IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජාතිය පුබුදුකළ ‘ලංකෝපකාර’ මුද්‍රණාලයේ ඉරණම

මාරකොල්ලියේ විමලජෝති හිමි

 

 

ලංකාවේ ප්‍රකාශයට පත් කළ මුල්ම සිංහල පුවත්පත වන්නේ ‘ලංකාලෝකය’ පුවත් පතයි. එම පුවත්පත මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කර ගත් වසර 157 ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ‘ලංකෝපකාර’ මුද්‍රණාලය ගිනිගෙන විනාශයට පත්ව වසර පහක කාලයක් ගතව ඇත. අදටත් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කළ හැකි මට්ටමක පවතින එම මුද්‍රණාලය සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ගාල්ල, කතළුව, ගිනිවැල්ල, රන්වැල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි මාරකොල්ලියේ විමලජෝති හිමියෝ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටිති.   


ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ අච්චු කන්තෝරුව ලෙස සැලකෙන මෙම මුද්‍රණාලය මෙරටට ගෙන්වා ගැනීමෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණේ ගාල්ල, මිනුවන්ගොඩ, පරමානන්ද විහාරාධිපතිව වැඩ විසූ බුලත්ගම ධම්මාලංකාර සිරිසුමන තිස්ස නාහිමියන්ය. 1795 දී අලුත්නුවර උඩබුලත්ගමදී උපන් උන්වහන්සේ 1815 දී පැවිදි දිවියට පත්ව ඇත. පරමානන්ද විහාරාධිපතිව වැඩ වාසය කරමින් කතළුව, රන්වැල්ල පුරාණ විහාරස්ථානය නිර්මාණය කළ උන්වහන්සේ එහිද බොහෝ කලක් වැඩ වාසය කර තිබුණි.   
බුලත්ගම නායක හිමියන් 1834 දී දඹදිව වැඳ පුදා ගැනීමට ගොස් වසර දෙකක පමණ කාලයක් කල්කටාවේ වැඩවසමින් සංස්කෘත සහ හින්දි යන භාෂා ඉගෙනගෙන ඇත. එම ගමනේදී බුරුමය, සියම සහ කාම්බෝජය යන රටවලට වැඩමකර එම රටවල වැඩ විසූ නායක හිමිවරුන් සහ රජවරුන් මුණගැසී ඔවුන් සමග සමීප මිත්‍රත්වයක් ගොඩනගා ගෙන තිබිණි. ලංකෝපකාර මුද්‍රණාලය පරිත්‍යාග කළ සියමේ මොන්කට් හෙවත් හතර වන රාමා රජු ඒ වන විට වජිරයාන් හෙවත් වජිරඤාණෝ නමින් පැවිදිව සිට ඇත. බුලත්ගම නායක හිමියන් ඒ හිමියන් සමග සමීප සබඳතාවක් ගොඩනගා ගෙන තිබූ අතර වසර 27ක් මහණදම් පුරා 1851 දී ඒ හිමියන් රජ වීමෙන් පසුවද බුලත්ගම නායක හිමියන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි.   


බෞද්ධ අච්චු කන්තෝරුවක් පිහිටුවීම සඳහා වන මුල්ම සාකච්ඡාව බුලත්ගම නායක හිමියන් විසින් පවත්වා ඇත්තේ 1861 වසරේදී ගාල්ල පරමානන්ද විහාරස්ථානයේ දීය. එම වසරේදීම ධනවත් බෞද්ධයින්ගෙන් බෞද්ධ කන්තෝරුවක් මිලදී ගැනීම සඳහා පවුම් 10 බැගින් එකතු කිරීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබුණි. සියමේ රජ කළ මොන්කට් රජුගෙන් බුලත්ගම නායක හිමියන් කරන ලද ඉල්ලීමකට අනුව එම රජු මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා පවුම් 212 ක් සහ සිලිම් 10 ක මුදලක් 1861 වසරේ අග භාගයේ එවා තිබුණි. 1862 දී එංගලන්තයේ ලන්ඩන් නුවරින් කොළොම්බියන් මුද්‍රණ යන්ත්‍රය මිලදී ගෙන ඇත්තේ එම මුදලිනි.   

 

මුද්‍රණාලය විනාශවීමට පෙර ගත් ඡායාරූපයක්

 


ඌවේ දිසාවේ උඩුහාව අභයකෝන් ජයසුන්දර හේරත් බණ්ඩාර මුදලිතුමා එම ප්‍රදේශයේ ධනවත් බෞද්ධයින්ගෙන් එකතු කළ පවුම් 231කින් පොත් මුද්‍රණය කිරීමේ යන්ත්‍රය ඇතුළු අවශේෂ යන්ත්‍ර මිලදී ගෙන ඇත. ධනවත් බෞද්ධ ප්‍රභූන්ගෙන් ලැබුණු තවත් පවුම් 190ක මුදලකින් පොත් බැඳීම යන්ත්‍රය ඇතුළු අනෙකුත් යන්ත්‍ර මිලදී ගෙන තිබුණි. මෙම මුද්‍රණාලය සියම් රජුගෙන් ලංකාවට ලැබුණු උපකාරයක් නිසා එය ”ලංකෝපකාර” අච්චු කන්තෝරුව යනුවෙන් හැඳින්වූ බවද සඳහන් වේ.   


