ආගම්වාදය, වර්ගභේදය, කුල ගෝත්‍රවාද ආදීයෙන් යම් කිසි සමාජ ගැටුමක් ඇතිවීම අවසානයේ ඇතිකරන්නේ දුක් පීඩා සමූහයකි. ඒ නිසා ඇතිවන සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද සියල්ලෙහි අවසාන පීඩාව අත්වන්නේ ද බහුතරයක් වූ පොදු ජනතාවටය. මෙබඳු තත්ත්වයකදී අප කටයුතු කළ යුතු වන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප අප කළ විමසුමකදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.


‘‘එක්දහස් නවසිය හතළිස්අට නිදහසින් පසුව අප ආ ගමන් මඟ පුරා වාර්ගික ගැටුම්, අර්බුද පැන නැගීම ඔස්සේ දැඩිව පීඩාවට පත් රටක් ලෙස ඉතිහාසය පුරා සාක්ෂි හමුවෙනවා. එක්දහස් නවසිය පනස් දෙක, පනස් හය, පනස් අට, හැත්තෑ එක, අසූතුන, අසූ අට, අසූ නවය භීෂණ සමයත් එක්දහස් නවසිය අසූ එක සිට දෙදහස් නවය වසර දක්වා උතුරේ සිංහල - දෙමළ අර්බුදයත් නිසා අප පීඩාවට පත්වුණා. මෙම කාලසීමාවන් පිළිබඳව සැසඳීමේ දී නිදහසින් පසුව අපට වසර හතකට වඩා ලේ වැගිරීම්වලින් තොරව සාමකාමීව වාසය කිරීමට අපට හැකියාව ලැබී නැති බව පැහැදිලි වෙනවා. කනගාටුවෙන් වුණත් අප ඒ සත්‍යය පිළිගත යුතුයි.


ගැටුම් ඇති කරගන්නා තරමට අප තවදුරටත් පීඩාවට පත්වන බව ජනතාව අවබෝධ කරගත යුතුයි. ආර්ථිකය බිඳවැටීම, ආයෝජන දුර්වල වීම ආදී සියල්ලෙහි අවසාන පීඩනය එල්ලවන්නේ ජනතාවට බව ඔවුනොවුන් අවබෝධ කරගත යුතුයි. බෞද්ධයා හිතනවා නම් බෞද්ධයා තනිවෙලා අසරණ වෙලා පීඩාවට පත් වෙලා කියලා ගැටුම් ඇති කරගැනීමට යෑමෙන් පීඩාව එල්ලවන්නේ ඔවුන්ටමයි. මුස්ලිම් ආගමිකයාටත් එය එසේමයි.
ප්‍රශ්නවලට මුහුණ දිය යුත්තේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් මිස හැඟීම්වලින් නොවන බවට අවබෝධ කරගත යුතුයි. ඔබ ජීවත්වන ගමේ බහුතරය සිංහලත් සුළුතරය මුස්ලිම් වැසියනුත් වනවා නම් මුස්ලිම් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීම සිංහලයා විසින් සිදුකළ යුතු වෙනවා. බහුතරය මුස්ලිම් වැසියන් නම් තමන්ගේ ගම් ප්‍රදේශයේ වෙසෙන සිංහලයන් ආරක්ෂා කරගැනීමේ වගකීම මුස්ලිම් වැසියන්ට පැවරෙනවා. බාහිරින් ගමට ඇතුළුව අර්බුද ඇති කරන්න යම් යම් පිරිස්වලට ඉඩ ලබානොදිය යුතුයි.


එසේ වූව​ෙහාත් බාහිරින් ගමට ඇතුළුව අර්බුද ඇති කරන පිරිස් නික්ම ගිය පසු ඔවුනොවුන්ට එක ගමක සහයෝගයෙන් ජීවත්වීමේ හැකියාව නැහැ. එයින් අවසානයේ එකම ගමේ වැසියන්ට ලැජ්ජාවට පත්ව එකිනෙකාගේ මුහුණ බැලීමටත් නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි. තම තමන්ගේ ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශවල ආගමික නායකයන් ද මැදිහත්වීමක් සිදු කළ යුතුයි.


