IMG-LOGO

ජනතාව ආණ්ඩුවට පළ කළ විශ්වාසභංගය අපි පාර්ලිමේන්තුවේදී ගේන්නේ අපේ කාල සටහනටයි

එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය - රටේ මේ මොහොතේ දේශපාලනය ඔබට දැනෙන්නේ කොහොමද?   


පිළිතුර - රටේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයක්. විශේෂයෙන්ම මැතිවරණයෙන් රජයට ලැබුණේ දැවැන්ත පසුබෑමක්. දේශපාලන හා ආර්ථික​ කේෂ්ත්‍රවල ඇති වී තිබෙන අවුල් සහගත කඩාවැටීම නිසා ඔය අරාජික තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා.   


ප්‍රශ්නය - ඔය ඔබ කියන අරාජිකත්වය නිරීක්ෂණය කරන්නේ ඒකාබද්ධ විපක්ෂය බවයි ආණ්ඩුව කියන්නේ. මහනුවර ජාතිවාදී ගින්න ඔවුන් ඒ වෙනුවෙන් පෙන්වනවා.   


පිළිතුර - අපට චෝදනා කරන්න කලින් කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියලා ආණ්ඩුව හොයා බැලුවොත් ඒක ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳයි.   


ප්‍රශ්නය - ඇයි ඔබ එහෙම කියන්නේ?   


පිළිතුර - ඔය සිද්ධි පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ අයයි. ඒ නිසා වැරදිකාරයෝ හොයා ගන්න ආණ්ඩුවට අමාරු නෑ. බොරුවට ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කරලා මැතිවරණ පරාජය වහ ගන්න බෑ.   


ප්‍රශ්නය - නුවර ගැටුම් පිටුපස ඒකාබද්ධ විපක්ෂය නෑ කියලා ඔබ වගකීමෙන් ද කියන්නේ?   


පිළිතුර - අනිවාර්​ෙ‌යන්ම, ඒකාබද්ධ විපක්ෂයේ කිසිම කෙනෙක් ඒකට සම්බන්ධ නෑ. අපේ මන්ත්‍රීවරුන්ට බොරුවට චෝදනා කරනවා. ඒක අසාධාරණ බව අපි පාර්ලිමේන්තුවේදී කිව්වා. මන්ත්‍රීවරුන්ගේ වගකීම මහජනයාට හිරිහැරයක්, අසාධාරණයක් සිද්ධ වෙන ඕනෑම තැනක මහජනයාට උදව් කිරීම. ඒ වගේම පොලිසියට ඇත්ත තත්ත්වය පෙන්වාදීම. මෙතැන පළමු වැරැද්ද ආණ්ඩුව බලා සිටීමයි.   


ප්‍රශ්නය - ආණ්‍ඩුව බලා සිටියා කියලා ඔබ කියන්නේ රතුපස්වලදී, කටුනායකදී වගේ හමුදාව පොලිසිය යොදවලා මිනිසුන්ට වෙඩි නොතියපු එකද?   


පිළිතුර - ආණ්ඩුව ජනතාවට වෙඩි තැබිය යුතුයි කියල කිසිම වෙලාවක අපි කියල නෑ. නමුත් මෙතැනදී ආණ්ඩුව ආණ්‍ඩුවක් විදියට කටයුතු කළේ නෑ. බලන් හිටියා ඇසින් දුටු සාක්ෂි සියල්ලෙන් කියා සිටින්නේ ආණ්ඩුවේ යාන්ත්‍රණය වුණු පොලිසිය බලාගෙන සිටිය බවයි සිද්ධිය උත්සන්න වී පැතිරී යන තුරු.   


ප්‍රශ්නය - නුවර සිද්ධියට මුවා වෙලා ඒකාබද්ධ විපක්ෂය කළේ‍ අගමැති රනිල්ට එරෙහිව ඉදිරිපත් කරන්න සැලසුම් කරපු විශ්‍වාසභංගය අකුලා ගැනීමයි. නුවර සිද්ධිය හා විශ්‍වාසභංගය අතර තිබෙන සම්බන්ධතාවය මොකද්ද?   


