මැනවින් පිළිපන් ඍජු ගුණය සිය දිවි ගුණය බවට පත් කළ උත්තරීතර මහනාසමිඳුගේ සිරිතෙහි බිඳක් මනසෙහි රුවා ගැනීම දිවි පෙවෙතකට එළියක් දෙවන්නකි. අමතන මහ වදන් සිත් ගන්නා සුළු බව මහනාහිමි සමිඳුගෙන් මතු වන උදාර ගුණයකි. ගුරුසිත නොරිදවා, වේලාව නොවරදවා, බැතිපෙම ද උපදවා අකුරු ඉගෙන ගත් හෙරණපාදයන් කෙනෙකු ලෙසින් දිවි මග සරසා ගත් බවට නැණිසුරු හෙරණපාදයන් පිළිබඳව අපි වැඩිහිටියන්ගෙන් අසා ඇත්තෙමු.

සිය ගුරු දෙවිඳුන්ගෙන් මූලික බණ දහම් ඉගෙන කලක් හග්ගල සංඛගිරිවිහාරයෙහි වැඩ වසනකල සියලූ දායකවරුන්ගේ ආදර භක්තියට හා සම්භාවනාවට ද බඳුන් වු හෙරණපාණෝ පිණ්ඩපාතික දිවි පෙවෙතක් ගත කරමින් සමණ චරියාවක ආකර්ෂණය ද ඇති කළහ. මාලිගාකන්ද විදුදය පිරිවෙනින් ජනප‍්‍රිය සිසුවකු වී ඇදුරුපාණන් වහන්සේලාගේ සිත් දිනා සියලූ දස්කමක්ම පෑමේ ඵලය ලෙසින්ය මෙතුමන් රාජකීය පඬිවරයකු වූයේ.

ශ්‍රී ලාංකික පණ්ඩිත මුක්තාවලියේ අගමිණක් ලෙසින් වැජඹි රාජකීය භදන්ත පණ්ඩිත විදුරුපොල ශ්‍රී පියතිස්සාභිධාන උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ස්වාමිපාදයන් වහන්සේගේ උපාධ්‍යයත්වයෙන් උපසපුව ලබා උපාධ්‍යයන් වහන්සේගේ බලවත් ප‍්‍රසාදයට පත් වූවාසේ ම, පැවිදි බව ලබා දුන් ඌමෑලේ සිරිපියරතන, ඌමෑලේ සිරිපඤ්ඤානන්ද යන ඇදුරුපාණන් වහන්සේලාගේ නිරන්තර ප‍්‍රසාදය ලැබෙන අටියෙන් කිංකර ගුණයෙන් ද සංයතශීලිත්වයෙන් ද දිවි ගමන් මඟ පෝෂණය කිරීම මෙතුමන්ගෙන් ලැබෙන පරමාදර්ශයකි.

අපවාදයෙන් බැහැරව ශාසන දයාවෙන් ඇසුරු කරන්නන් හා දායකකාරකාදීන්ගේ සිත් ඇද ගන්නා සුළු චර්යාවන් ගොඩනැගීම සසර පුරා පුහුණු කළ ධර්ම ශක්තියකැයි හැඟෙන්නකි. උස් මිටිකම් නොතකා ඈත දිළිඳු පැල්පත වෙත ද මෑත දනිඳු මැදුර වෙත ද සම සිත සහ සම මෙත පා කටයුතු කිරීම උත්තරීතර නායකත්වයට පත් වු අදිසි හේතුවකි. සියලූ යතිවරුන් කෙරෙහි ද ප‍්‍රියශීලී ඇසුරක් පවත්වන යතිසඳාණන්ගේ ඇසුර පැතීම සසුන් කෙතෙහි ද දිවි ගෙවෙන පැවිදි උතුමන් විසින් අගයනු ලබන්නකි.

උන්වහන්සේ කෙරෙහි බැඳිම් ඇති හැම අරමක් කරාම මෙතුමන් වැඩමවා ඇත. එහිදී දකින්නට ලැබෙනුයේ විස්මය දනවන චාම් සහ නිරහංකාර ස්වභාවයයි. නාහිමිපාණන් සමග කතා බහක යෙදෙන විට කිසිදු ප‍්‍රකාශයක් ඉවත දැමිය නොහැකිය. කතාබහක යෙදෙන විට හිස් වදන් දුරලයි. අමතන වදනින් අසන්නා තුළ ආත්ම දමනයට සිත් පහළ වෙයි. එතුමන් අන්තර්ජාතිකව ලත් අත්දැකීම් විස්තර කරන විට එම පුවත් ඇසීමට අසන්නා තුළ බලවත් සතුටක් ඇති වෙයි. විවිධ ආගමික පූජකවරුන් පිළිබඳව, ආගම් පිළිබඳව දැනුමක් ලබා දීමට නිරායාසයෙන් මහනාහිමියෝ පෙළඹෙති. එමඟින් දැනුම හා බුද්ධිය ද වැඩෙයි.

