IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දහස් ගණනකට රැකියා නැතිවූ අසූවේ ජූලි මහා වැඩවර්ජනය

වර්ජකයන් වෙනුවට  අලුතින් පත්වීම් දුන් හැටි

 

 

විවිධ ඉල්ලීම් යටතේ වැඩ වර්ජන සිදු කිරීම් දැන් බලවත් තර්ජනයක් බවට පත්වී තිබේ. මගී ජනතාවට පීඩාකාරී ලෙස පවත්වන වැඩ වර්ජන අතර දුම්රිය වැඩ වර්ජන මේ දිනවල කරළියට පැමිණ තිබේ. විවිධ වෘත්තීය සමිති මගින් සිදු කළ මහා වැඩ වර්ජනයක් 1980 වසරේදී පැවැත්විණ. එම වැඩ වර්ජනය කළ පිරිස් රැකියා අතහැර ගිය අය ලෙස සලකා අලුත් සේවකයන් බඳවා ගැනීමක් ද සිදු කෙරිණි. 


එම වැඩ වර්ජනය සිදුවූයේ අසූව වසරේ ජුලි 18 වැනිදාය. මෙම වැඩ වර්ජනයට ඇතැම් වෘත්තීය සමිති සූදානම් වන බවට රජයට දැනුම් දීමෙන් පසු එය මර්දනය කිරීමට රජය දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබීය. වර්ජනය කළහොත් රැකියා අහිමි වන බවට රජය දැඩි නියෝගයක් නිකුත් කළේය. ඒ පිළිබඳව පුවත්පත් මගින් ද විශාල ප්‍රසිද්ධියක් දී තිබිණි. 
වැටුප් වැඩි කිරීම් ඇතුළු ඉල්ලීම් ඉදිරිපත් කරමින් ආරම්භ කළ එම වැඩ වර්ජනයට වෘත්තීය සමිති ගණනාවක් එකතු වී සිටියහ. වැටුප් වැඩි කිරීම් පිළිබඳව ඒ වනවිටත් රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් වෘත්තීය සමිති මගින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට අවනත නොවී වර්ජන කිරීමෙන් වැළකී සිටින ලෙසත් රජය සේවක පිරිස්වලින් ඉල්ලා සිටියේය. 
වර්ජනය කරන පිරිසට රැකියා අහිමි වන බව රජය එක හඬින් කියා සිටියේය. ඒ පිළිබඳව පුවත්පත් මගින් නිවේදන නිකුත් කෙරිණි. එවකට පැවැති ලංකාදීප පුවත්පත වාර්තාවක් පළ කළේය. “වර්ජනය කළොත් රස්සා අහිමි වෙයි” යනුවෙන් 1980 ජුලි 15 වැනිදා ලංකාදීපය මගින් පළකරන ලද රජයේ නිවේදනය ඒ අයුරින්ම මෙසේය.


“එක්සත් වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව සම්බන්ධ සමහර වෘත්තීය සමිති මහා වැඩ වර්ජනයක් කැඳවීමේ ප්‍රයත්නයක නිරත වී සිටී. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දොළොස් දෙනකු ආපසු සේවයට කැඳවන ලෙස හා ඔවුන්ගේ වැටුප් වහාම වැඩි කරන ලෙස ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කර තිබේ. 


රාජ්‍ය අංශයේ සේවක වැටුප් වැඩි කිරීම සැලකිල්ලට භාජනය වී ඇති බව රජය පැහැදිලිවම ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිතුමා සහ ඇමැතිවරුන් කීප දෙනකු ද මේ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මෙසේ ප්‍රකාශ කර තිබියදීත් සමහර දේශපාලන පක්ෂවල රැකවරණය ලබන වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකුම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට නැඹුරු වී තිබේ. 


මෙවැනි වැඩ වර්ජන තර්ජන මගින් රජයට අනිසි බලපෑම් ඇති කිරීමට ඉඩ දීමට රජයට කිසිසේත් නුපුළුවන. මේ ක්‍රියා නිසා ජනතාවගේ දෛනික කටයුතුවලට අවහිර ඇතිවනවා පමණක් නොව පසුගිය තෙවසරක කාලය තිස්සේ දේශිකයන් පන්ලක්‍ෂයකට පමණ රැකියා ලබා දෙමින් කටයුතු කරන රජයේ සංවර්ධන වැඩවලට ද මෙයින් බාධා වී රට තුළ නිෂ්පාදනය හීන වී ජීවන වියදම ඉහළ යන අතර භාණ්ඩ සැපැයීමේ කාර්යයන් අඩාළ වී යයි. 

