IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පන්සලේ දඹරන් පිළිමය සොරකම් කර වික්ක විහාරාධිපති හිමිනම

හොරු​න්ගෙත් හොරු කම්බ හොරු

 

සිනමා පටයක් කියන්නේ සමාජය දැනුම්වත් කරන්න, අලුත් අත්දැකීමකින් පෝෂණය කරන්න තියෙන තවත් එක මාධ්‍යයක්. බොහෝවිට කලාත්මක ඇසකින් සිනමාවට නැගෙන්නක්, සමාජ අත්දැකීමක්. ත්‍රස්තවාදී සංවිධාන, හොර කල්ලි පාතාල කණ්ඩායම් තමන්ට අලුත් සටන් ක්‍රම, ප්‍රහාරක උපක්‍රම සොයාගන්නත් සිනමාපට භාවිත කරන්න පුරුදු වී සිටිනවා. කොල්ලකා සොයාගත් වස්තුව නිසා අවසානයේ කල්ලිය අතර මරාගැනිල්ලකින් ජීවිතේ අහිමි වන ආකාරය, එහෙමත් නැත්නම් කෙතරම් සූක්ෂම උපක්‍රම යෙදුවත් ඔවුන් පොලීසියට කොටුවන ආකාරය වැනි අත්දැකීම්ද ඒ සිනමා පටය තුළින්ම කතා කළත් මේ අය පුරුදුවී සිටින්නේ තමන්ට අවශ්‍ය කොටස පමණක් ඒ සිනමා පටයෙන් උකහා ගන්නටයි.  

 

 

අපි අද කතා කරන්න යන්නේ සිනමා පටයක් ගැන නම් නෙවෙයි. මේක පොලිස් පොතේ ලියවුණ අපූරු කොල්ලයක් ගැන කතාවක්. හොරුන්ගෙත් හොරු කම්බහොරු කියනවානේ. මේ කතාවත් හරියට සිනමා පටයක් වගෙයි. කොල්ලකල්ලිය යොදාගෙන තිබෙන්නෙත් සිනමා අත්දැකීමක් කියලා හිතන්නත් පුළුවන්.  


මේ කතාව අහන්න ලැබුණේ කොළඹ අපරාධ කොට්ඨාස, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයෙන්. කතාවට පදනම් වෙන්නේ නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක තිබූ දඹරන් පිළිමයක්.  


කොළඹ අපරාධ කොට්ඨාසයේ, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට එය භාර පොලිස් අධිකාරී මගින් පැමිණිල්ලක් ලැබුණා. ඒ කිලෝ හැත්තෑවක් බර මැණික් එබ්බවූ දඹරන් පිළිමයක් සොරාගෙන ඇති බවටයි. ඒත් ඒ විහාරස්ථානයකින් නම් නෙවෙයි. භික්ෂූන් වහන්සේ නමකට අයත් නිවසක තිබියදී තමයි මේ පිළිමය සොරාගෙන තිබෙන්නේ.  


මතුරට විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ නමක් තමයි පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ. උන්වහන්සේ මේ පිළිමය නාරාහේන්පිට ප්‍රදේශයට ගෙනවිත් තිබුණේ ප්‍රදර්ශනයක් සඳහාය. රන් ආලේපිත පිළිම කෙතරම් දැක තිබුණත් දඹරනින් කළ පිළිමයක්  දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතිං ඒ අවස්ථාව නාරාහේන්පිට ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව තම විහාරස්ථානයේ තිබු පිළිමයක් එම ස්වාමීන් වහන්සේ විසින් මෙහි වඩම්මාගෙන විත් තිබුණේ. ඒ සඳහා තෝරාගෙන තිබුණේ දකුණේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමකට අයත් නිවසක්. එලෙස කටයුතු සුදානම්වෙමින් තිබූ අවස්ථාවක තමන් වැඩසිටි ස්ථානයට පැමිණි පොලිසියෙන් යැයි කියා ගත් පිරිසක් තමන් වාහනයක දමාගෙන ගිය බව විහාරාධිපති  හිමියෝ පොලිසියට පැමිණිලි කළහ. 


