(අංජුල මහික වීරරත්න සහ නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි අඹේවෙල සිට)

රාජපක්ෂ ආණ්ඩුව සමයේ අතුරුදන් වූ ඩොලර් කෝටි ගණනක් වූ ජාතික ධනය පිළිබඳව කවුරුන් හෝ අබිරහස් නවකතාවක් ලිවිය යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අඹේවෙලදී පෙරේදා (7) පැවැසීය.

ඡුන්ද දායකයන් යහපාලන රජයට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමට බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රජය කිසිවිටක හොරකම අනුමත නොකරන බව ද කීවේය.

එදා වංචා දුෂණ හෙළිකරන විට දුටුගැමුණු රජුට මඩ ගහනවා යැයි කියූ මාධ්‍යය අද යළි උපන්නා ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳව අමාත්‍යාංශයට අනුබද්ධ මිල්කෝ (ප‍්‍රයිවට්) ලිමිටඞ්හි අඹේවෙල කර්මාන්තශාලාවේ නවීකරණය කළ කිරිපිටි නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මෙහිදී අගමැති අතින් කිරි ගොවීන් සඳහා ඇගයුම් තිළිණ ප‍්‍රදානයක් ද සිදුවිය.

එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

”පළමුවෙන්ම පදිරිප්පුව ප‍්‍රදේශයෙන් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නර්තන කණ්ඩායමට මම ප‍්‍රශංසා කරනවා. එය සම්ප‍්‍රදායත් නූතන ක‍්‍රමයත් එක්වූ ඉතා හොඳ නැටුමක්. ඒ වගේම යුද හමුදා නර්තන කණ්ඩායමටත් ප‍්‍රශංසා කරනවා. නමුත් මෙම ස්ථානයෙන් ඉක්මනින් පිටව යා යුතු නිසා ඔවුන්ගේ අනෙක් නර්තනාංග බැලීමට නොහැකිවීම අවාසනාවක්.

අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා නව ආයෝජන හරහා නවීකරණය වූ මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමට මට ආරාධනා කළා. මෙම කර්මාන්තශාලාව නවීකරණය  කිරීම සඳහා 2008 වසරේ කටයුතු ආරම්භ කළත් ඊට අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුතු ආරම්භ කළේ 2015 වසරේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව යටතේයි.

මෙම නවීකරණ කටයුතු සිදු නොකළා නම් කිරි විශාල ප‍්‍රමාණයක් අපතේ යාම සිදුවෙනවා. කිරි ගොවීන්ට සිය කිරි නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකි වෙනවා. මෙම නවීකරණය හරහා දැනට මෙහි තිබෙන කිරි ලීටර් ලක්ෂයක ගබඩා පහසුකමට අමතරව තවත් කිරි ලීටර් ලක්ෂ දෙකක ගබඩා පහසුකමුත් ලැබී තිබෙනවා.

මේ හරහා අපේ බටර් නිෂ්පාදනය දිනකට කිලෝග‍්‍රෑම් දස දහසක් දක්වා වැඩිකර ගැනීමේ හැකියාවක් තිබෙනවා. දැනට පවතින ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත ටැංකියටත්, ලීටර් 20,000 බැගින් වන ගබඩා ටැංකි හතරටත් අමතරව ලීටර් 40,000ක ගබඩා පහසුකම් සහිත තවත් ටැංකි දෙකක් මෙහි ඉදිකර තිබෙනවා. එම නිසා මෙහි තිබෙන ගබඩා පහසුකම පෙරටත් වඩා වැඩි වී තිබෙනවා.

ඒ වගේම පාස්චරීකරණ යන්ත‍්‍රයේ දැන් ක‍්‍රියාකාරීත්වය පැයකට ලීටර් 15,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ වගේම සෙන්ටිගේ‍්‍රට් අංශක 90 දක්වා අවශ්‍ය උණුසුම සැපයීමේ පහසුකම් දියුණු කර තිබෙනවා. එමෙන්ම කර්මාන්තශාලාවේ වායුසමීකරණ යන්ත‍්‍ර හරහා පැයකට ලීටර් 15,000ක් පාස්චරීකරණය කිරීමේ හැකියාව තිබෙනවා. එසේ නම් මෙය වැදගත් ආයෝජනයක් බවට අපට පෙනී යනවා. මේ ප‍්‍රදේශයේ කිරි ගොවීන්ට එදාට වඩා හොඳ ආදායමක් ලබාගැනීමේ හැකියාව අද උදාවී තිබෙනවා.