 

 

 


මේ නිසා පොදු ජනතාවගේ සුභ සිද්ධිය ප්‍රධාන තැන්හි ලා සලකා බැලූ රජය යෝජිත වැඩ වර්ජන දිනයෙහි සේවයට නොපැමිණෙන රජයේ හා රාජ්‍ය සංස්ථාවල සියලුම සේවකයන් සේවය අත්හල අය ලෙස සැලකීමට තීරණය කර ඇත. මේ අනුව ඇතිවන පුරප්පාඩු වහාම පිරවීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දී තිබේ.” යනුවෙන් සඳහන් විය. 
එහෙත් ඒ සියලු නියෝග නොපිළිගත් ඇතැම් වෘත්තීය සමිති ඔවුන්ගේ වැඩ වර්ජනය කළහ. මේ තත්ත්වය පැහැදිලි කිරීමට 1980 ජුලි 18 වැනි සිකුරාදා සේවයට වාර්තා නොකළ සියලුදෙනා සඳුඳා වැඩට පැමිණීම අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේය. ඒ බැව් සඳහන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ලංකාදීපය ද වාර්තා කරනු ලැබුවේ මෙලෙසිනි.
“ඊයේ වැඩට නොපැමිණි අයට රැකියා අහිමිවීම ස්ථිරයි. ඔවුන්ගේ දරුවන් ගැන මට දුකයි. එහෙත් මහජන සුබසෙත සඳහා වෙන කළ යුතු දෙයක් නෑ. ඔවුන් නැවත තම කාර්යාලවලට එන්නට වුවමනාවක් නැතැයි කී ජනාධිපතිවරයා, වැඩ වර්ජනයක් පැවැතුණේ යයි අපි පිළි නොගනිමු. සිදුව ඇත්තේ රජයේ සහ සංස්ථාවල සේවකයන්ගෙන් කොටසක් සිය කැමැත්තෙන් ඉවත්ව යාමයි. මට මේ තත්ත්වය ගැන බෙහෙවින් කනගාටුයි. මම ද හදවතක් ඇත්තෙක්මි. එහෙත් කරන්නට දෙයක් නැත. දේශපාලන නායකයන්ගේ බස්වලට රැවටී ඔවුන් පසුපස ගිය අයට ඵම ප්‍රතිඵල විඳගන්නට සිදුවී ඇත. ඒ අය හදන්නේ ජනතාව අමාරුවේ දැමීමටයි. අප උත්සාහ කරන්නේ ඔවුන් නැගිටුවා සිටුවීමයි. මෙය තේරුම් ගෙන ක්‍රියා නොකළ අය වෙනුවෙන් අපට කළ හැකි දෙයක් නැත. එක්කෝටි හතළිස් ලක්ෂයක් ජනතාවගේ වුවමනාවන් ඉටු කිරීමටත් ඔවුන් අපට දුන් බලය අප නිසි පරිදි රැකගත යුතුය. ජනතා පරමාධිපත්‍යයට අපට විරුද්ධ විය නොහැකිය. අපට අලියකුට තරම් බලයක් තිබේ. ඒත් මෙතෙක් ඒ බලය පාවිච්චි කළේ නැත. එහෙම හිටපු අපිව අාඥාදායකයන් කරන්නේ මේ දේශපාලන වෘත්තීය සමිති නායකයෝය. ඒගොල්ලෝ අපිව එතැනට තල්ලු කළා. දැන් ඉතින් මීට වඩා දැඩි පියවරවල් ගන්න වෙනවා. ආණ්ඩුවලට විශාල බලයක් දෙන එක ආඥාදායක බලය දෙන එක මම තවදුරටත් අනුමත කළේ නෑ. ඒත් කවුද ඒක කෙරුවේ විපක්ෂයයි. ඒ අය මහජනයා අවුස්සලා වැඩට එන්න එපා යයි කියන්න පුළුවන්. 


සමහර පත්තරත් මහජනයා අවුස්සන්න හදනවා. මෝඩ වෙන්න එපා. පිස්සෝ වෙන්න එපා. කකුලක් කැඩීම නිසා ලෙඩ දුකක් ඇතිවුණ නිසා වැඩට එන්න බැරි වුණා කියන කෙනෙක් ඉන්නවා නම් ඒ අය ලියලා එවන්න. ඒවා විපරම් කරලා බලලා පුළුවන් නම් වැඩට ගන්නවා. ඊයේ වැඩට නොපැමිණි අය දැන් කන්තෝරුවලට එන්න වුවමනා නැහැ. යැයි ජනාධිපතිවරයා පැවැසීය.” 


