IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


අගමැතිකම අපි ඉල්ලුවේ නෑ

රටේ දේශපාලන තත්ත්වය මෙන්ම ශ්‍රීලනිප-ඒකාබද්ධ විපක්ෂය අතර ඇති සාකච්ඡා පිළිබඳවත් අයවැය ලේඛනය සම්බන්ධයෙනුත් එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි. 


ප්‍රශ්නය- රටේ දැවැන්ත දේශපාලන අර්බුද සුළියක් මැවී තිබෙනවා? 
පිළිතුර- ඔව්! රටේ ඉතා විශාල අස්ථාවර බවක් අවිනිශ්චිත බවක් හා අඳුරු වලාවක් විසින් ගිලගනු ලැබූ දූපතක ස්වභාවය තමයි මේ දිනවල දක්නට ලැබෙන්නේ. 

 


ප්‍රශ්නය- ඔබ දකින විදියට ඒකට හේතුව? 
පිළිතුර- 2015 දී බලයට පත් වෙච්ච යහපාලන රජය විවිධ බලාපොරොත්තු ප්‍රා​ර්ථනා ​අපේක්ෂා විශාල වශයෙන් දල්වනු ලැබූ නමුත් 2015, 2016, 2017 කියන වර්ෂ තුනම ගෙවී යමින් පවතිනවා. නමුත් “සිදුවූ කිසිවක් නොමැත’’ කියන එක තමයි ජනතාව කියන්නේ. 


ප්‍රශ්නය- ඒකාබද්ධ විපක්ෂයත් එයට වගකිව යුතුයි. ඔබලත් රටට වැඩක් කරන්න දෙන්නේ නෑ. 
පිළිතුර- අනිවාර්යයෙන්ම රටේ නිරෝගි ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ප්‍රධානම බාධාව තමයි රටේ විපක්ෂයක් නැතිකම. නාමිකව තියෙන නිල විපක්ෂය රජය සමඟ තමයි හිටගෙන ඉන්නේ. විපක්ෂයෙ නිල භූමිකාව රඟන ඇතැමුන් ජනතාවගේ පැත්තේ සිට ගන්න බව පෙන්වමින් විරෝධතා වාගලාප දෙඩුවත් අනිවාර්යයෙන්ම ඉන්නේ රජයත් එක්ක. 


ප්‍රශ්නය- ඔබ කොහොමද එහෙම කියන්නෙ? ඡන්ද අයිතිය වෙනුවෙන් පාරට බහිනවා කියලා ජවිපෙ කියනවා. 
පිළිතුර- එ්ක තමයි ක්‍රමවේදය වෙලා තියෙන්නෙ. දැන් මේ ඡන්ද සිතියම අකුලන්න නෛතික ආවරණය සපයන්නේ පළාත් සභා ඡන්දය කල් දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කිරීමෙන්නේ.

එතකොට යහ පාලන ආණ්ඩුවේ සියලුම දෙනා ඒකට ඡන්දය දෙන අතර ජනතා විමුක්ති පෙරමුණත් ඒකට ඡන්දය දෙනවා. දෙමළ සංධානයත් ඡන්දය දුන්නා. පළාත් සභා ඡන්දය කල් දාන්තේ ඒ සහයෝගයෙන්. මිනිසුන්ගේ ප්‍රජාතාන්ත්‍රික ඡන්ද අයිතිය කල් නොදමා සබරගමුව හා උතුරු මැද ඡන්දය වහා පැවැත්විය යුතුයි කියන යෝජන​ාවේ හිටියේ ඒකාබද්ධ විපක්ෂයේ අපි විතරයි. මේ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විපක්ෂය ලෙස පිළි නොගැනීම, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් හඹා ගෙන ගොසින් එළව එළවා පළි ගැනීම්, ඔවුන් දඟ ගෙයි ලෑම, ඇප නැතිව බන්ධනාගාරගත කිරීම, විදේශ ගමන් බිමන් අත්හිටුවීම, පාර්ලිමේන්තුවේ කතා කරන්න මන්ත්‍රීවරුන් 55 දෙනකුට ප්‍රමාණවත් කාලයක් නොදීම යනාදී වශයෙන් ලංකා ඉතිහාසයේ නිදහසින් පස්සේ කිසිම විපක්ෂයකට අත්විඳීමට නොවූ මහා අසාධාරණකම් රාශියක් සිද්ධවෙලා තියෙනවා. ඒ නිසා අපට ඒ පිළිබඳව රටින් පිටට ගිහිල්ලා මේ තත්ත්වය පිළිබඳව ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය තියෙන රටවල්වලට පැහැදිලි කරන්න සිද්ධවෙලා තියෙනවා. ඒ අනුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමත් ගාමිණි ලොකුගේ මන්ත්‍රීතුමාත් ජිනීවාවලට ගොහින් අන්තර් පාර්ලිමේන්තු සංගමයට ලිඛිතව පැමිණිල්ලක් භාරදීලා සාකච්ඡා කරලා ආවා. ඊට පස්සෙ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හා අපි ඇතුළු තව නියෝජිත පිරිසක් පොදු රාජ්‍ය මණ්ඩලයට මේ පැමිණිල්ල කරන්න බංග්ලාදේශයට යන්න සූදානම් වෙච්ච වෙලාවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා ලංකාවට පැමිණියා. ඒ වෙලාවේ හිල්ටන් හෝටලයේදී අප සමග පැය තුනක පමණ වෙලාවක් ලංකාවේ පවතින ප්‍රජාතන්ත්‍ර වි​ෙරා්ධි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. ඒ තොරතුරු ජාත්‍යන්තරයට දැනුම් දෙන බවත් එතුමා සඳහන් කළා. 