රජයක් ලෙස අපි ප‍්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි. අපේ අරමුණ නාස්තිය නොව රටේ සුභසිද්ධියයි. වල් අලි වාසය කරන ප‍්‍රදේශයක කෝටි 320ක වියදමින් සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉදිකිරීම වැනි නොවැදගත් ආයෝජන අප සිදු කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවේ රාජපක්ෂ රෙජිමය ඉදිකිරීමේ කටයුතු කළේ තම හෙංචයියන්ට වාසි ලබාදීම සඳහා පමණයි.

ඔවුන් හම්බන්තොට වරායට ඩොලර් කෝටි 150ක් ගෙවා තිබෙනවා. නමුත් අපි හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කරනවිට වැඩිම මුදලක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගම් දෙක අතුරින් අප තෝරා ගත්තේ රටට වැඩිම වාසියක් අත්වන පරිදි ඩොලර් කෝටි 140ක් ගෙවීමට ඉදිරිපත් වූ සමාගමයි. නමුත් පසුගිය රජය මෙය ඉදිකිරීමේදී ඩොලර් කෝටි 150ක් වැයකර තිබෙනවා. නමුත් එහි වටිනාකම ඩොලර් කෝටි 140ක් පමණයි. එසේ නම් අතුරුදන් වූ ඉතිරි ඩොලර් කෝටි 10 හෙවත් රුපියල් කෝටි 1500 පිළිබඳව කවුරුන් හෝ අභිරහස් නවකතාවක් ලිවිය යුතුයි.

එදා අපි මෙම වංචාව පෙන්වා දෙන විට ලංකාවේ මාධ්‍ය අප ද්‍රෝහීන් යැයි පැවැසුවා. අපි දුටුගැමුණු රජ්ජුරුවන්ට මඩ ගහනවා යැයි පැවැසුවා. නමුත් දැන් ලංකාවේ තිබෙන්නේ යළි උපන් මාධ්‍යයක්. හොරකම් කිරීම අනුමත කරන්නේවත් අනුමත කිරීමට වුවමනාවක්වත් අපට නැහැ. අපේ ඡන්ද දායකයන් අපට ඡන්දය දුන්නේ හොරකම් නොකරන ක‍්‍රමවේදයක් ඇති කිරීමටයි. අපේ ඇමැතිවරුන්ට හොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා නොතිබුණත් අවශ්‍ය අවස්ථාවල ලංකාවේ පළමු වතාවට කොමිෂන් සභා ඉදිරියට ගොස් සාක්ෂි දෙන ලෙස අප පැවැසුවේත් එම නිසා බව මම විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න කැමැතියි.

නවීන් දිසානායක ඇමැතිතුමාත් පැවැසූ පරිදි අප මේ රට භාර ගන්නාවිට රටේ ආර්ථිකය පැවැතියේ විශාල අර්බුදයකයි. පසුගිය රජය වතුර ඉල්ලූ දරුවන් මරා දැම්මේ පඩි වැඩි කිරීමට ඉල්ලූ සේවකයන්ට වෙඩි ප‍්‍රහාර එල්ල කළේ එම ආර්ථික ආර්බුදය පිළිබඳව ඔවුන් දැනගෙන සිටි නිසයි. ඔවුන් එදා උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව උපවාස කළ පුද්ගලයන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා. අප බලයට පත්වී ඒ සියලූ දේ වෙනස් කළා. අප ජනතාවට සහන ලබාදෙමින් නිවාස ව්‍යාපෘති ලබාදීමට පියවර ගත්තා. මේ වනවිට අප වතුකරයේ නිවාස 16,000ක් ඉදිකරමින් සිටිනවා. ඒ වගේම තවත් නිවාස 14,000ක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගිය වසරේ ලක්ෂ 20ක් දක්වා වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබුණා. එම සංචාරකයන් විශේෂයෙන් මේ ප‍්‍රදේශවලට පැමිණෙනවා. අප මෙවැනි විශාල දියුණුවක් කරා රට ගෙන ගියා. අප රටේ අධ්‍යාපනයට යොදවන මුදල් ප‍්‍රමාණය වැඩිකරමින් වසර 13ක පාසල් අධ්‍යාපනය අප අනිවාර්යය කළා. ඒ වගේම මේ ප‍්‍රදේශය තුළ උසස් පෙළ විභාගය සඳහා විද්‍යා අංශයෙන් ඉදිරිපත්වන ළමුන්ට ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාල 25ක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මූලික ආහාර වර්ග සාධාරණ මිලක් යටතේ ලබාදීමටත් අප දැන් කටයුතු කරමින් සිටිනවා. මේ සියලූ දේ දීර්ඝකාලීනව ඉදිරියට ගෙන යාමට නම් අපට ශක්තිමත් ආර්ථියක් අවශ්‍ය වෙනවා. අප 2015 දී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ එම ශක්තිමත් ආර්ථිකය ගොඩ නැගීම සඳහායි.

