ශ්‍රී ලංකා සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන දොරටුවෙන් ඔබ දිනක පිවිස ඇත්නම් එම ස්ථානයේ උත්තරීතර භාවය අනභිභවනීය ලෙස සිතට දැනෙනු ඇත.  


එම ද්වාරය තුළින් පිවිසෙද්දී ප්‍රෞඩත්වයක් සිතට දනවන පිත්තල කැටයම් සහිත එහි නිමැවුම එතරම් සුමට ලෙස සිදු කිරීමට කෙතරම් නම් වෙහෙස කාරීත්වයක් වෙන්නට ඇතිද?   


පාර්ලිමේන්තු සංකීර්ණයේ දොරටුව සහ එතුළ ඇති පිත්තලයෙන් සැකසුණු ධජ හා තවත් බොහෝ දේ පමණක් නොව ජනපති මැදුරේ ඇති ටොන් දෙකහමාරක බරකින් යුතු ලෝහ සිංහයා ද මහ බැංකුවේ ඇති කාසිවලින් සැකසූ අති විශාල මූර්ති ඵලකය ද ඇතුළු ලෝහ කැටයමින් ලොව පුරා රටවල තවත් බොහෝ දේ නිමැවු ඒ විස්මිත කලාකරුවා අපට හමු විය.  


කළුගංතොට මෝය පෙනෙන මානයේ සිය නිවසේ සැඳෑ සමය ගත කරමින් ඔහු අතැඟිලි තුළින් සිදු කළ විස්කම් ආවර්ජණාත්මක සුසුමින් වයස අසූවත් පසු කරමින් දිවි ගෙවයි.  


ඔහු දකුණු මාගම්පුර සියඹලාපේ හැවිඕවිට විස්කම් චිත්‍රවික්‍රම ආචාරිගේ විස්කම් සුරේන්ද්‍රය.  


එසේත් නැත්නම් විමල් ඩබ්ලිව්. සුරේන්ද්‍රය.  


සහජයෙන්ම පිහිටුණු කලා අංගයන් කිහිපයකටම ශුරයෙකු වූ ඔහු අද වන විට ඒ බොහෝමයක් කටයුතුවලට සමුදී තිබේ.  
තමා සතු දැනුමෙන් ඵලයක් නෙළා සමාජයට ලබා දීමට මේ වන විට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික පාර්ශ්වයක් කටයුතු නොකිරීම හේතුවෙන් ඔහු නිවස තුළම පවත්වාගෙන ගිය ලෝහ හා මූර්ති ශිල්ප ආයතනයද වසා දමා තිබේ.  


අධි බරැති ලෝහ මිටි හා කැපුම් කටු උපකරණ භාවිතා කරමින් අතැඟිලි ඇටමිදුළු මතුවෙනතුරු නිමැවූ විස්මිත වූ අගයකින් යුතු ඔහුගේ සුන්දර නැමැවුම් නිවස තුළ මේ වන විට දුහුවිලි බැඳුණු මකුළුවන්ගේ නිවාස බවට පත්ව ති​ෙබ්.  


සිරුරේ බර අත්වාරුවකට ගෙන අාබාධිත කයින් අසීරුවෙන් පැමිණ සුරේන්ද්‍රයන් අප අසලින් වාඩිවිය.  


මේ ශිල්පය ඔබතුමා ප්‍රගුණ කළේ කොයි කාලේ සිටද?  
මම මේ ශිල්පය නොවෙයි පුංචි කාලේ ඉඳන් කළේ චිත්‍ර කලාව. නමුත් අපේ පරම්පරාවේ නාමය අනුව එන පෙළපතේ හැම කලාවටම දක්ෂ අය ඉඳලා තියෙනවා. ඒ නිසාද මන්ද‌ා මට චිත්‍ර කලාව වගේම මූර්ති කලාවත් පිහිටුණා.  


චිත්‍ර ශිල්පියෙක් සහ මූර්ති ශිල්පියෙක් හැටියට ඔබතුමා කොහොමද මේ තරම් දුරක් පැමිණියේ?  
මම චිත්‍ර හා මූර්ති කලා ආයතනයේ ස්වර්ණාභරණ, මූර්ති හා කැටයම් පාඨමාලාව අවසන් කරලා සිටියදී අපේ ආයතනයට ජපන් මහත්මයෙක් ආවා, ස්වර්ණාභරණ ශිල්පය ගැන අධ්‍යයනය කරන්න.   


එදා මාව ගෙන්වලා කිව්වා ඒ ජපන් මහත්මයත් සමඟ ඒ ගැන කටයුතු කරන්න කියලා. නමුත් මම ඒ සඳහා වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ.  


මොකද මම ඒ වෙන විට මූර්ති ශිල්පය ගැන හුඟාක් දේ හදාරලා තිබුණා. මම ස්වර්ණාභරණ වැනි එක් පැත්තකට කොටු වෙන්න අකමැති වුණා.  


ඒ නිසාම මම හිතුවා මේ මූර්ති ශිල්පය තුළ වෙනස්කමක් කරන්න ඕනෑ කියලා. ස්වර්ණාභරණ කැටයම් යොදලා පිත්තල ලෝහ ආදියෙන් නිර්මාණ කරන්න.  


එදා ජපානෙන් ආපු ඒ මහත්තයා පුදුම වුණා ලෝහවලින් මේ වගේ දේවල් කරන්න හැකි කියලා මම කරලා පෙන්නුවාම.  


