ලොව සදාහරිත වනාන්තර අතරට ගැනෙන ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ ඉපැරණි බේබෲක් තේ කර්මාන්ත ශාලා භූමියේ සිදුවූ දැවැන්ත විශේෂ කාර්ය බළකා මෙහෙයුම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්වූයේ නකල්ස් කඳු නිම්නයේ පවතින ස්වාභාවික දුෂ්කරතාව නිසාවෙනි.
එක් පසෙකින් දැඩි මීදුම් සහිත අඳුරු ස්වභාවයක් පැවතියද මේ මෙහෙයුම අතරමඟ තනර කන්නට කිසිසේත් විශේෂ කාර්ය බළකායට සිදුකළ හැක්කක් නොවීය.
මෙසේ සටහන් වෙන්නේ අන් කිසිවක් නොව නකල්ස් කඳු නිම්නයේ සුදු අධිරාජ්‍ය සමයේ පිහිටි අකුණු සන්නායකයක් සොයා පිරිසක් සිදුකළ දැවැන්ත කැණීමට සම්බන්ධ පුද්ගලයින් අල්ලා ගැනීමේ මෙහෙයුම පිළිබඳවය.
ලග්ගල ප‍්‍රාදේශීය ලේකම්තුමන්ට ලැබුණු එක්තරා පණිවිඩයක සඳහන් වූයේ දුම්බර කඳුවැටියේ ඉතා සූක්ෂම අයුරින් දින ගණනක් පුරාවට සිදුවන මහා පරිමාණ කැණීමක් පිළිබඳව තොරතුරුය.
සියල්ල සැෙකවින් වටහා ගත් එතුමන් වහාම දඹුල්ල විශේෂ කාර්ය බළකා මූලස්ථානය දැනුවත් කළේය.
දඹුල්ල විශේෂ කාර්ය බළකායේ කඳවුරු භාර අණදෙන නිලධාරී ප්රධාන පොලිස් පරීක්ෂක එච්.ජී. ලාල් ජයතිලක මහතා විසින් මෙහෙයුම සඳහා ඉහළ උපදෙස් පතන ලදී.
ඒ අනුව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් පරිදි, වව්නියාව කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් හා නියෝග පරිදි දඹුල්ල විශේෂ කාර්ය බළකායේ කඳවුරු භාර අණදෙන නිලධාරී ප්රධාන පොලිස් පරික්ෂක එච්.ජී. ලාල් ජයතිලක මහතා යටතේ ක‍්‍රියාත්මක කණ්ඩායම් දෙකක් මෙහෙයුම සඳහා එක්විය.
එක් පසෙකින් දැඩි අන්ධකාරයටත් මිනිස් වාසයෙන් තොර මහ ඝන වනාන්තරයටත් හුරුවූ විශේෂ කාර්ය බළකා සෙබළු සිය මෙහෙයුම ක‍්‍රියාත්මක කළහ.
පළමු කණ්ඩායම පැරණි තේ වත්තට යෑමට සූදානම් වූයේ දුර සිට පැමිණි සංචාරකයින් ලෙසය. ඒ අනුව කිසිවෙකුටත් සැක නොසිතෙන අයුරින් ඉපැරණි තේ වත්තට ඇතුළු වූ පිරිස පළමුව එහි රැඳී සිටි ව්‍යාපාරිකයෙකු යැයි සැලකෙන පුද්ගලයෙකු සමඟ අල්ලාප සල්ලාපයේ නිරත වූයේ අවට වූ සිරිය පිළිබඳ ආගන්තුක අදහස් දක්වමිනි.
කෙටි වේලාවකින් කුළුපග වූ මේ පිරිස ආගිය තොරතුරු කතාකරන්නටත් තේ වත්තේ ඉතිහාසය පිළිබඳ කතාකරන්නටත් උත්සුක වූහ.
අතීතයේ පැවති තේ වත්තේ පවතින දෑ පිළිබඳව මෙන්ම පැරණි භූමියක පැවතිය හැකි දෑ පිළිබඳව ද විශේෂ කාර්ය බළකාය සූක්ෂම අයුරින් කරුණු සෙවීම ආරම්භ කළේය.