 


ප්‍රශ්නය- එක පැත්තකින් ඔබලා විදෙස් අත පෙවීම්වලට විරැද්ධයි කියනවා. අනික් අතින් ඔබලාම විදේශයන්ට ගතු කියනවා. මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? 
පිළිතුර- සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. මේක විදේශයන්ට ගතු කීමක් නොවෙයි. මේක පාර්ලිමේන්තු ක්‍රමය තියෙන රටවල අන්තර් ජාතික සංවිධාන තියෙනවා. අපි ඒවායේ සාමාජිකයෝ. මානව හිමිකම් කොමිසම නොවෙයි මේ. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අපි සාමාජිකයෝ. පොදු රාජ්‍ය මණ්ඩලයීය මන්ත්‍රීවරුන්ගේ සංගමයේ අපි සාමාජිකයෝ. එතකොට අපිට මේ ප්‍රශ්නය කතානායකතුමා ලවා රට ඇතුළේ විසඳගන්න බෑ. එහෙම වුණාම අපිට ජාත්‍යන්තරයට යන්න වෙනවා. 

 


ප්‍රශ්නය- මෛත්‍රී පිල හා මහින්ද පිල අතර සාකච්ඡාවල ප්‍රගතිය කොහොමද? 
පිළිතුර- එහෙම පිල් අතර සාකච්ඡාවක් නොවෙයි. මෙතැන තියෙන්නේ. බිම් මට්ටමේ ගම් මට්ටමේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්දය දුන්න 57 ලක්ෂයක් ජනතාවගේ සහ බුලත් කොළයට මහ මැතිවරණයේදී ඡන්දය දුන්න 47 ලක්ෂයක් ජනතාවගේ ඉතා සුළු පිරිසක් මේ එක්සත් ජාතික පක්ෂය සමඟ පවත්වාගෙන යන සභාග ආණ්ඩුවේ කොටස්කරුවන් විදියට ඉන්නවා. ඔවුන්ට මහ ජනතාව බොහොම පැහැදිලිව සංඥාවක් දීලා තියෙනවා. මහින්ද මහත්තයාගේ ඒකාබද්ධ විපක්ෂය හැර වෙනත් ලකුණකින් තරග කරනවා නම් ඡන්දේ ඉල්ලන්නවත් ගමට එන්න එපා කියලා. මේක තමයි මහ පොළොවේ පවතින යථාර්ථය. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම අත ලකුණකින් හෝ වෙනත් ලකුණකින් තරග කළොත් ගමේදී අන්ත පරාජයක් ලබන බව ඉතා පැහැදිලියි. එ් නිසා යෝජනාවක් ඇවිත් තියෙනවා ඒ පාරශ්වයෙන් ලිඛිතව මේ පිළිබඳව සලකා බලන්න එන්න කියලා. 