මේ අනුව ජුලි 21 වැනිදා සියලුම පුවත්පත් මගින් දැන්වීම් පළකරමින් රැකියා දමා ගිය අය වෙනුවට අලුතින් සේවකයන් බඳවා ගැනීම ආරම්භ කළ බැව් “රැකියා දමා ගිය අය වෙනුවට අද සිට අලුතින් බඳවා ගනී” යනුවෙන් ප්‍රවෘත්ති පළ කළේය.


හිස්වූ ඈබැර්තු පිරවීමට ඇමැතිවරුන්ට බලය පවරා ඇති බව ද නිවේදනය කළ අතර බොහෝ දෙපාර්තමේන්තු සහ සංස්ථාවල පවතින පුරප්පාඩු පුවත්පත් දැන්වීම් මගින් ද පළකරනු ලැබීය. දුම්රිය දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව, තැපැල් දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන ආයතන රැසක පවතින පුරප්පාඩුවලට පත්වීම් ලබාදීම සඳුදා උදේ දහයට සහතික සමඟ පැමිණෙන ලෙස ද එම දැන්වීම් මගින් නිවේදනය කර තිබිණි. 


ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් ද නිකුත් කරමින් කියා සිටියේ විධිමත් අයුරින් ඉදිරිපත් කර ඇති වෛද්‍ය සහතික පිළිබඳව ද දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත් නිදහසට දී ඇති කරුණු සමාලෝචනය කර ඔවුන්ට රැකියා නැවත ලබාදෙන ලෙසත්ය. 


එසේ නැවත සේවයට ආයාචනා ඉදිරිපත් කරන සේවකයන්ට යළි රැකියා ලබාදීමේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කරන ලද චක්‍රලේඛය නිකුත් කර තිබුණේ මෙලෙසය. 
“80.07.18 වැනි දින කාර්යාලවලට නොපැමිණීමේ හේතුවෙන් තනතුර අතහැර ගියා වූ ද තමන්ගේ නොපැමිණීම වැඩ වර්ජනය නිසා නොව වෙනත් නොවැළැක්විය හැකි හේතූන් නිසා යයි කියන අය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී පහත දැක්වෙන උපදෙස් පිළිපැදිය යුතුය. 

 

 


විධිමත් වෛද්‍ය සහතික මත නොපැමිණීම නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කර ඇති වෛද්‍ය සහතික ඉතා සැලකිලිමත්ව බැලිය යුතු අතර ඉතා සුළු වශයෙන්වත් සැකයක් තිබේ නම් එම සහතික ඔවුන්ගේ පෙර සේවා වාර්තා අනුව පරීක්ෂා කර බලා අවශ්‍ය නම් නැවත පරීක්ෂා කළ යුතුය. ඔවුන් වැඩ වර්ජනයට සහභාගී වූ වෘත්තීය සමිතියක සාමාජිකයකු වන්නේ නම් බිය ගැන්වීම නිදහසට කරුණක් සේ නොපිළිගත යුතුය.” යනුවෙනි. 


“සිකුරාදා වැඩට නොපැමිණි අයගේ ආයාචනා විභාගයට අලුත් කොන්දේසි. අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක්.” යනුවෙන් එදා දිනමිණ පළකර තිබිණි. 18 වැනිදා නොපැමිණි අයගේ වැටුප් නතර කරන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තවත් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ “තනතුරු අතහැර ගිය නිලධාරීන්ට 1980 ජුලි මස වැටුප නොහොත් වේතනය නැවත දන්වන තුරු අත්හිටුවිය යුතුය” යනුවෙනි. 


කෙසේ වෙතත් 18 වනදා වැඩ වර්ජනය කිරීම නිසා රැකියා අහිමිවූවන් ලෙස සැලකූ පිරිස වෙනුවට දින තුනක් ඇතුළත අලුත් පිරිසක් බඳවා ගැනීමට රජය කඩිනම්ව ක්‍රියාකර තිබිණි. 

 

 

තිස්ස ජයවර්ධන   

 



අදහස් (0)

දහස් ගණනකට රැකියා නැතිවූ අසූවේ ජූලි මහා වැඩවර්ජනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site