පැය දෙකකට අධික කාලයක් සාකච්ඡාවේ නිරතෙවන අතරතුර තේ වත්තේ අවට සිරිය නරඹමින් කාලය ගතකරන්නට සෙබළු කටයුතු කළහ.
පසුව සෙබළුන් විසින් සොයා ගත් තොරතුරු අනුව තේ වත්තේ එක්තරා ස්ථානයක විශාල ගසක් කපා දමා කපන ලද විශාල වළක් හමුවී තිබේ.
පසුව හිමිකරුගෙන් කළ විමසීමක දී ඔහු කියා ඇත්තේ වැසිකිළි වළක් එහි පවතින බවයි.
කුතුහලය දනවන දෑ පිළිබඳ සොයා යෑමේ විශේෂ කාර්ය බළකායේ සුපුරුදු දක්ෂකම් මැනවින් පෙන්වමින් අදාළ ස්ථානය පරීක්ෂා කළ සෙබළුන්ට හමුවී ඇත්තේ පැති දෙකකින් හාරා ඇති දැවැන්ත දෝනා දෙකකි.
අඩි පහළොවක් පමණ ගැඹුරින් සිදුකර ඇති මෙම කැණීම් කලක් තිස්සේ සිදුකළ ඒවා බවට තහවුරු විණි.
මෙහෙයුමට අනුව සිවිල් ඇඳුමින් සැරසී සිටි විශේෂ කාර්යා බළකා ඛණ්ඩයට අමතරව නිල ඇඳුමින් සැරසුණු තවත් අනුඛණ්ඩයක් වහාම තේ වත්තට කැඳවන ලදී.
ඊට අමතරව විවිධ ස්ථාන හරහා සැකකරුවන් පැන යෑම වළක්වා ලමින් තේ වත්තෙන් පිටත ස්ථාන රැසක සෙබළු රැඳී සිටිමින් මෙහෙයුමට සහාය දැක්වූහ.
සිද්ධි සියල්ල අතරතුර විශේෂ කාර්ය බළකායේ දඹුල්ල කඳවුරු භාර අණදෙන නිලධාරී ප්රධාන පොලිස් පරීක්ෂක එච්.ජී. ලාල් ජයතිලක මහතා සිය අනන්‍යතාව තහවුරු කරමින් පැමිණ ඇත්තේ විශේෂ කාර්ය බළකායේ සෙබළු ඇතුළු කණ්ඩායමක් බව සැකකරුවන්ට ඒත්තු ගැන්වීමටය.
ඒ මොහොත ෙවනවිටත් සෙසු සෙබළු සිය මෙහෙයුම පුළුල් කර තිබිණි.
ගමන් කිරීමට අපහසු දෝනාවේ සෙබළු සිය මෙහෙයුම දියත් කරමින් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙක් හා කැණීම සඳහා යොදාගත් උපකරණ රැසක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
වන සතුන්ට පමණක්ම උරුම වූ මේ සුවිශේෂි නකල්ස් වනාන්තරය තුළ රැහැයි හඬ පමණක්ම ඇසෙන එහෙත් ඉඳහිට වෙනත් සතුන්ගේ කෙඳිරිලි හඬ මැද්දේ දිගුකලක් තිස්සේ සිදුකළ මහා පරිමාණ කැණීම සිදුකළ සියලු පුද්ගලයින් හා භාණ්ඩ විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්විය.
විදේශීය රටක පුද්ගලයෙකුට රුපියල් කෝටි 15ක මුදලකට කැණීම් භූමියේ පවතිනවා යැයි කියන අකුණු සන්නායකය ලබාදෙන පොරොන්දුව මත මෙම කැණීම සිදුකර ඇති බව විශේෂ කාර්ය බලකාය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙහෙයුම සඳහා ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා මාතලේ දිස්ත‍්‍රික් වන සංරක්ෂණ නිලධාරීන්ගේ ද සහාය ලැබිණි.