පිළිතුර - කිසිම දෙයක් අකුලගෙන නෑ. ඒකාබද්ධ විපක්ෂය කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ. අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙළ තමයි අවුරුදු තුනක් තිස්සේ ආණ්ඩුවේ වැරදි හා අසාර්ථකභාවය හෙළිදරව් කරලා ආණ්‍ඩුව පරාජය කරන තැනට ජනතා තීන්දුව රැගෙන ඒම. ඒ නිසා අපට වැඩපිළිවෙළක් තියෙනවා. ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසභංගත්වය ජනතාව කදිමට ප්‍රකාශ කරලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ දී ක්‍රියාත්මක කිරීම අපේ කාලසටහනට අනුව අපියි තීරණය කරන්නේ.  


ප්‍රශ්නය - අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට ශ්‍රී ලංකා එකේ ඇමැතිවරු අත්සන් කරනවද? එතකොට යූඑන්පී එකේ මැති ඇමැතිවරුන්.  


පිළිතුර - විශ්වාසභංග යෝජනාව බාරදෙන කොට ඒ බාරදෙන නැකත තියෙන්නේ අපේ අතේනේ. ඊට පස්සේ ජනමාධ්‍යයටත් කතානායකතුමා ප්‍රසිද්ධියට පත් කළාම කවුද අත්සන් කරලා තියෙන්නේ කියලා කාටත් බලා ගන්න පුළුවන්.  


ප්‍රශ්නය - ඇමැති රාජිත කියනවා විපක්ෂ නායකව හිටපු රනිල්ව එළවන්නත් බැරි වුණා, දැන් අගමැතිව ඉන්නකොට කොහොම එළවන්නද? කියලා.  


පිළිතුර - එක්සත් ජාතික පක්ෂයේ යම් යම් මැති ඇමැතිවරු පක්ෂයට තියෙන හිතවත්කම ගැන නොවෙයි මෙතැන තියෙන ප්‍රශ්නය. රට වශයෙන් අපි බලන අවස්ථාව ගැනයි මෙතැන තියෙන ප්‍රශ්නය. ඒ නිසා ඔවුන් ආණ්‍ඩුවේ ගුණ ගායනා කරමින් සිටීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ. රට සම්පූර්ණයෙන්ම කඩා වැටිලා කනගාටුදායක තත්ත්වයට පත්වෙන බව නොතේරෙන ආණ්ඩුවක් බවටයි මේ ආණ්ඩුව හැසිරෙන්නේ.  


ප්‍රශ්නය - අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළත් මත ගැටුම් නිර්මාණය වෙලා කියලා පුවත් පළ වුණා.  


පිළිතුර - ඒ වාර්තා සම්පූර්ණයෙන්ම වැරැදියි. අපට අවශ්‍ය වෙලාවට තමයි අපි අපේ තුරුම්පු දාලා සෙල්ලම් කරන්නේ. හතුරාට අවශ්‍ය වෙලාවට අපි අපේ තුරුම්පු අදින්නේ නෑ.  


ප්‍රශ්නය - රනිල් විපක්ෂනායක කාලෙත් මහින්ද රාජපක්ෂ රැක්කා වගේම මේ වෙලාවේදීත් ඔහු රනිල්ව රකින බවත් කියැවෙනවා.  


පිළිතුර - එහෙම ප්‍රශ්නයක් මතු වෙලා නෑ. ආණ්‍ඩුව එක්ක අපට තියෙන්නේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටුමක් මිසක් පුද්ගලයන් එක්ක ගැටුමක් නොවෙයි. ඒ නිසා අපි ගත්ත තීරණවල සියලු දෙනා එකට ඉන්නවා. එක එක්කෙනාට අවශ්‍ය වෙලා ඇති එක එක ප්‍රශ්න තියෙනවා කියලා රටට කියන්න. නමුත් ​ෙද්‍රා්හි ආණ්‍ඩුව එළවන සටනේදී අපට අතරමග නවාතැන් පොළවල් නෑ.  


ප්‍රශ්නය - පළාත් පාලන මැතිවරණයට ගියේ ‘‘මහින්ද අගමැති කරමු’’ කියලා. ඡන්දෙන් පස්සේ ඒ ගැන කතා වුණා. නමුත් අන්තිමට විරුද්ධ පක්ෂයේ නායකකම ඉල්ලන තැනට ගියා. නමුත් කියපු කිසිම දෙයක් වුණේ නෑ.  