ඒ පැමිණිල්ලට අනුව සිද්ධිය මෙහෙමයි. හිටිගමන්ම වාහනයකින් පැමිණි  හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අපි මිරිහාන විශේෂ විමර්ශන ඒකකයෙන්. කෝ පිළිමය යැයි විමසා නිවස පීරා පිළිමය හොයලා. පිළිමය හොයාගත්තට පස්සේ “මේක මතුරට පන්සලකින් හොරෙන් ගෙනාව බවට පැමිණිල්ලක් තියෙනවා.” 


“අපි මේක ගෙනාවේ මිනිසුන්ට ප්‍රදර්ශනයට. තවම ඒ වැඩ ටික අවසන් වෙලා නැහැ. තැනක් සූදානම් කරගෙන වැඩේ කරන්න තමයි අපි කටයුතු කරමින් හිටියේ. මේක හොරකමක් නෙවෙයි.” විහාරාධිපති හිමියෝ කරුණු පැහැදිලි කළා.  


“ඒවා පරීක්ෂණවලදී හෙළිවෙයිනේ. සාජන් කට්ටියම ගිහින් දාගන්නවා වාහනේට. පිළිමයත් දාගන්නවා ” එහෙම කියලා ඒ කණ්ඩායම තමන් වහන්සේද දකුණු පළාතේ විහාරස්ථානයක හිමිනමක් වූ මෙම නිවසේ හිමිකාර ස්වාමීන් වහන්සේද ඇතුළු පස්දෙනාත් පිළිමයත්, එම නිවසේ තිබූ කෝටි එකහමාරක් පමණ වටිනා වාලම්පුරියකුත්  වාහනයක දාගෙන ගිය බව පැමිණිලිකාර හිමිනම පවසා තිබුණා. එය කළුපාට ඩිෆෙන්ඩර් රථයක් බවද ඒ හිමියෝ පවසා තිබෙනවා.  


මේ විදිහට පිරිස අරගෙන ගිය කණ්ඩායම මිරිහාන පොලිසිය අසලටද පැමිණ ඇති අතර වාහනය ගේට්ටුවෙන් මෙපිට නවත්වා පොලිසියේ ස්ථානාධිපති ලෙස පෙනී සිටි තැනැත්තා පොලිසිය ඇතුළට ගිහින් ටික වෙලාවක් එහි ගත කර නැවත පැමිණියත් ඔහු මේ වාහනයට ගොඩවෙන්නේ නැහැ. වෙනම කුලීරථ සේවාවකින් ලබාගත් කාර් එකකට ඔහු ගොඩවෙනවා.  ඊට පස්සේ පිරිස පොලිසියට ගෙනියන්නේ නැතිව ආපහු තවත් කොහෙද අරන් යනවා.  


මෙහෙම අරගෙන ගිය පස්දෙනාගෙන් දෙන්නෙක් බොරලැස්ගමුව රත්තනපිටිය ආසන්නයේ දානවා. අනෙක්කෙනා බොරලැස්ගමුවෙන් බස්සනවා. තවත් කෙනෙක් ඇඹුල්දෙණිය හංදියෙනුත් තවත් එක්කෙනෙක් උඩහමුල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයකටත් ගෙනත් දමා දඹරන් පිළිමයත් වාලම්පුරියත් රැගත් වාහනය පිටව යනවා. පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ඒ විදිහටයි.   


මේ කතාව හොඳින් අහගෙන හිටිය පොලිස් ස්ථානාධිපතිට වගේම අනෙක් පිරිසටත් ප්‍රශ්න රැසක් මතුවුණා. ඒත් ඔවුන් මුලින්ම ඒ ප්‍රශ්න අහන්න ගියේ නැහැ. මොකද පළමුව කළ යුතුව තිබුණේ පිළිමය සොරාගත් කල්ලිය අල්ලා ගැනීමය. ඒ නිසා විහාරාධිපති හිමියෝ ලබාදුන් විස්තර අනුව පරීක්ෂණ ඇරඹුවා.  


