසීය. එම පොල්ගෙඩි වේදිකාව මත තබා විද්වත් මඬුල්ලට ‘මෙම පොල් ගෙඩිවල පළුද්දක් හෝ පැල්මක් තිබේදැ’යි පරීක්‍ෂා කරන්නට ලබාදුනි. ඉන්පසු විද්වත් මඬුල්ල විසින්ම තෝරා දුන් පොල් ගෙඩියක් වේදිකාව මත තැබූ ගලක් මත තබා කුලපති මහතා විසින් අත මිට මොළවා පොල් ගෙඩියට ගැසීය. පොල් ගෙඩිය පිහියකින් බින්දා සේ දෙපළු විය. ඒ පිළිබඳව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ පැහැදිලි කරදුණි.   


මෙහිදී ඇත්තටම සිදුවන්නේ මා අතින් ගසන පහරට පොල් ගෙඩිය දෙකට පැලීම නොවෙයි, පොල් ගෙඩිය මා තැබුවේ ඝනට නැමූ කුඩා කාඩ්බෝඞ් කෑලි තුනක් උඩයි. එය මත තැබූ විට පොල් ගෙඩිය ගලේ නොගෑවෙයි. මම වැරෙන් ගසන විට පොල් ගෙඩිය ගොස් ගලේ වදින පහරට පොල් ගෙඩිය දෙපළු වෙයි. නමුත් බලාසිටින්නවුන්ට පෙනෙන්නේ මගේ අතින් ගසන පහරට පොල් ගෙඩිය බිඳෙන්නා සේය. ඉහත කපුවා සිදුකර ඇත්තේද එවැනිම ක්‍රියාවකි. ඇතැම් පුද්ගලයින් විසින් පොල් එක් අතෙකින් ගලට ළංකර ඔසවා අල්ලා ගෙන අනෙක් අතින් පොල් ගෙඩියට ගසයි. එවිට පොල් ගෙඩිය ගොස් ගලේ වැදීමේදී පොල් ගෙඩිය දෙපළු වෙයි. ඇත්තටම මෙහි ඇත්තේ විද්‍යාත්මක න්‍යායක් මිස හාස්කමක්වත් බලයක්වත් නොවෙයි.   

 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)   

 


සටහන හා ඡායාරූප 
හබරාදුව - නිමල් අල්ගෙවත්ත