ව්‍යාපාරිකයා විසින් කැණීම් සිදුකළ පුද්ගලයින්ට, එක් අයෙකුට ලක්ෂ පහ බැගින් ගෙවන පොරොන්දුව යටතේ කැණීම සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.
කැණීම් සඳහා කුඩා ජෙනරේටරයක්, දෝනාව ඇතුළේ බැටරියක් ආධාරයෙන් විදුලිය ලබාදීම සඳහා යොදාගත් උපකරණ ද විශේෂ කාර්යය බළකායට හමුවිය.
මීට අමතරව තෙල්, මල්, බිත්තර ඇතුළු පූජා භාණ්ඩ රැසක් ද පසුව හමුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දඹුල්ල විශේෂ කාර්ය බළකායේ කඳවුරු භාර අණදෙන නිලධාරී ප්රධාන පොලිස් පරික්ෂක එච්.ජී. ලාල් ජයතිලක මහතා සඳහන් කළේ නකල්ස් රක්ෂිතය ලෝක උරුම භූමියක් ලෙස නම්කර ඇති බවයි.
ගැසට් අංක 140 අංක 9 පුරාවස්තු ආඥා පනතේ 6 වැනි වගන්තිය හා 15 - 1 යටතේ තමන්ට අයිති ඉඩමක හෝ වෙනත් අයෙකුට අයිති ඉඩමක හෝ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරයක් නොමැතිව පුරාවස්තු (නිදන් වස්තු) සෙවීමේ අරමුණින් කැණීම් සිදුකිරීම නීතිවිරෝධි බව හෙතෙම සඳහන් කළේය.
2010.06.31 දා යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නකල්ස් රක්ෂිතය නම් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
අදාළ කැණීම් සිදුකළ භූමිය රජයේ බලපත‍්‍ර ඉඩමක් බවට ද අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් වන “වෝටර් ජෙල්” තොගයක් හා සේවා නූල්, කැණීමට යොදාගත් උපකරණ රැසක්, පිපිරීම් සිදුකිරීමට ගන්නා වෙඩි බෙහෙත් තොගයක් ද වෙයි.
කලක් තිස්සේ කිසිඳු පුද්ගලයෙකුට සැක ඇති නොෙවන ආකාරයෙන් මෙම කැණීම සිදුකර ඇති බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා යතුරුපැදියක් හා කැණීම සඳහා යොදාගත් උපකරණ රැසක් ද ලග්ගල පොලිසියට භාරදීමට විශේෂ කාර්ය බළකාය හා මාතලේ වන සංරක්ෂණ නිලධාරීහු පියවර ගත්හ.
ව්‍යාපාරිකයා මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුට මහනුවර ප‍්‍රදේශයේ හෝටල් 2ක් හා මාතලේ නගරයේ රෙදිපිළි අෙලවිසැලක් පවතින බවට ද අනාවරණ වී තිබේ.
සෙසු සැකකරුවෝ මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් පරිදි, වව්නියාව කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් හා නියෝග පරිදි දඹුල්ල විශේෂ කාර්ය බළකායේ කඳවුරු භාර අණදෙන නිලධාරී ප්රධාන පොලිස් පරීක්ෂක එච්.ජී. ලාල් ජයතිලක මහතා හා සැරයන් (39519) ජයවර්ධන, කොස්තාපල්වරුන් වන (35256) ගුණරත්න, (83531) කුලතුංග, (79318) දුෂාන්, (6399) දම්මික හා කොස්තාපල් රියදුරු (80880) විජේසුන්දර යන මහත්වරු පළමු කණ්ඩායම ලෙස සහභාගී වූහ.
දෙවැනි කණ්ඩායම ලෙස උප පොලිස් පරීක්ෂක සිරිල්, සැරයන් (8780) ඒකනායක යන මහත්වරු මෙහෙයුමට එක්වූහ.