මීට පෙර ශ්‍රී ලංකාවට තිබුණේ ණය බරින් මිරිකුණු ආර්ථිකයක්. එම ණය ප‍්‍රමාණය කෙතරම් ද කියනවා නම් රාජපක්ෂ රෙජිමය ණය ලබාදෙමින් හොඳට කෑවා. ඒ කෑම වමනෙ කළාම රටටම ඒක සුද්ධ කරන්න වෙලා තියෙනවා. ඔවුන් ණය බර පරම්පරා තුනකට ඉතිරි කළා. නමුත් අපේ පරම්පරාවේදීම මේ ණය ගෙවා අවසන් කිරීමට අප තීරණය කර තිබෙනවා. සෑම දෙමවුපියකුගේම අරමුණ තමන් ලබාගත් ණය තමන්ගේ දරුවන්ට ගෙවීමට ඉඩ නොදී තමන් විසින්ම ගෙවා අවසන් කිරීමයි. අන්න ඒ නිසයි අප ලබාගත් ණය අපේ කාලයේදීම ගෙවා දැමීමේ අරමුණ ඇතිව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එක්ව මම ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ.

මේ ණය ගෙවීම පරක්කු කරමින් එය තවත් පරම්පරා කිහිපයකට ඉතිරි කරමින් පක්ෂ අතර ගැටුම් ඇතිකර ගනිමින් බලයේ සිටීමේ හැකියාව අපටත් තිබුණා. අප ආණ්ඩුව භාරදුන් 2005x2014 කාලය තුළ මෙ රටේ සම්පූර්ණ ණය ප‍්‍රමාණය 233% කින් වැඩි වී තිබෙනවා. නමුත් රටේ ආදායම පහළ බැස තිබුණා. අවසානයේ ණය පියවීම සඳහා රටේ ආදායම ප‍්‍රමාණවත් වුණේ නැහැ. 2013 වසරේදී රටේ ණය පියවීම සඳහා රුපියල් කෝටි 1147ක් අවශ්‍යව තිබුණා. නමුත් ඒ වනවිට රටේ ආදායම රුපියල් කෝටි 130ක් පමණයි. ණය පියවීමට, රටේ එදිනෙදා වියදම් සඳහා ප‍්‍රාග්ධනය ආදිය සඳහා රට තුළ මුදල් තිබුණේ නැහැ. ඔවුන් ඉක්මන් ජනාධිපතිවරණයකට එළැඹුණේ මෙම ගැටලූ නිසායි.

නමුත් මේ රට භාරගැනීමෙන් පසුව අප ඉතා අමාරුවෙන් රට ඉදිරියට ගෙන ගියා. 2016 දී ණය ගෙවීම සඳහා අපට රුපියල් බිලියන 1353ක් අවශ්‍ය වුණා. එම වසර තුළ අප ගනු ලැබූ පියවර සහ කි‍්‍රයාමාර්ග හේතුවෙන් රටේ ආදායම රුපියල් බිලියන 1681ක් දක්වා වර්ධනය වුණා. එසේ නම් අඩුම තරමින් එම වසරේදී රටේ ආදායමෙන් ලබාගත් ණය පියවීමට හෝ හැකියාව තිබුණා. අපට වැට් වැඩි කිරීමට ද සිදුවුණා. ඒ වගේම බදු එකතු  කරන්නන්ගේ කණ්ඩායම වැඩි කිරීමට සිදුවුණා. ඒ හරහා ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාව අපට තිබුණා. නමුත් බොහෝ අය පැවැසුවේ ඉන්ධන මිල අඩු නොකර ඉන් ලැබෙන ආදායම ණය පියවීම සඳහා යොදවන ලෙසයි. නමුත් අප ජනතාවට ඉන්ධන සහනය ලබා දුන්නා. වැටුප් වැඩිනොකර එම මුදල් ණය පියවීම සඳහා යොදවන ලෙස ඇතැමුන් පවසද්දී අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා.

