(ඩයනා උදයංගනී)
තනතුරු යනු වරප්‍රසාදයක් නොව වගකීමක් ලෙස සලකා එම වගකීම් නිසි ලෙස ඉටු කරන්නැයි තමන් රජයේ තනතුරු ලැබූවන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (27) පැවසීය.
කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව මෙන්ම රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධූර සංඛ්‍යාවත් අඩුකිරීමේ අදහසක් තමාට තිබූ නමුත් තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති වගකීම් රාශියක් ඉටුකිරීමට ඇති නිසා රාජ්‍ය ඇමතිවරුන් 35ක් වැනි ප්‍රමාණයක් පත්කිරීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම රාජ්‍ය අමාත්‍යවරුන්ට ඉටුකිරීම සඳහා වගකීම් විශාල ප්‍රමාණයක් ඇති බව කී ජනාධිපතිවරයා ඔවුන්ට එම වගකීම් ඉටුකිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) පැවැති රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේ ද සඳහන් කළේය.
“අද දිවුරුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට මගේ සුබ පැතුම් පළ කරනවා. ඔබට මේ ලැබුණු තනතුරු වරප්‍රසාද නෙවෙයි. ඒවා වගකීම්. මෙවර ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව අප වෙත විශාල ජනවරමක් ලබාදුන්නේ විශාල බලාපොරොත්තු ඇතිවයි. එම අපේක්ෂාවන් ඉටුකිරීමේදී තනතුරු යනු වරප්‍රසාදයක් නොව වගකීමක් ලෙස සැලකිය යුතුයි.
අපට දේශපාලන වශයෙන් සහය හා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාදුන් හැම කෙනෙකුටම තනතුරු ලබාදීමේ හැකියාවක් අපට නැහැ. ව්‍යවස්ථාවේ ඇති සීමාවන් අනුව ඒ දේ කළ යුතුයි. ඒ වගේම කැබිනට් ඇමැතිවරුන් මෙන් රාජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාවද අඩුකිරීමේ කැමැත්තක් මා තුළ තිබුණත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ වගකීම් රාශියක් ඉටුකිරීමට ඇති නිසා මෙවැනි ප්‍රමාණයක් පත්කිරීමට තීරණය කළා. සමහරුන් තුළ ලැබුණු අමාත්‍යධූර ගැන සැකයන් තියෙන්න පුළුවන්. ඇතැම් තනතුරුවල නම් පුංචි වුණත් ඒවායේ ඇති වගකීම් විශාලයි. අපි රාජ්‍ය අමාත්‍යධූර සකස් කර තිබෙන්නේ වගකීම් වැඩි ප්‍රමාණයක් ඇතුළත් කරමිනුයි.
මා වසර ගණනක් රටේ ඇති ගැටලු පිළිබඳව කළ අධ්‍යයන හා මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාවගෙන් ලැබුණු අදහස් අනුව දුටු ජනතා අවශ්‍යතා අනුවත් සිතා බලා ඒවා ඉටුකිරීම වෙනුවෙන් මේ රාජ්‍ය අමාත්‍යධූර සකස් කර තිබෙනවා. උදාහරණයක් ලෙස දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යධූරය ගතහොත් එය රටේ දියුණු කළ යුතු අංශයක්. දුම්රිය සේවාව තුළ විශාල අවශ්‍යතාවන් ප්‍රමාණයක් තිබෙනවා. එය දියුණු කිරීමේ හා කාර්යක්‍ෂම කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කළේ ඒ නිසයි.
දේශීය වෛද්‍ය සේවා වෙනුවෙන්ද වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කර සිටිනවා. වර්තමානයේදී මෙම දේශීය වෛද්‍ය අංශය වෙනුවෙන් යොමු වී ඇති අවධානය අඩු වී ඇති බව පෙනෙනවා. නමුත් මෙය දේශීය මෙන්ම විදේශීය අවධානයද යොමු වී ඇති ක්‍ෂේත්‍රයක්. දේශීය වෛද්‍ය සේවාව දියුණු කරමින් එය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ද යොදා ගැනීම පිළිබඳව අප අවධානය යොමුකර තිබෙනවා. අද එයට ලැබිය යුතු ප්‍රමුඛත්වය ලැබී නොමැති බව පේනවා. ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් මෙම රාජ්‍ය අමාත්‍යධූරය පත්කළා.
එමෙන්ම සමාජ ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදී තිබෙනවා. සමාජ ආරක්‍ෂණ අමාත්‍යාංශය කුමක්දැයි ඇමැතිවරයාත් හිතනවා ඇති. ඔහු මා දෙස බැලූ ආකාරයෙන් මට එසේ සිතුණා. අපි හැමදාම කතාකරන දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වගකීම එම අමාත්‍යාංශයට තිබෙනවා. මගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම අපේ ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය තුළත් මේ ගැන වැඩි අවධානයක් යොමුවූ නිසා මෙම අමාත්‍යාංශය ඇතිකළා. ඒ වගේම කාන්තා හා ළමා කටයුතු සම්බන්ධවත් වැඩි අවධානයක් යොමු කළ යුතු නිසා ඒ වෙනුවෙනුත් රාජ්‍ය අමාත්‍යාංශයක් ඇතිකළා. අවාසනාවකට එය කාන්තාවකට දිය නොහැකි වුවත් මෙය ඉතා වැදගත් අමාත්‍යාංශයක්.