ඒ වන විට මෙරට තුළ ක්‍රියාත්මක වෙමින් පැවති අන්‍ය ආගමික බලවේගයන්ට පිළිතුරු දීම සඳහාත් බුදුදහමේ සහ සිංහල ජාතියේ අභිවෘද්ධිය සඳහාත් මෙම මුද්‍රණාලය මෙරටට ගෙන්වාගෙන තිබුණි. මෙම මුද්‍රණාලය ගාල්ල කොටුවේ පිහිටි කුඩා නිවසක සවිකර 1862 සිට ‘ලංකාලෝකය’ පුවත්පත මුද්‍රණය කරගෙන ගොස් තිබුණි. ලියාපදිංචි පුවත්පතක් නොවූ එම පුවත්පත ෆ්ලූස්කැප් ප්‍රමාණයේ එකක් විය. එම පුවත්පත මාසයට කලාප දෙක බැගින් මුද්‍රණය වී ඇත. පුවත්පතක අන්තර්ගත විය යුතු සියලු අංගයන්ගෙන් එම පුවත්පත සම්පූර්ණව පැවති බවද සඳහන් වේ.   


මෙරට නිදහස් සටනේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබූ 1873 අගෝස්තු මස 26-27-28 දක්වා පැවති පානදුරා වාදය සහ බද්දේගම වාදය වැනි ප්‍රසිද්ධ වාදයන් පිළිබඳ කරුණු ප්‍රකාශයට පත්කිරීම සඳහාද වෙනත් විවිධ සිංහල බෞද්ධ ප්‍රකාශන එළිදැක්වීම සඳහාද මෙම මුද්‍රණාලය උපයෝගී කරගෙන තිබුණි. පානදුරා වාදය ඇතුළු වාදයන් සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සුමංගල, වස්කඩුවේ සුභූති, දොඩන්දූවේ පියරතන යන හිමිවරු සමඟ බටුවන්තුඩාවේ පඬිතුමා සමඟ එක්වූ බුලත්ගම ධම්මාලංකාර හිමියන් සිංහල ජාතියත් බුදුදහමත් රැකගැනීමෙහිලා සුවිශාල කාර්යභාරයක් ඉටුකොට තිබුණි. සෙන්පති හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා 1880 මැයි මස 17 වන දින ගාලු වරායෙන් මෙරට සැපැත්ව ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේදී පන්සිල් සමාදන්ව බෞද්ධයකු බවට පත්ව සංඝ සභාවේ මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණේද බුලත්ගම ධම්මාලංකාර හිමියන්ය.   

 

ලංකෝපකාර මුද්‍රණාලයෙන් මුද්‍රණය කරන ලද ග්‍රන්ථ

 


 දැනට මෙම මුද්‍රණාලය ලොකු මුද්‍රණ යන්ත්‍රයකින්ද, කුඩා මුද්‍රණ යන්ත්‍රයකින්ද, පොත් බඳින යන්ත්‍රයකින් ද තීන්ත සමානව ආලේප කිරීමට යොදා ගන්නා යන්ත්‍රයක් ඇතුළු තවත් අවශේෂ යන්ත්‍ර කීපයකින්ද සමන්විතය. සියම් රජු පරිත්‍යාග කල මුදලින් ලබා ගන්නා ලද ලොකු මුද්‍රණ යන්ත්‍රය එංගලන්තයේ නිෂ්පාදිත කොළොම්බියන් වර්ගයකි. එම යන්ත්‍රයේ ලකුණ ලෙස යොදා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ලාංඡනය වන රාජලියා ය. මෙයට හේතු වී ඇත්තේ මෙම මුද්‍රණ යන්ත්‍රය ජෝජ් ක්ලයිමර් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ දී මුලින්ම නිපදවා තිබීමත් පසුව එම රටේ ඉල්ලුම අඩුවීම නිසා 1817 දී ඔහු තම ව්‍යාපාරය එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙන යෑමත් ය. කුඩා මුද්‍රණ යන්ත්‍රය හොප්කින්ස් සහ කෝප් සමාගම විසින් එංගලන්තයේ ලන්ඩන් නුවර දී නිපදවා ඇත.   