ඉන්ධන මිල අඩු කිරීමෙන් අපේ ආදායම පහත බැස්සා. වැටුප් වැඩිකිරීම හරහා අපේ වියදම් ඉහළ ගියා. නමුත් ජනතාවට සහන ලබාදෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ශක්තිය අප සතු බව අප තීරණය කළා. අප දැන් ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. නමුත් විසඳාගත යුතු තවත් ගැටලූ කිහිපයක් තිබෙනවා. ණය ගෙවීමට, රාජ්‍ය වියදම්, ප‍්‍රාග්ධන ආයෝජනයට ආදී සියලූ දේට අප දැන් මුදල් සොයාගත යුතුයි. 2018 වනවිට අපට ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 260 ලක්ෂයක්. 2016 දී අපට ගෙවීමට තිබුණේ රුපියල් කෝටි 135 ලක්ෂයක්. 2019 සහ 2020 දීත් මෙවැනිම විශාල ණය ප‍්‍රමාණයක් ගෙවීමට අපට සිදුව තිබෙනවා.

මේ තරම් විශාල ණය ප‍්‍රමාණයක් ගෙවන්නේ කෙසේ දැයි සිතමින් මෙහි සිටින නෝනා මහත්වරුන්ගේ මුහුණුවල ස්වභාවය දැන් තරමක් වෙනස් වී තිබෙනවා. අප මේ වනවිට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන්නේ අපේ ආදායම හරහා මෙම ණය ප‍්‍රමාණය ගෙවීමටයි. ඒ වගේම තවත් ගැටලූවක් අපට ඉතිරි වෙනවා. රටේ එදිනෙදා වැටුප් ගෙවීමට, අමාත්‍යාංශ පවත්වාගෙන යාමට, ඉන්ධන, විදුලිබලය ආදී වියදම් ගෙවීමට අපට සිදුවෙනවා. ඇතැම්විට අනාගතයේදී ණය ගැනීමට අපට සිදුවේවි. නමුත් එම ණය නැවත ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි.

රට තුළ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මහාමාර්ග, පාසල් ආදිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ණය අප ලබාගත යුතුයි. නමුත් නැවත එම ණය ගෙවිය යුතුයි. ඒවා ප‍්‍රතිලාභ ලැබෙන වාණිජමය ව්‍යාපෘති නොවෙයි. අප රටේ ආයෝජන අවස්ථා වැඩි කරනවා නම් මේ සියලූ දේ සඳහා ලබාගත් ණය පියවීමේ හැකියාව අපට ලැබෙනවා.

ආයෝජන, කර්මාන්තශාලා, හෝටල් ව්‍යාපෘති සහ වෙනත් ව්‍යාපාර ආදිය වර්ධනය වී ඒ හරහා රැකියා අවස්ථා වර්ධනය වෙනවා. එවිට ඒ හරහා වර්ධනය වූ සේවක සංඛ්‍යාව සහ එම ආයතන රජයට බදු ගෙවනවිට රටේ ආදායම ඉහළ යනවා. එම නිසා 2028-2029 වන තෙක් රටේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට සිදු කිරීමට තිබෙන්නේ රටේ වෙළඳාම වැඩි කරමින් අප අපනයනය කරන භාණ්ඩ සංඛ්‍යාව ඉහළ දැමීමයි.

පසුගිය කාලයේ රටේ අපනයනය පහත බැස තිබුණා. තේ, රබර්, පොල් හැර රටේ අපනයනය සීමා වී තිබුණේ ඇඟලූම්, රබර් සහ ටයර් නිෂ්පාදන සඳහා පමණයි. ජාත්‍යන්තරයෙන් රටට කිසිදු සහනයක් ලැබුණේ නැහැ. නමුත් අපේ ජාතික ආණ්ඩුව යටතේ දැන් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගනිමින් භාණ්ඩ 6000ක් අපනයනය කිරීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. නව නිෂ්පාදන 6000ක් නොවන අඩුම තරමින් නිෂ්පාදන 50ක් 100ක් අතර සංඛ්‍යාව හෝ අපනයනය කිරීමට හැකියාව තිබෙනවා නම් එය රටේ ආදායමට ප‍්‍රමාණවත්. අපනයන ආදායම වැඩිකරමින් ආයෝජන අවස්ථා වැඩි කිරීමයි අප දැන් සිදුකළ යුත්තේ. අප දැන් එය ආරම්භ කර තිබෙනවා.