මුලින්ම සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා. එය නිවසකි. එහි පුස්කොළ පොත් කීපයක්ද දකින්න තිබුණා. ඒ හැර වෙනත් සැකකටයුතු කිසිවක් තිබුණේ නැහැ. ඉන්පසු පස්දෙනා දමා ගිය ස්ථාන පරීක්ෂාවට ලක් කළා. ඒ ස්ථාන අවට ආරක්ෂක කැමරා කිසිවක් නොවුයෙන් වැඩි විස්තරයක් දැනගන්නට හැකි වුණේ නැහැ. එහෙත් අන්තිම පුද්ගලයා බස්සවන ලද ස්ථානය වූ උඩහමුල්ල අතුරු මාර්ගයේ නිවාස කීපයකම ආරක්ෂක කැමරා තිබූ අතර එයින් පැමිණි වාහනයත්, එහි අංකයත් පැහැදිලිව බලාගන්න පුළුවන් වුණා. ඒ ගැන සොයාගෙන යද්දී එම වාහනය නුගේගොඩ අධිකරණයේ නීතිඥයින්ගේ කාර්යාල සංකීර්ණය සහිත ගොඩනැගිල්ලේ හිමිකරුගේ බිරිඳගේ නමට ලබාගත් වාහනයක් බව තහවුරු වුණා. ඒත් ඔවුන් එහි සඳහන් ලිපිනයේ පදිංචිව සිටියේ නැහැ. ඒත් පොලිසිය පරීක්ෂණ අවසන් කළේ නැහැ. නිලධාරීන් කීපදෙනෙක් ඒ අවට ආවේක්ෂණ රාජකාරියේ යොදා හිමිකරු එහි පැමිණෙන වේලාවන් ගැන විස්තර සොයා ගත්තා. 


පැමිණිලිකාර හිමිනමගේ දුරකථන විශේලේෂණ වාර්තා අනුව සිද්ධිය වූ දින සහ ඒ ආසන්න දින කීපයේදී කතා කළ එක්තරා අංකයක් ගැන වැඩි අවධානයක් යොමු විය. එම දුරකථන සිද්ධිය වූ දිනයේ මේ නිවසට පැමිණ ඇති බවට දුරකථන කුලුනුවල දත්ත අනුව පැහැදිලි වුණා. ඒ අනුව විහාරාධිපති හිමි ගැන සැකයක්ද ඇති වුණත් ඒ ගැන කිසිදු ඇඟවීමක් නැතිව පරීක්ෂණ සිදුකළේ  එයින් පරීක්ෂණ අවුල් විය හැකි නිසයි. 


මේ අතර පොලිස් කොස්තාපල් අමිල මහතාට විශ්වාසවන්න ඔත්තුකරුවෙකුගෙන් තොරතුරක් ලැබෙනවා, පාතාල ක්‍රියාකාරිකයෙකු වන බේබි නමැති අය මහරගම ඇල්හේන පාරේ නිවසකට සුදු රෙද්දකින් ඔතන ලද ලොකු බරක් සහිත යමක් රැගෙන ආ බවට. ඒ අනුව බේබිගේ ඡායාරූපයක් සොයාගත් පොලිසිය එය පැමිණිලිකාර හිමිනමට පෙන්වනු ලැබුවා. ඡායාරූපයේ සිටි අයද කොල්ලයට පැමිණි බවත් පොලිස් ස්ථානාධිපති ලෙස අඟවමින් වාහනයෙන් බැස මිරිහාන පොලිස් ස්ථානයට ගියේ ඔහු බවද විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කළා. ඒ අනුව මේ කොල්ලය පාතාල බේබිගේ වැඩක් බව තහවුරු වුණා.  


ඉහත කී දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව හඳුනාගත් දුරකථන අංකයේ හිමිකරු වේයන්ගොඩ පදිංචිකරුවෙකි. එම නිවසට ගොස් පළමුව ඔහු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී පැමිණිල්ලේ සඳහන් වූ සොරාගත් බව කියන වාලම්පුරිය යැයි සැක කළ හැකි වාලම්පුරියක්ද, රුපියල් දහසේ, පන්දහසේ මුදල් නෝට්ටු ලෙස හැඟෙන පරිදි සකස් කළ කොළ පාර්සල් තොගයක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා.  


ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කර කිසියම් හේතුවක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය. ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මේ කොල්ලයට පැමිණ තිබුණේ පොලිස් නිල ඇඳුමෙන්ම බවද දැනගන්නට ලැබුණා. ඒ අනුව ඔහුගේ නිවසේ තිබූ පොලිස් නිල ඇඳුම්ද සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.  