තාක්‍ෂණය දියුණු කිරීම සඳහාත් අපි වැඩි ප්‍රමුඛතාවක් දී තිබෙනවා. ඒ නිසා ඒ අංශයටත් මෙහිදී අවධානය යොමු කළා. ඒ වගේම සංචාරක ප්‍රවර්ධනය ඉතා වැදගත් අංශයක්. සංචාරක අංශයේ ආදායම ඩොලර් බිලියන 10ක් දක්වා දියුණු කිරීමට අපි අවධානය යොමු කර තිබෙනවා. මේ සමහර අමාත්‍යාංශවල නම් එක්වර තේරුම් නොගියත් ඒ සෑම එකකම වගකීම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. වැඩකරගෙන යද්දී සියලු දෙනාටම ඒ ගැන වැටහේවි. මෙම අවස්ථාවේදී මා ඇමතිවරුන්ගෙන් ද ඉල්ලීමක් කරනවා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් භාර දී ඔවුන්ට කටයුතු කරන්න ඉඩදෙන්න කියලයි. රාජ්‍ය අමාත්‍යාංශවලට ලේකම්වරුන්ද පත්කෙරෙන නිසා වගකීම් භාරගෙන කටයුතු කරන්න. මේ වරප්‍රසාද නොව වගකීමක් ලෙස සිතා වෙහෙස වී ඒ වගකීම් නිසි ආකාරව ඉටුකරන්න.
රාජ්‍ය අංශයේ හොඳ නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අංශය දිරිමත් කර ජනතාවට අවශ්‍ය සේවය ලබාදෙමින් රට අලුත් යුගයක් කරා ගෙනයාමේ වගකීම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට මෙන්ම සියලු මන්ත්‍රීවරුන්ට තිබෙනවා. තනතුරු නැතිවුණත් මන්ත්‍රීවරුන්ටත් වගකීම් තිබෙනවා. රාජ්‍ය සේවා නිසි ලෙස ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් ඔබට වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකියි.
ඇමෙරිකාවේ සිට ඡන්දය ලබාදීම සඳහා මෙරටට පැමිණ සිටින අයෙක් තම අවශ්‍යතාවක් වෙනුවෙන් ඊයේ එක්තරා රාජ්‍ය ආයතනයකට ගොස් තිබෙනවා. එහිදී ඔහුට දැනුම් දී ඇත්තේ දෙවැනි මහලට ගොස් අධ්‍යක්‍ෂවරයෙක් හමුවන්න කියලයි. එහි අධ්‍යක්‍ෂවරු 12 දෙනාම එම අවස්ථාවේ සිට නැහැ. ඔහු නැවත පහත මාලයට පැමිණ ඒ බව දැනුම් දී තම අවශ්‍යතාව ඉටුකරදෙන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. නමුත් එහි සිටි නිලධාරීන් කියා ඇත්තේ තමන්ට ඒ සඳහා බලයක් නොමැති බවයි. මෙය ඔහු මට පැවසුවා. මෙවැනි තත්ත්වයන් වෙනස් කරන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. එය කනගාටුදායක තත්ත්වයක්. ජනතාවට සේවය කළ යුතු රාජ්‍ය ආයතන ක්‍රියාකාරී තත්ත්වයට පත්කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමක්. ඒ වගකීම ඉටුකර රට ඉදිරියට ගෙනයන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.”
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තනතුරු යනු වරප්‍රසාදයක් නොවේ, වගකීමක් ලෙස සලකා යුතුකම් ඉටුකරන්න
Chathuri Thursday, 28 November 2019 03:09 PM
මේ ටික කුලුඳුල් බලය ලබද්දී අයියලා මල්ලිලාට වැටහුනේ නැතිද? පැරදුණාට පසු මහින්ද කිව්වේ අපේ අතින් වැරදි සිදු වුණා. නැවත එම වැරදි කරන්නේ නැහැ කියලා.. ඔබ කෙලින් වැඩ කරනවා නම්, නුසුදුසු අය අයින් කරනවා නම් කරුණාකර යෝෂිතගේ සේවය අත් හිටුවන්න. එවැනි උසස් නිල තලයක් දරන්න තරුණ නිලධාරියෙක් සෑහෙන්න කලක් දුක් විඳින්න ඕනෑ. නීතිය කාටත් පොදුයි. අලුත් පත්වීම් දීලා කියන්න වංචාව, බොරුව කෙරුවොත් මාස හයකට දඩ මුදලක් සමග සිර ගත කරන බව, එහෙම වුණාම ඡන්දයට ඉල්ලන සංඛ්‍යාව අඩු වෙනවා. රට වැසියාට නීති දමන්න කලින් තම පවුලේ කට්ටිය, රජයේ දේවල් භුක්තිවිඳින දේ නතර කරන්න.
bandula Friday, 29 November 2019 12:31 PM
රියදුරා අලුත් වුනාට එලවන්නේ පරණ බස් එක
sampath Friday, 06 December 2019 10:36 AM
මොනවා කළත් කමක් නෑ. 2015 හිටපු ආයතන ලොක්කෝ ඒ ආයතන වලට නම් යවන්න එපා... ඕනෙම නම් මාරු කරලා දන්නා උන්නැහේලා ටික නිසි 2015 වැඩි හරියක් වැඩේ සිදු වුනේ..