 හම්බන්තොට වරාය හරහා රටට රුපියල් බිලියන 4600ක් අහිමි වුණා. නමුත් හම්බන්තොට වරාය පිළිබඳව වරාය අධිකාරියත් චයිනා මර්චන්ට් සමාගමත් අතර නව ගිවිසුමකට එළැඹුනු නිසා අපට රුපියල් කෝටි 16,500ක් ලැබී තිබෙනවා. හම්බන්තොට වරාය හරහා රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 6600ක්. නමුත් මේ ගිවිසුම නිසා රටට රුපියල් කෝටි 16,000ක ආයෝජනයක් ලැබුණා. මේ ආයෝජන හරහා රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනවා. අපේ ණය ප‍්‍රමාණය අඩුකර ගැනීමටත් අපට හැකිවෙනවා. මෙවැනි ක‍්‍රමානුකූල ආකාරයකට රටේ ආර්ථිකය පාලනය කරමින් ණය ගෙවීමටයි අප බලාපොරොත්තු වන්නේ.

රට තුළට ආයෝජන අවස්ථා සීඝ‍්‍රයෙන් රැුගෙන ආ යුතුයි. එම වැඩසටහනට අපේ සම්පූර්ණ ශක්තිය අවධානය යෙදවීමට අප බලාපොරොත්තු වනවා. හම්බන්තොට වරායත් සමග අපට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා ද ආයෝජන ලැබී තිබෙනවා. වානේ කර්මාන්තශාලාවක් සඳහාත් එල්.එන්.ජී. විදුලි බලාගාරයක් සඳහාත් සිමෙන්ති කර්මාන්තශාලාවක් සඳහාත් නැව් තටාකයකටත් අපට මූලික වශයෙන් ආයෝජන ලැබී තිබෙනවා.

මේ වනවිට වයඹ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු අප සූදානම් කරමින් සිිටිනවා. ඒ වගේම කළුතර ප‍්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කිරීමටත් අප සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශයත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු අප සිදුකරනවා. එවිට නුවරඑළිය, බදුල්ල ආදී ප‍්‍රදේශවල ජනතාවටත් මේ ප‍්‍රදේශයට පැමිණ රැකියා ලබා ගැනීමේ හැකියාව ඇති වෙනවා.

 ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස ආදී ජනාධිපතිවරුන් කර්මාන්ත කලාප ඇති කළ ආකාරයටම අපත් කර්මාන්ත කලාප ඇති කරමින් විශාල දියුණුවක් ළඟා කරගැනීමට බලාපොරොත්තු වෙනවා. මම එම ජනාධිපතිවරුන් දෙදෙනා යටතේම වැඩ කළා. මම බියගම වෙළෙඳ කලාප තුනක් ආරම්භ කළා. ඒ වගේම සීතාවක, කොග්ගල, පල්ලේකැලේ, හොරණ වෙළෙඳ කලාප අප ඇති කළා. ඇඟලූම් කර්මාන්තය සංවර්ධනය කරමින් කර්මාන්තශාලා 200ක් රට පුරා ඉදිකිරීමට පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට අප සහාය ලබා දුන්නා. එකල කර්මාන්ත ඇමැති ලෙස තවත් කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා.

 ඒ වගේම රට තුළ නව හෝටල් ව්‍යාපෘති ඇති කිරීමට අප කටයුතු කළා. මේ පළපුරුද්ද මත අප දැන් රට තුළ විශාල දියුණුවක් ඇති කිරීමට සූදානම් වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ජනතාවට ආදායම් ලැබිය හැකි අනෙක් මාර්ග දියුණු කිරීමට අප ඉදිරි වසර 3 කැප කරනවා.

 ජනාධිපතිතුමාත් මමත් අපේ ඇමැතිවරු සියලූ දෙනාත් මේ වැඩකටයුතු සඳහා එකතු වෙනවා. කිරි ගොවියන්ට හොඳ ගවයන් ලබාදීම එම වැඩපිළිවෙළේ එක් අංගයක්. රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඒ ආශි‍්‍රත ආහාර නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇති කිරීමට අප කටයුතු කරනවා. විශේෂයෙන් වතුකරයේ විද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන්ට තමන් කැමැති රැකියාවක් ලබා දීමට අවශ්‍ය වැඩකටයුතු අප සිදුකරමින් සිටිනවා. එම අනාගතය නිර්මාණය කිරීමයි අප දැන් සිදුකරන්නේ. රටේ අනාගතය සාර්ථක වන්නේ ණය පාලනය කරගැනීම හරහායි. අප මේ වනවිට එය පාලනය කර තිබෙනවා. අනාගතයේදීත් ණය පාලනය සිදුකරමින් ආයෝජන වැඩි කරමින් යළිත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගනවා යැයි මම මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා. මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ද මම ඔබට ස්තූතිවන්ත වෙනවා.”

ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා

”මේ කම්හලේ සිහිනය අප වසර ගණනාවක් දුටුවා. කම්හලේ මූලික වැඩ ඇරැුඹුනේ 2008 වසරේදීයි. අතරමග නැවතී නැවත 2014 දී වැඩ ඇරැඹුණා. වසර කිහිපයක් ප‍්‍රමාද වූවත් ජනපති අගමැති මඟ පෙන්වීම යටතේ ඒ කටයුතු ඉක්මන් කරන්න හැකි වුණා.

පසුගිය දිනවල කිරි කර්මාන්තය ගැන ප‍්‍රශ්න රැසක් ඇති වුණා. මාස තුනක් ඇතුළත මේ කම්හලේ පිරිපහදු කටයුතු ද අරඹනවා

කිරි ගොවියා පැත්තකට දැමූ යුගයක් තිබුණා. රුපියල් 50කට තිබූ කිරි ලීටරය 70ක් දක්වා මිලක් දීමට අපට හැකිවුණා.

පසුගිය කාලේ මේ කිරි කර්මාන්තයට සැලසුම් තිබුණේ නැහැ. නමුත් දැන් නවීන සැලසුම් අනුව මිල්කෝ සමාගම අලූත් පියවරක් තබා තිබෙනවා. කම්හලේ සමස්ත නිෂ්පාදනය ලීටර් ලක්‍ෂ තුනකින් පමණ වැඩි කිරීමට අපට හැකි වී තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා:

”මගේ ආසනයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස මිල්කෝ ආයතනය හඳුන්වා දිය හැකියි. මේ ප‍්‍රදේශය කිරි ආර්ථිකය නැංවීමට විශාල රුකුලක් දෙනවා. මේ ආයතනය නොයෙක් මූල්‍ය අර්බුදවලට මුහුණ දුන්නා. කළමනාකරණ අඩුපාඩු වුණා. මා කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නෑ. මේ ආයතන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණයි. රජයේ මෙන්ම රාජ්‍ය ආයතනවල සිටින සොරුන් ද පන්නා දැමිය යුතුයි. මේ ආයතනය ශක්තිමත් කරන්න උපරිම උත්සාහයක් ගත යුතුයි.

අප හමුවේ බැරූරුම් කාර්යයක් තියෙනවා. ඒ කාර්යය ඉටු කළ යුතුයි. විශාල ණය බරක් පියවීමට තිබෙනවා. අපිට ප‍්‍රශ්නවලින් පැන යන්නට හැකියාවක් නැහැ. අපට රට ඉදිරියට ගෙනයාමට පැහැදිලි දර්ශනයක් තිබෙනවා. දේශපාලන ගාම්භීරත්වයක් තිබෙන රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන අපට විශ්වාසයි.

කඳුරට නව ගම්මාන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා:

”සී.බී. රත්නායක මහතාගෙන් පසුව මේ ආයතනයේ ඉතිරි කළ මුදල් විනාශ වුණා. නමුත් පී. හැරිසන් මහතා පැමිණීමෙන් පසු තත්ත්වය හොඳ අතට ආවා. කිරි ගොවියා දියුණු කරන්න එතුමාට ශක්තිය තියෙනවා.

ආණ්ඩුව අද හෙට ගන්නවා යැයි මහින්ද රාජපක්‍ෂ කියනවා. හැකිනම් කරන්න. සුළු ජනතා පක්‍ෂ කිසි දිනක ආණ්ඩුව හැර යන්නේ නැහැ. මේ රජය යටතේ අපේ ජනතාවට විශාල මෙහෙවරක් සිදු කරනවා. ජනතාවට ඉඩම් නිවාස ලබාදෙනවා. අපි ඔක්කොම එකතු වෙලා රට හදමු. 2020 වනවිට අප රට හදා පෙන්වන්නම්.”

ග‍්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා ද අදහස් දැක්වීය. මෙම උත්සවයට කිරි ගොවීන් ඇතුළු ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.