ඊට පස්සේ ගියේ තෙවන සැකකරුගේ නිවසටයි. නයිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සැකකරු කොල්ලයට සම්බන්ධ වෙලා තියෙන්නේ පොලිස් බුද්ධි අංශයේ අයෙක් හැටියටයි. සිව්වන සැකකරු වූ බේබි අත්අඩංගුවට ගන්නට උත්සාහ කරද්දී ඔහුගේ දුරකථන අංකය මාරු කර ඇති බව වැටහිණ. එහෙත් ඔහුගේ පෙර දුරකථන වාර්තා අනුව සොයාගත් ළඟම හිතවතුන් කීපදෙනෙකුගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඒවාට අලුත් අංකයකින් ලැබී තිබූ ඇමතුම් ගැන සොයා බැලීය. ඒ අංකය බේබිගේ බවට සැක කළ පොලිසිය ඒ අංකය ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර පිටිපන ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගන්න සමත් වුණා.  


ඉන්පසු පොලිස් කණ්ඩායම් ගියේ පිළිමය සඟවා තබාගත් මහරගම ඇල්හේන පාරේ නිවසටයි. එහෙත් නිවසේ හිමිකරු සොයා ගත හැකි වුණේ නැහැ. පසුව පොලිස් නිලධාරීන් කීපදෙනෙක් එහි ආවේක්ෂණ රාජකාරියේ යොදවන්නට ස්ථානාධිපතිවරයා කටයුතු කළා. එහෙත් පසුව දැනගන්නට හැකි වූ පරිදි එම නිවස බේබිට අයත් වූවකි. ඒ නිසා බේබි අත්අඩංගුවට ගත් පසු පිළිමය සොයා ගැනීමට හැකි වුණා.  


පස්වන සැකකරු වූ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දඹරන් පිළිමය පිළිබඳ තොරතුරු ලැබී තිබෙන්නේ ඔහුට බවද ඒ ගැන බේබිට පවසා තිබෙන්නේද ඔහු බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව පිළිමය පැහැර ගැනීමේ සැලැස්ම සකස් කර තිබෙන්නේ වේයන්ගොඩින් අත්අඩංගුවට ගත් සැකකරු වන අතර මෙයට පොලිස් නිල ඇඳුම් ඇඳගත් අයෙක් සිටීම වැදගත් බව පවසමින් මිනුවන්ගොඩ පදිංචි වැඩතහනමට ලක්වූ පෙර කී සැකකරු සම්බන්ධ කරගෙන තිබෙන්නේ ඔහු බවට තොරතුරු අනාරවරණය වුණා.   


මේ අතර කොල්ලයට පැමිණි කළුපැහැති ඩිෆෙන්ඩර් රථයේ හිමිකාරිනියගේ සැමියා දෙල්කඳ හංදියට වෙනත් වාහනයකින් පැමිණ ඇති බවට ලැබුණ තොරතුරු අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම ඔහුවද අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මත්තේගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ වාහනයද සොයාගන්න හැකි වුණා. සැකකරුවන් හය දෙනාම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තමයි හොඳම කතාව හෙළිදරව් වුණේ.  