 


ප්‍රශ්නය- ඒකාබද්ධය එ්කට එකඟයි. 
පිළිතුර- මෙහෙමනේ. අපේ ප්‍රධාන සතුරා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නොවෙයිනේ. එ් නිසා අපේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළා අපේ මන්ත්‍රීවරු තිදෙනෙක්, සී.බී. රත්නායක මන්ත්‍රීතුමයි, මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීතුමා හා පවිත්‍රා වන්නි ආරච්චි මන්ත්‍රී තුමිය​ෙගන් සැදුම්ලත් කමිටුවක් ගිහිල්ලා සාකච්ඡා කරන්න. 

 


ප්‍රශ්නය- එ් සාකච්ඡාවල යම් කොන්දේසි තියෙනවද? 
පිළිතුර- ඒ සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂ​ෙය් ප්‍රතිපත්තිය ගෙනියන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ නතර කරනවා, නම් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වෙලා ඇවිල්ලා අපේ පැත්තේ හිට ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. එක්සත් ජාතික පක්ෂ වි​රෝධි ඡන්දය දෙන අයට හොඳ ලකුණක් යටතේ ඡන්දය දෙන්න කියලා එන්න කියන පණිවිඩය තමයි අපේ පාර්ශ්වයෙන් දීලා තියෙන්නේ. 

 


ප්‍රශ්නය- එහෙනම් මොකක්ද මේ අගමැතිකම ඉල්ලුවා, විපක්ෂ නායකකම ඉල්ලුවා කියන කතාව. 
පිළිතුර- ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. මොකද අගමැතිකම අරන් ඉවරවෙලා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ ඇති කරලා තියෙන ප්‍රශ්නය විසඳන්න බෑ. විපක්ෂ නායකකම අපි ඉල්ලලා නෑ. නමුත් අපට අයිතියි විපක්ෂ නායකකම. 

 


ප්‍රශ්නය- ඔබ කොහොමද එහෙම කියන්නේ? 
පිළිතුර- මන්ත්‍රීවරුන් 19ට වඩා 55 ලොකුයි කියන එක ගණිතමය සංකල්පය පිළිගන්නවා නම් අපි නේ රටේ ජනතාව වෙනුවෙන් හඬනගන විපක්ෂය. ඉතින් විපක්ෂ නායකකම මීට කලිනුත් අපි ඉල්ලලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ ඒක අපි කොන්දේසියක් හැටියට දාලා නැහැ. නමුත් ඒ පිළිබඳ උද්ඝෝෂණය අපි දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද බොහොම පැහැදිලිවම කිසිම දේශපාලන පක්ෂයකට බලයක් පිහිටුවන්න බලයක් ජනතාව නොදුන්න අවස්ථාවෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා ආණඩුව පිහිටුවගන්න විදියක් නෑ, ඒ නිසා මේකෙන් කොටසක් අරගෙන ආණඩුව පිහිටුවන්න වෙනවා. කැමැති අය එන්න කියලා. අපි හැමෝටම මේ ආරාධනා කළා. අපරාදේ කියන්න බෑ කැමැති ඇමැතිකමක් අරගෙන එන්න කියලා කිව්වා. අපි කිව්වා අපට බෑ. අපට අවශ්‍ය විපක්ෂයෙ ඉන්න අපි තනතුරු වරප්‍රසාද තාන්න මාන්න වරදාන අත් හැරියා. ඒ අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන්. එතකොට එතුමා බොහොම පැහැදිලිව කිව්වා. “විපක්ෂයෙ භුමිකාව හරියටම කරන්න” අපේ රජයෙ ප්‍රතිපත්ති විවේචනය කරන්න, උද්ඝෝෂණ කරන්න. පිකටින් කරන්න” කියලා. හැබැයි එතුමා විපක්ෂයෙ භුමිකාව කරගෙන ඉන්න කියලා කිව්වා මිසක් විපක්ෂයේ භුමිකාවට අවශ්‍ය ඉඩ පහසුකම පාර්ලිමේන්තුවෙ ඇතුළේ ලබාදුන්නේ නැහැ. එතුමා කතා නායකතුමාට දන්වලා තියෙනවා එතුමගේ සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහත්තයා අපේම කණ්ඩායමක්ය මේ විපක්ෂයේ ඉන්නේ කියලා. 