පිළිතුර - අපි දන්නවා ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ අනුව ජනතාව එක්ක අපි ඉදිරියට ගමන් කරමින් සිටිනවා. අපි දිනයි කියලා කිසිකෙනෙක් කිව්වේ නෑ. අපි විතරයි කිව්වේ. ඉතින් අපි දිනන්නේ නැහැ කියපු අය දැනුත් විවිධ දේවල් කිව්වට ඒවා ජනතාවගේ වලංගු බාවයක් නැති කතන්දර බව ජනතාව පැහැදිලිවම ඔප්පු කරලා ඉවරයි.  


ප්‍රශ්නය - ශ්‍රී ලංකා එකේ මැති ඇමැතිවරු ‘‘ආණ්ඩුවෙන් එළියට එනවා’’ කියලා කිව්වට දැන් සද්දයක්වත් නෑ. මේ අවුරුදු දෙකත් ඔහොම යයිද?  


පිළිතුර - අපි ඉතා පැහැදිලිවම මේ ආණ්‍ඩුවේ වෙනසක් ඇති කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොමැති ආණ්ඩුවක් බිහි කළ යුතුයි කියන කාරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට අපි ප්‍රසිද්ධියේ යෝජනා කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඒ අනුව කටයුතු කරයි කියලා.  


ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ඔබට තවමත් විශ්‍වාසද?  


පිළිතුර - ඒ විශ්වාසය ඇති කර ගැනීමේ අරමුණින් තමයි අපි සාකච්ඡා කළේ.  


ප්‍රශ්නය - ඒ සාකච්ඡා තවමත් යනවද?  


පිළිතුර - ඉදිරියේ දී ඒ ගැන ඉතාම හොඳින් දැන ගන්නට ලැබේවි.  


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය කියනවා ‘තනතුරු බාර ගන්නේ නෑ’ කියලා. ඒ පරිසරය තුළ ජනාධිපති මෛත්‍රීට තීරණයක් ගන්න බැරිව ඉන්නවා කියලත් ආරංචියි?  


පිළිතුර - යූඑන්පී නොවන ආණ්ඩුවක් ගොඩනැගීමයි අපේ යෝජනාව. ඒ වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා.  


ප්‍රශ්නය - දෙපැත්තම බේරාගන්න පුළුවන් මධ්‍යස්ථ පුද්ගලයකු හැටියට ඔබේ නම අගමැති ධුරයට යෝජනා වෙලා කියලත් ආරංචි වෙනවා.  


පිළිතුර - මම නම් දන්න විදියට එහෙම දෙයක් නෑ.  


ප්‍රශ්නය - එහෙම සාකච්ඡාවක්වත් වුණේ‍ නැද්ද?  


පිළිතුර - මම දන්න විදියට නම් නෑ.  


ප්‍රශ්නය - ඊළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමේ සැලැස්මක් තිබෙන බවත් කියැවෙනවා.  


පිළිතුර - තවම එහෙම තීරණයක් අපි අරගෙන නෑ.  


ප්‍රශ්නය - ඒ යෝජනාවට ගෝ්‍ඨාභයත් කොළ එළියක් දල්වලා තියෙනවා.  


පිළිතුර - ඒක ඉතින් අපි බලාගෙන ඉමු. අපේ තීරණයක් තාම නෑ. අපේ නායකයා මහින්ද රාජපක්ෂ හැටියටයි අපි සලකන්නේ.  


ප්‍රශ්නය - ඔබට අනුව මේ ආණ්ඩුවට තව කොච්චර කල් යන්න පුළුවන්ද?  


පිළිතුර - ආණ්ඩුව දැනටමත් ආණ්ඩුවක් නැති රටක් බවට මේ රට පත් කරලා ඉවරයි. එක එක දවසට සිද්ධ වෙන දේවල් දිහා බලනකොට ආණ්ඩුවේ ඇමැතිවරු එක එක විදියට කටයුතු කරන කොට රට තුළ සිදුවන දේවල් ඉදිරියේ ආණ්ඩුව විසින්ම තමන්ගේ ආයු කාලය තීරණය කරලා ඉවරයි.

 

 

 

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

ජනතාව ආණ්ඩුවට පළ කළ විශ්වාසභංගය අපි පාර්ලිමේන්තුවේදී ගේන්නේ අපේ කාල සටහනටයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1176 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site