පොත්පත් ඇසුරෙන් යම් යම් කරුණු සුළු මොහොතකින් ලබා දීමට ගැඹුරු වූද, ප‍්‍රබල වූද, හැකියාවක් මෙතුමන් තුළ පවතී. බමුණන් සහ ජෛන පූජකවරුන් ගැන අනාවරණය කරන තතු රස ගුලාවකි. දහම පිළිබඳ කරන අර්ථකථනයන් නිසා බලවත් ශාසන ඇල්මක් ඇති වේ. ගත කරන දිවි පෙවෙතකට මානසික සමබරතාව අත්‍යාවශ්‍යයි. අමතන වදනින් එම ගුණය එතුමන් තුළ පවතින බව හැඟෙයි. හාස්‍යය කැටි කර ගත් පුවත් එතුමන් හා කතාබහක යෙදෙන විට ඉස්මතු වෙයි.

එතුමන් වරක් මා සමඟ මෙසේ පැවසීය.

”මට දැන් කන ඇහෙනවා අඩුයි. කවුරු හරි මුකුත් ඉල්ලනවා නම් හොඳටම ඇහෙන්නේ නෑ”

සැබවින්ම මෙය සඳහන් කළේ හාස්‍යය දැනවීමටයි. තමන් වෙතට පත් දැහැමි මූල්‍යාධාර මහා පරිමාණයෙන් මෙතුමන් අධ්‍යාත්මික ගුණ දිවිපෙවෙත නංවාලීම සඳහා වැය කොට ඇත. සපුගොල්ල තපෝදනාරාම මූල මහාවිහාරය, පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමය, බොරගස්ගමුවේ වැඩිහිටි භික්ෂු ගිලන් මධ්‍යස්ථානය යන ආරාම මඟින් බැතිමතුන්ට එය මැනවින් වැටහේ. ඌවපරණගම ලූනුවත්ත නහකඩියේ ශ්‍රී ජිනවංසාරාමයේ සෑ රඳාණන් වහන්සේ නිර්මාණය කිරීමේ මූලික දායකත්වය දැරුවේ  ද උත්තරීතර ස්වාමිපාදයන් වහන්සේ විසිනි. එලෙසින් සසුන ගොඩනැඟීමට පරිත්‍යාග පුහුණු කිරීමේ මහායාන බෞද්ධ දර්ශනයෙන් ද එතුමන් ආලෝකය ලැබුවා විය හැකිය. මෙතුමන්ට වඩින වඩින තැන් වල දී දායකයෝ යම් යම් දේ පුදති. විටෙක කඳුකර සීත පෙදෙසකට වැඩිය එක් උපාසිකාවක් විසින් ආරාමයේදී හිස් පළඳනා ආවරණයකින් පුදනු ලැබුවාය. කෙටි කලකදී එම ආරාමයට මහ නාහිමියෝ නැවත වැඩ වදාළහ. එවිට එම දායිකාව සිටින බව දැන ගෙන.

 ”කෝ මට තොප්පු දාපු උපාසක අම්මා” කියා ඇසූහ.

අසා සිටි සැමට හාස්‍යය මතු වූ අතර උපාසිකාව සිනා මුසු මුහුණින් යුතුව වැඳ නමස්කාර කළාය. මෙමගින් පෙනෙනුයේ කිසිදු නිලවාදි හෝ බුද්ධිවාදී අහංකාර පරවශ බවක් සිය දිවි පෙවෙතට ආරෝපනය නොකිරීමේ උදාර ගුණ සමුදායයි. උදෑසන 4.00 ට අවිදි වී බවුන් වඩා පොත්පත් ලිවීමේ නිරත වෙති. කෙතෙක් වියපත් වුවද නිතර දැනුම ඇති කර ගැනීමට පොත්පත් කියවන මහනාහිමිපාණන් වහන්සේ පසුබත් කිසෙහි දී ද ලෝකාර්ථ චර්යාවේ නිරතව වැඩ වෙසෙති. සැඳෑ සමයේ හා නිශා භාගයේදී ආගමික වතාවත්වල යෙදී බවුන් වඩා ග‍්‍රන්ථකරණයේ යෙදෙති.

නිකායික හා ශාසනික පැන විසඳීමේ දී නිරවුල්ව හා ඉවසීමෙන් සදුපදේශයක් දීම වෙසෙස් ගුණයකි. විවිධ දේශපාලකයන් තමන් වෙතට පැමිණී විට නිවැරැදි උපදෙස් දෙන මුන්වහන්සේ කිසියම් පාර්ශ්වයකට හෝ පක්ෂයකට විශේෂ ලැඳිකමක් නොදක්වා දහමට, රටට, දැයට වැඩවඩන ප‍්‍රකාශයන් කිරීමටම වග බලා ගැනීම ද ජීවිතයේ උදාර ගුණයකි.

ආධ්‍යාත්මික ගුණභාවයෙන් සුපරිපෝෂිත වු මහානාහිමිපාණෝ පෙර අපර දෙදිග සුපතළ කිතුගොස නැගූහ. සිරිලක් දෙරණ තලයට අමිල උත්තුංග මෙහෙවරෙහි යෙදී සඟ සසුන් ගගන ගැබ පහන් තරුවක් සේ රැුස් විදාලූහ. දවුල්දෙණ ඤාණිස්සරාභිධාන යතිවරයාණෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් ප‍්‍රජෝතිමත් වී 2017 අපේ‍්‍රල් මස 03 දින සිහි නුවණෙහි යෙදී අපවත් වූ සේක. උන්වහන්සේට අජරාමර උත්තම නිර්වාණ ධාතුව අවබෝධ වේවා!!