 


ප්‍රශ්නය- කොහොම වුණත් ඒකාබද්ධයේ බහුතරය ඉන්නේ මෛත්‍රී පිල සමග පූට්ටුවකට නොයා යුතුයි කියන මතයේ. ඔවුන් කියන්නේ ආපහු රැවටෙන්න බෑ කියලයි. 
පිළිතුර- අපේ මන්ත්‍රීවරු විතරක් නොවෙයි. ඔබ ගමට ගිහිල්ලා කාගෙන් හරි අහලා බැලුවොත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතුවෙලා ඉල්ලන්නද කියලා සමහරවිට පාක්ෂිකයන්ගෙන් ගුටි කන්නත් වෙයි. ඔවුන්ට ඔබ කිව්වා වගේම අත්දැකීමක් තියෙනවා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙදි අපි හැම දෙනාම දිනවීම සඳහා සටනට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමානේ. හැමෝම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පින්තූරය ගහගෙන ගිහිල්ලනේ ඡන්දය ඉල්ලුවේ. එතකොට අපිට 96ක් තියෙනකොට අපේ ජාතික ලැයිස්තුවක් නැතිව ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ සියලු දේවල් අහිමි කරගන්න වුණා. ඉතින් ජනතාවගේ සාමාන්‍ය අදහස තමයි රෑ වැටුණ ව​ෙළ් දවල් වැටෙන්න එපා කියන එක. එක සැරයක් කරපු මෝඩකම තව සැරයක් කරන්න එපා කියන එක තමයි ජනතාව කියන්නේ. 

 


ප්‍රශ්නය- එහෙම නම් මොකද්ද ගන්න හිතාගෙන ඉන්න තීරණය? 
පිළිතුර- අපිට වෙන වෙන්න දෙයක් නෑ. මොකද අපි ඉන්නේ විපක්ෂයේ. මේ මැතිවරණයෙ නරකම දේ පරාජයනේ. ඒ කියන්නේ විපක්ෂයනේ. අපි දැන් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් විපක්ෂයෙනේ. ඒ නිසා අපට විපක්සයේ භූමිකාව කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ. අපිට ඊට වඩා වැටෙන්න තැනක් නෑ.

 

 
ප්‍රශ්නය- ඔබ එහෙම කියන ගමන් අනික් පැත්තට කියනවා ජනාධිපතිතුමනි, අපි ඔබව ආරක්ෂා කරනවා කියලා. 
පිළිතුර- ඒ අපි කියන දේවල් කළොත් තමයි. 

 


ප්‍රශ්නය- ඒ මොනවද? 
පිළිතුර- අපි කියන කරුණු ටිකක් තිබෙනවා. අපි ඒකාබද්ධ විපක්ෂය වශයෙන් මේ රටේ මහා බැඳුම්කර වංචා කරපු දවසේ ඉඳලා වෙන කිසිම කෙනෙකුට කියන්න බැරි හොරකම අනාවරණය කිරීම ගැන ගෞරවය තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට. මොකද විපක්ෂ​ෙය අපේ මන්ත්‍රීවරු කණ්ඩායම පමණයි මහා දවල් මහ බැංකුවේ මහා හොරකමට එරෙහිව මහ බැංකුව වට කරලා උද්ඝෝෂණය කළේ. විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයෙ අපි පමණයි මහ බැංකුව ඇතුළට ගිහින් ජාත්‍යන්තරයට කිව්වේ. ඒකාබද්ධ විපක්ෂයේ අපි පමණයි “බැඳුම්කරය” කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති සාමාන්‍ය ජනතාවට ඒ බව වටහා දෙන්න රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට බැඳුම්කර හොරකම ගැන කිව්වේ අපි පමණයි. ඉතින් ඉතිහාසය පුරාම අපි දන්නවා කෝප් කමිටුවට පුළුවන් වෙන්නේ පොඩි පරීක්ෂණයක් කරලා වාර්තාවක් දීම පමණයි. ඉන් එහාට මුකුත් වෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ විවාද කළාට පස්සේ අපි දිගින් දිගටම ජනාධිපතිවරයාට කිව්වේ මේ පිළිබඳව විශේෂ කොමිසමක් පත් කරන්න කියලා. දැන් රට දන්නවා කොමිසම පත් කළේ නැත්නම් රවී කරුණානායක තාමත් මුදල් ඇමැති. කොමිසම පත් කළේ නැත්නම් ෆුට් නෝට් කල්ලිය දාපු ටෙලිෆෝන් කෝල් ගැන හෙළි වෙන්නෙත් නෑ. කොමිසම නැත්නම් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරිමේ බැංකුව ආදී බැංකුවලට අඩු ලංසු තියන්න කියලා රවී කරුණානායක උපදෙස් දුන්නා කියන එක හෙළි වෙන්නෙත් නෑ. මොනැක් එකේ ගෙවල් ගත්ත ඒවා හෙළි වෙන්නෙත් නෑ. බොහෝ කරුණු සදහටම හෙළි වෙන්නේ නෑ ජනාධිපතිතුමා මේ කමිටුව දැම්මේ නැත්නම්. 