ඔබතුමාගේ කලාව කොහොමද පාර්ලිමේන්තුවට සම්බන්ධ වුණේ?  
මම බුද්ධ ප්‍රතිමා සහ අනෙකුත් ප්‍රතිමා මේ ශිල්පය මඟින් සිදු කරමින් සිටියදී දවසක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ හිතවතෙක් වූ ඒ.ජේ. රණසිංහ කියලා මහත්තයෙක් ආවා මාව හම්බවෙන්න. මම කවදත් කිසිම දේශපාලනයකට නැති නිසා මම ඒ මහත්තයාගේ විස්තර දැනගෙන හිටියෙත් නැහැ.

 
එතුමා ඇවිත් කිව්වා ජනාධිපතිතුමාට මාව මුණ ගැහෙන්න අවශ්‍යවී තිබෙන බව. ඒ අනුව එතුමාගේම වාහනයෙන් මාව ජනාධිපති මැදුරට අරගෙන ගියා.  


මාව බොහෝම ඉහළින් පිළි අරගෙන එදා ප්‍රේමදාස මහත්තයා මට එතැන තිබුණු තායිලන්ත බුද්ධ ප්‍රතිමාවක් පෙන්නලා කිව්වා ‘‘සුරේන්ද්‍ර මේ ප්‍රතිමාව අපේ ඇහැට හුරු නැහැ මට මේ වගේ ප්‍රතිමාවක් අපට ගැළපෙන විදියට හදලා දෙන්න’’ කියලා.  


එතුමාගේ ඉල්ලීමට ඒ කටයුත්ත සිදුකරමින් සිටියදී   දවසක් ජෙෆ්රි බාවා මහත්තයා මාව මුණ ගැහෙන්න ආවා. ඇවිත් කිව්වා ‘සුරේන්ද්‍ර වෙන මුකුත් වැඩ භාර ගන්න එපා. පාර්ලිමේන්තුවේ දිගටම වැඩ තියෙනවා’ කියලා.  


ඒ අනුව ප්‍රධාන දොරටුව සියලුම පළාත් කොඩි සහ අනෙකුත් සැරසිලි කැටයම් රාශියක් නිමා කළා.  


ඒ කටයුතු නිමා කරමින් යද්දී මහ බැංකුවේ විශේෂ මූර්ති ඵලකයක් නිමා කළා. ඒ වගේම ජනාධිපති මැදුරේ ටොන් දෙක හමාරක සිංහයා මම කළ නිර්මාණයක්.   


ඒ සිංහයාගේ වැඩ ඉවර වෙද්දී මගේ දණහිස සම්පූර්ණම ආබාධිත වුණා. මොකද දවසකට දහස් වතාවක් අඩි හතළිහක් උස වේදිකාවට නගින්න බහින්න එහිදී සිදු වුණා.  


දැනටත් නිදහස් උත්සවයට ප්‍රදර්ශන පෙළපාළියට යන සිංහයා මම නිර්මාණය කළ සිංහයෙක්.  


බස්නාහිර පළාත් සහ දකුණු පළාත් සභාවල රිදී සෙන්කෝල දෙකත් මමයි කළේ.  


ඒ විතරක් නොවෙයි එක් වරක් පාප්වහන්සේ ලංකාවට එනකොට විශේෂිත ප්‍රතිමාවක් සිදු කරන්නත් මට අවස්ථාව ලැබුණා.  


ජපානයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක මගේ නිර්මාණ දැනටත් බොහෝම ලස්සනට තියෙනවා.  


ඔබතුමාගේ මේ කලාව මෙතනින් පස්සේ...මොකද වෙන්නේ?  
මට දැන් අවුරුදු අසු තුනයි. ඇත්තටම මට දැන් අවශ්‍ය මම මේ නිර්මාණය කළ නිර්මාණ අනාගතයේ දරුවන්ට දකින්නට බලන්නට සුරක්ෂිතව තැබිය හැකි ක්‍රමවේදයක් සකසන්නයි.  


මොකද මටවත් මේ නිර්මාණ ආයේ මේ විදියටම හදන්න බැහැ. මොකද එක මිටි පහරක් ගහපු විදියට ආයේ ගහන්න බැහැ.  


රාජ්‍ය හෝ පෞද්ගලික මැදිහත් වීමකින් දැනට මම සුරක්ෂිතව තබා ඇති මේ නිර්මාණ කෞතුකකලාගාරයක තිබනවා නම් අනාගතයේ අපේ දරුවන්ගේ දැණුම වෙනුවෙන් හොඳයි  


ඔබ සැකසූ වෙළඳපොළට මොකද වුණේ ?  
අපි මේ භාණ්ඩ සකසලා අලෙවියට ලබා දුන් ආයතනවලින් තවමත් ලක්ෂ ගණන් මුදල් අය වෙන්න තිබෙනවා. ඉතින් ඒ නිසා අපට දැන් භාණ්ඩ නිෂ්පාදනයටවත් අතේ මුදල් නැහැ.   


පැහැදිලි ක්‍රමවේදයකට ගෙවීම් කරන වෙ​ෙළඳපොළක් අපට තිබෙනවා නම් මගේ මේ නිර්මාණ නිෂ්පාදනය කරන්න මගේ දුව රන්සිළු වික්‍රම සුරේන්ද්‍ර සූද‌ානම්.

සේයා රූ සහ කතා බහ  
විශ්ව ගැමුණු ප්‍රියංකර