වන සංරක්ෂණ සහකාර ඩී.එම්.බී. ඉන්ද්‍රජිත්, ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් පරීක්ෂණ සැලසුම් නිලධාරී ඊ.එම්. රසික ඒකනායක, අතිරේක අඩවි වන නිලධාරි (නකල්ස් රක්ෂිතය) කේ.එම්. වසන්ත ජයසිංහ මහත්වරු ඇතුළු ලග්ගල රත්නින්ද ග‍්‍රාම නිලධාරිවරයා ද මෙහෙයුම සඳහා සහභාගී වූහ.
දුම්බර වනපෙත වූ කලී දකුණ හා නැගෙනහිර දෙසින් මහවැලි නිම්නයෙන්ද බටහිරින් මාතලේ නිම්නයෙන් ද හුදකලා වූ කඳු ශිඛරයකි.
නිරන්තර මීදුමෙන් වැසි ඇති හෙයින් ‘දුමින් බර ’ දුම්බර බවට පත්වූ බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා සඳහන් කළේය.
නකල් කඳු පංතිය තුළ පිහිටි ගොම්බානිය, කිරිගල්පොත්ත, දුම්බානගල, කළුපහන, වමාරපුගල, දෝතළුගල, පතනගල, තෙලඹුගල හා ලකේගල මේ කඳු පංතියේ සුපතළ කඳු පංතීන්ය.
ආනන්ද කනහැරආරච්චි මහතාට අනුව මේ දුම්බර කඳු පංතිය හරහා ගලායන සුන්දර දිය දහරාවන් චමත්කාර දසුන් මවමින් මිටියාවත දිගේ ගලායන්නේය. නකල්ස් නිම්නයේ බටහිර බෑවුමේ අධික ලෙස බට වර්ගයන්ගෙන් වැසී තිබීම හේතුවෙන් ‘බට දඬුමානා කඳු වැටිය ’ ලෙසට ද නකල්ස් කඳුවැටිය හඳුන්වනු ලබයි.
ගිනිකොන දිශාවේ සිට වයඹ දිසාවට හුන්නස්ගිරිය සිට ලග්ගල දක්වා සැතපුම් 18ක් පමණ දිගින් යුතු මේ කඳු වැටිය ආශ‍්‍රිත ප‍්‍රදේශය හෙක්ටයාර් තිස් දහසක් පමණ වන බවත් කඳු ශිඛර මීටර් 1900ක් පමණ උසකට විහිදී යන බවත් නකල්ස් කඳු නිම්නය මහවැලි ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙසද අතිශය වැදගත් පරිසර පද්ධතියක් බවත් දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපතිවරයා සඳහන් කළේය.
‘මේ අති සුන්දර භූමිය ලෝකයේම අවධානය දිනාගත් පෙදෙසක්. මෙහි අවස්ථා ගණනාවකදී මෙවැනි කැණීම් පමණක් නොව විවිධ පාරිසරික හානි සිදුවෙලා තියෙනවා.
සතුන් දඩයම මෙන්ම වනාන්තර ගිනි තැබීම හා අපට නොපෙනන ජෛව විද්‍යාත්මක වටිනාකමකින් යුතු විවිධ සත්ව හා ශාක කොටස් පවා විවිධ පුද්ගලයින් විසින් වෙනත් රටවල් සඳහා අෙලවි කරන ස්වභාවයන් වාර්තා වෙලා තියෙනවා.
ඒ නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජය වහාම පියවර ගත යුතු වෙනවා. නොඑසේ නම් ලෝකයටම ඉතා වැදගත් මේ පාරිසරික පද්ධතිය නොමනා මිනිසුන් අතින් විනාශ වී යෑමේ අවදානම ඉතාමත් උග‍්‍ර අතට හැරෙවී ’ යැයි අවසන් වශයෙන් දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා අවධාරණය කළේය.
සටහන හා ඡායාරූප
නාඋල - ඉන්දික අරුණ කුමාර
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අකුණු සන්නායක සොරුන් සොයා නකල්ස් මහ කැලේ එස්.ටී.එෆ් මෙහෙයුමක්