 


ප්‍රශ්නය- ජනාධිපති මෛත්‍රී ඔය කොමිසම දාන කොට නම් කිව්වේ ඔය කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් කියලයි. 
පිළිතුර- නෑ.... නෑ.... අපි බොහොම පැහැදිලිව මම මේ ප්‍රශ්නය ගැන මුල ඉඳලම හිටපු කෙනෙක්නෙ. මේ ප්‍රශ්නය ගැන ප්‍රමාණාත්මක අවබෝධයක් තිබුණ කෙනෙක් හැටියටත් ඒකාබද්ධ විපක්ෂය හැටියටත් අපි කිව්වේ, “කොමිසම දාන්න” කියලයි. කොමිසම දාපු නිසා මේ කරුණු හෙළිවුණා. ඒවා හෙළි වෙනකොට ජනාධිපතිතුමාට, ගහනකොට කෝප් කමිටුව දාලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය මර්දනය කරන්න කියලා කියනකොට එතකොට අපි කිව්වා කෝප් කමිටුව දාලා තියෙන්නේ හොරකම හොයන්න. හොරුන්ට දඬුවම් දෙන්න. හොරුන්ට දඬුවම් දෙන කටයුත්තෙදි අපි ජනාධිපතිතුමාට ශක්තිය දෙනවා. අපි එතුමගේ පැත්තේ හිට ගන්නවා. 

 


ප්‍රශ්නය- එහෙම නඩු පැවැරීමක් නොකළොත් 
පිළිතුර- එහෙමනම් අපි ජනාධිපතිතුමාගේ පැත්තේ හිට ගන්නේ නෑ. 

 


ප්‍රශ්නය- ඔය කාරණාව විතරද ජනාධිපති මෛත්‍රීට සහාය දෙන්න තියෙන්නේ? 
පිළිතුර- එතුමා ලෑස්තිනම් මේ අයවැයෙන් කියන රටට අහිතකර, දරුවන් පවා බීමට පොළඹවන බියර් බද්ද වැඩි කරන්න, අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න හදන එක නතර කරන්න, කුඹුරු පනත අකුල ගන්න, කම්කරු නීති ලිහිල් කරන එක නතර කරන්න එතුමා එකඟ වෙනවා නම් අපි හිටගන්නේ ජනාධිපතිතුමා එක්ක. 

 


ප්‍රශ්නය- කොහොම වුණත් අගමැති රනිල් පවා බැඳුම්කර කොමිසම ඉදිපිටට ගෙනිච්චා. ඒක මෙතෙක් නොදුටු දේශපාලන ආදර්ශයක් බවයි කියන්නේ. 
පිළිතුර- ඔව්. මෙච්චර කාලෙකට මේ වගේ හොරකමක් වෙලත් නෑනේ. නිදහසින් පස්සෙ ලංකාවේ මුදල් නෝට්ටු අච්චු ගහන තැනක මෙහෙම හොරකමක් වෙලා නෑ. මුදල් නෝට්ටු අච්චු ගහන ස්ථානය ගැන පුංචිම පුංචි කට කතාවක් ප්‍රචාරය වුණොත් මහ බැංකු අධිපතිවරු ඉවත් වෙනවා. නමුත් මේ හොරකම කරලත් දෙවැනි වතාවටත් මහ බැංකු අධිපතිකමට අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන්න ගියා. අපි විතරයි ඒකට විරුද්ධ වුණේ. 

 


ප්‍රශ්නය- අයවැය එනකොට බන්දුල ගුණවර්ධන අවි ගබඩාවක්ම සූදානම් කරගෙන හිටියා. නමුත් වැඩක් වුණේ නැහැ. 
පිළිතුර- අපොයි වැඩක් වුණා. අපි අයවැය එන්න කලින් ”අයවැය මිථ්‍යාව හා යථාර්ථය” කියලා මම බොහොම වටින කියන පොතක් එළිදැක්වුවා. ඒ අයවැය ඉදිරිපත් කරපු දවසට කලින් දවසේ. ඒකෙන් මේ අවුරුද්දට කලින් අවුරුද්දේ අයවැය ලේඛනය කීතු කීතු කරලා ඉරලා දාලා ඒක මිථ්‍යාවක් බොරුවක් ප්‍රෝඩාවක් කියලා රටට හෙළි කළා. 