වේයන්ගොඩින් අත්අඩංගුවට ගත් සැකකරු කියා සිටියේ තමන් එහි ගියේ දඹරන් පිළිමය විකිණීමට තිබෙන බවට බේබිට ලැබී තිබූ තොරතුරක් අනුව බවයි. ඔහුගෙන් ලැබුණ තොරතුරු අනුව මතුරට විහාරස්ථානයක විහාරාධිපති යැයි පැවසෙන  හිමනම තවත් පිරිසක්ද සමග එක්ව තම විහාරස්ථානයේ තිබූ මැණික් ඔබ්බවන ලද දඹරන් පිළිමය සොරකම් කර නාරාහේන්පිට ගෙනත් තිබෙනවා. එයට දකුණු පළාතේ පෙර කී ප්‍රසිද්ධ පන්සලක හිමිනමක්ද උදව් කළා. මේ වැඩේට උදව්වට තවත් තුන් දෙනෙක් එකතු කරගන්නවා. ඒ අයගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් පිළියන්දල ආසන්න පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්. 
මොවුන් දඹරන් පිළිමයක් විකුණනන්නට ඇති බවට දන්න කියන අය මගින් එවැන්නක් මිලදී ගත හැකි මට්ටමේ අය අතරට ප්‍රචාරය කරනවා. එහි වටිනාකම කෝටි හැත්තෑවක් ලෙසයි ඉදිරිපත් කර තිබෙන්නේ. මේ ආරංචිය බේබිගේ කනට ආවේ ඒ ආකාරයටයි. ඒ අනුව බේබි ගනුදෙනුවට යෙදෙව් කෙනා තමයි පළමු සැකකරු. ඒ ඔහු සිද්ධිය වූ දිනට පෙර දිනයේත් පිළිමය තිබූ නිවසට ගොස් එහි කෑල්ලක් කපා තනි රත්තරන් දැයි පරීක්ෂා කර තිබුණා. ඒ අනුව පසුදිනයේ ගනුදෙනුකරු සමග පැමිණෙන බවත් කියා තිබුණා. එහෙත් කියපු වෙලාවට ඔහු එහි ගොස් තිබුණේ පෙර කී සැකකරුවන් හය දෙනා සමග පොලිස් වෙසක් ආරූඪකර ගනිමිනුයි. 


පන්සල්වලින් හොරෙන් ගෙනත් රන් පිළිම විකුණන්න හදනවා නේද? ඔවුන් තමන් පොලිසියේ බව අඟවමින් එසේ පවසා තිබුණා. විහාරාධිපති හිමියෝ ඇතුළු සියළුදෙනා එයින් අන්දමන්ද වුණේ තමනට වැරදුණ බව ඒත්තු ගිය නිසයි. 


එහෙත් ඒ පොලිසිය නොව තවත් හොර කල්ලියක් බව ඒත්තු ගිය පසු තමන්ගේ අත කිසිදු වරදක් නැති බව අඟවමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පොලිසිය මුල සිටම පැමිණිල්ල කළ හිමි නම ගැන සැක පළ කළත් ඒ ගැන ඇඟෙව්වේ නැහැ. ඒ පළමුව දෙවැනි සොර කල්ලිය අත්අඩංගුව ගතයුතු නිසයි. ඒ කල්ලිය අත්අඩංගුවට ගත්තට පස්සෙ තමයි පොලිසිය පළමු සොර කල්ලිය තමන්ගේ අත්අඩංගුවට ගත්තේ. 


තමන්ගේ විහාරස්ථානයේ තිබුණ දඹරන් පිළිමය අතුරුදන් බවට පිළිමය අයත් විහාරස්ථානයේ ජ්‍යෙෂ්ඨ හිමිනමක් පොලිසියට පැමිණිලි කර තිබිණ. ඒ තොරතුර ලැබුණ පසු පොලිසිය පැමිණිලිකාර පාර්ශ්වයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ පිළිමය මහජන ප්‍රදර්ශනයට නොව විකිණීම සඳහා ගෙනවිත් ඇති බව තහවුරු වුණා. ඒ අනුව ඊට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගන්න කටයුතු කළ නමුත් ඒ වනවිටත් දකුණු පළාතේ ප්‍රසිද්ධ විහාරස්ථානයක වැඩ සිටින්නෙකු බව කියන හිමිනම විදේශ රටකට පලා ගිහින්. අනෙක් සියලු දෙනා පොලිසියේ අත්අඩංගුවට පත්වුණා. 


කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දුනුසිංහ, පොලිස් සැරයන් 3856 ප්‍රියන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන 70450 අමිල, 70336 රත්නායක, 72701 ධනුෂ්ක, 84333 වික්‍රමනායක, 69666 රත්නායක, 92248 කුමාර, 89973 නිලංක, 69480 කුමාර යන නිලධාරීන් කණ්ඩායම් විසින් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන සිදුකළ අතර තවදුරටත් විමර්ශන සිදුකෙරේ.  

 

 

 

මුදිතා දයානන්ද

 



අදහස් (0)

පන්සලේ දඹරන් පිළිමය සොරකම් කර වික්ක විහාරාධිපති හිමිනම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site