මෙම මුද්‍රණාලය රජයේ ලියාපදිංචි කර ඇත්තේ 1912 වසරේ දීය. දෙවන ලෝක යුද සමයේදී මෙම මුද්‍රණාලය ආරක්ෂාව සඳහා එය එවකට එහි වැඩ කරමින් සිටි අයෙකුට බදු ඔප්පුවක් මගින් පවරා දී තිබුණි. ඔහු විසින් අනතුරුව එම මුද්‍රණාලය පානදුර, වල්පොළ ප්‍රදේශයේ පිහිටි තම නිවසට රැගෙන ගොස් මුද්‍රණ කටයුතු සිදුකරගෙන ගොස් ඇත. නමුත් එම පුද්ගලයා නැවත මුද්‍රණ යන්ත්‍රය ලබා නොදීම නිසා එවකට විහාරාධිපතිව වැඩ විසූ කෝදාගොඩ සුමනපාල හිමියන්ට අධිකරණයේ පිහිට පතන්නට සිදුව තිබිණි. 1942 වසරේ පානදුරයට රැගෙන ගිය මෙම මුද්‍රණාලය අධිකරණ නියෝගයක් මත නැවත විහාරස්ථානයට ලැබී තිබුණේ 1954 මාර්තු මස 06 වන දින දීය.   


1862 දී ආරම්භ වූ ‘ලංකා ලෝකය’ පුවත්පත මුදල් අගහිඟකම් නිසා වසර දෙකකට පසු නතර කර දමන්නට ද සිදුව තිබිණි. නැවතත් 1886 වසරේ සිට මෙම පුවත්පත මුද්‍රණය කිරීම සිදුකරගෙන ගොස් තිබුණි. 1862 සිට 1925 දක්වා සුදර්ශන සඟරාව, ආගම පරීක්ෂාව, සුමති සංග්‍රහය, බද්දේගමවාදය, ලෝවැඩ සඟරාව, බුදුගුණඅලංකාරය, සිදත් සඟරාව, බුද්ධ මෙහෙය ඇතුළු ග්‍රන්ථ මහත් රාශියක් මෙම මුද්‍රණාලයෙන් මුද්‍රණය කර ඇත.   


බුලත්ගම නායක හිමියන් සියමේ චූලාලංකාර රජතුමා සමග ද සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබුණි. 1882 දී බුදු දහම පිළිබඳ ලියැවුණු පොත් පෙට්ටි දහයක් එම රජු විසින් නායක හිමියන්ට තෑගි කර එවා තිබිණි. එම පොත් පරමානන්ද විහාරයට ගෙනවිත් තිබුණේ පෙරහරකිනි. එම පෙරහර හේවිසි වයමින් පල්ලියක් අසලින් ගමන් කිරීම නිසා මේසන් නමැති නඩුකාරවරයා රුපියල් 50ක දඩයක් ද නියම කර තිබූ බව “සමීපාතීතයේ බෞද්ධ චර්යයෝ” නමැති ග්‍රන්ථයේ සඳහන් වේ.   


එම දඬුවමට විරුද්ධව ගත් ඇපෑල අනුව එම දඩය අවලංගු කරමින් නායක හිමියන්ගෙන් සමාව අයදින්නට නඩුකාරයාට සිදුව තිබුණි. නායක හිමියන් මේ පිළිබඳව සියම් රජුට දැන්වීමෙන් පසුව එම රජු වික්ටෝරියා රැජිනට මේ පිළිබඳව තොරතුරු සඳහන් කර තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස නායක හිමියන්ට තමන් කැමති ඕනෑම මාර්ගයක පෙරහැර ගෙන යා හැකි වන සේ විශේෂ බලපත්‍රයක් ද වික්ටෝරියා රැජින විසින් එවා තිබූ බවද එම ග්‍රන්ථයේ සඳහන් වේ.   


සිංහල මුද්‍රණ කර්මාන්තයේ ආරම්භය ලොවට හඩ ගා කියන, සිංහල ජාතියෙත්, සම්බුද්ධ ශාසනයෙත් උන්නතියට මහගු මෙහෙවරක් සිදුකළ මෙම ලංකෝපකාර මුද්‍රණාලය මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තැබීමට වගකිව යුතු බලධාරීන්, නොපමාව පියවර ගත යුතුව ඇත.   

 


සටහන හා ඡායාරූප
රත්ගම ගාමිණී මහදුර 



අදහස් (1)

ජාතිය පුබුදුකළ ‘ලංකෝපකාර’ මුද්‍රණාලයේ ඉරණම

කවිශා මල්ශානි Sunday, 24 October 2021 02:27 PM

ස්තුතියි. ගොඩක් වැදගත් තොරතුරු හම්බුනා. ලංකාවේ පළමු බෞද්ධ පුවත්පත මොකක් ද කියලා දැන ගන්න පුළුවන් ද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10923 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site