 


ප්‍රශ්නය- මගේ ප්‍රශ්නය වුණේ මේ අයවැය ගැනයි. 
පිළිතුර- ගිය අවුරුද්දේ ඒකේ දිගුවක්මනේ මේ. කලින් අවුරුද්දේ අයවැයෙන් අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා අධ්‍යාපනයට, සෞඛ්‍යයට, නිවාසවලට ප්‍රජා සේවාවලට කියලා වෙන් කළ මුදල බිලියන 792යි. අයවැය ලේඛනයෙන් පහෙන් එකක් සීයට 20ක් වෙනවා. මෙහෙම එකක් ලංකා ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ. අධ්‍යාපනයට තමයි ලොකුම බොරුව කළේ. අධ්‍යාපන ඇමැතිතුමා අමාරුවේ දාන්න මුදල් ඇමැතිවරයා ගැහුව පට්ට ගේමක්. අධ්‍යාපනයට බිලියන 22ක් වෙන් කළා කිව්වා. මෙහෙම මුදලක් වෙන් කළාම ඉර හඳ වෙව්ලනවා කිව්වා. ජනාධිපති තුමාටත් ආනන්දයක් ඇතිවුණා. ජනාධිපතිතුමන් පොළොන්නරුව පැත්තට ගිහිල්ලා කිව්වා ”බුදු සන්තෝ. මේ විදියට සල්ලි වෙන් කරලා නෑ” කියලා. අගමැතිතුමා ඊට වැඩිය ශබ්දෙන් කිව්වා, අධ්‍යාපන ඇමැතිතුමා ඊටත් වැඩියෙන් ශබ්දෙන් කිව්වා. පසුපෙළ මන්ත්‍රීවරුන් දිව නවලා විසිල් ගැහුවා. හැබැයි අවුරුද්ද අවසානයේ වියදම් කරලා තියෙන්නේ බිලියන 65යි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගතිය සියයට 32යි. 65ක් වියදම් කරනකොට වියදම් නොකළ ප්‍රමාණය ඒ වගේ දෙගුණයක්. ඒ විතරක් නොවෙයි, අධ්‍යාපන අමාත්‍යංශයෙ එක් එක් යෝජනා තියෙනවා. ඒකට මිලියන 64000ක් වෙන් කරලා. මේ අර ගානට අමතරවයි. එයින් සියයට 9.5යි යෝජනා ක්‍රියාත්මක කරලා තියෙන්නේ. සියයට 90ක් ඒ යෝජනා ක්‍රියාත්මක කරලා නැහැ. ඉතින් එතකොට මෙහෙම බොරුවක්, මෙහෙම පාර්ලිමේන්තුව නොමඟ යැවීමක් ජනාධිපතිවරයාව අගමැතිවරයව මෙහෙම නොමඟ යැවීමක් මීට පෙර කරලා නැහැ. මේ අයවැය එහිම දිගුවක්. 

 


ප්‍රශ්නය- මේ අයවැය පරාජය කිරීමේ වැඩ පිළිවෙළක් තියෙනවද? 
පිළිතුර- අනිවාර්යයෙන්ම. බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් මේ ආණ්ඩුවේ තනතුරු අරගෙන ඉන්න ඇමැතිවරුන්ට අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රතිපත්තිවලට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධව මේ අය-වැය පරාජය කරන්න එක්වන්න කියලා. 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

අගමැතිකම අපි ඉල්ලුවේ නෑ

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

මොනවද මේ ජනාධිපති කොමිෂන් සභා
2025 මාර්තු මස 22 12 0

1987 – 89 භීෂණ සමයේ දී රජයේ ආරක්ෂක අංශ පවත්වාගෙන ගිය වදකාගාරයක් බටලන් ද නිවාස සංකීර්ණයේ තිබූ බව කියැවෙයි. 1998 වසරේ දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුං


ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 448 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


මහත්මා ගාන්ධිගේ යාපනය සංචාරය
2025 මාර්තු මස 12 256 0

1920 දශකයේ මැද භාගයේ බිහිවූ , ආරම්භයේ දී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණ


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 327 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 73 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 51 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 97 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 511 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1112 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site