වෛරී සිතුවිලිවලින් මිදී ඉවසීමෙන්, සහයෝගයෙන් කටයුතු කරන ලෙස අප සියලු වැසියන්ගෙන් ඉල්ලා සිටින බව ධම්මානන්ද හිමියෝ පැවසූහ.


වාර්ගික ගැටුමක් වැනි යම් අර්බුදයක් මතු වූ අවස්ථාවක රටේ ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඩබ්ලිව්.එම්. සේමසිංහ මෙසේ සඳහන් කළේය.


යම් සමාජ ගැටුමක් මතුවූ අවස්ථාවකදී එහි ප්‍රධාන බලපෑම එල්ලවන්නේ සමාජ ස්ථාවරත්වයට හා දේශපාලන ස්ථාවරත්වයට බව ප්‍රධාන වශයෙන් සඳහන් කළ හැකියි. ඒ වගේම මෙකී පරිදි ඉස්මතු විය හැකි සමාජ හා දේශපාලන අස්ථාවරභාවය සෘජුවම රටේ ආර්ථිකයට බලපෑම් කරනවා.


බහුවාර්ගික, බහුආගමික හා බහු සංස්කෘතියක් සහිත රටක විවිධ පුද්ගලයන් අතර විවිධ මතගැටුම් ඇතිවීම ස්වභාවික තත්ත්වයක්. නමුත් එවැනි පුද්ගලික මතවාද ජාතික අර්බුදයක් දක්වා වර්ධනයවීමට ඉඩ හැරීම රටටම විශාල බලපෑමක් වෙනවා.


තුන්වැනි පෙළ ආර්ථිකයකට හිමිකම් කියන රටවලට සාපේක්ෂව දියුණු ආර්ථිකයක් සහිත රටවල බහු ආගමික, බහු වාර්ගික, බහු සංස්කෘතික තත්ත්වයන් මධ්‍යයේ වුවත් ගැටුම් ඇති නොවන සාමකාමී වතාවරණයක් පවතින බව දක්නට ලැබෙනවා.


ඊට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ දැනුම්වත්භාවය හා ආකල්ප අතින් වර්ධනය වූ මනසකින් යුක්ත පිරිස් වශයෙන් ඔවුනොවුන් ජීවත්වීමයි.


ඉහළ අධ්‍යාපන මට්ටම ලැබීමත් ආකල්පමය දියුණුවත් නිසා ඉස්මතු විය හැකි එබඳු පුද්ගල ආකල්ප යටපත්කිරීමට තරම් ශක්තිමත් සමාජයක් එවැනි රටවල් ආශ්‍රිතව නිර්මාණය වී තිබෙනවා. දියුණුවෙන් අඩු රටවල මේ තත්ත්වය වෙනස් වෙනවා. එබඳු රටවල පෞද්ගලික මතවාද මගින් රටේ සමස්තයට බලපෑම් එල්ල කිරීමේ අවකාශය වැඩියි.


අපේ රටත් බහුවාර්ගික, බහුආගමික, බහු සංස්කෘතික රටක්. ඉකුත් සමයේ උද්ගත වූ තත්ත්වයන් අනුව පුද්ගල ආකල්පයක් මත රටටම බලපෑම් එල්ල කිරීමේ සමාජ වටපිටාවක් අපේ රට තුළ තිබෙන බව දක්නට ලැබුණා.
විවිධ පුද්ගලයන් තමන්ගේ අපේක්ෂාව වෙනුවෙන් මේ තත්ත්වය වාසියට ගෙන වැඩ කරන ආකාරය දැකිය හැකි වෙනවා. දේශපාලන වාසි තකා කටයුතු කිරීම මෙවැනි අවස්ථාවක සිදුනොවිය යුතුයි.


යම් ගැටලුවක් නිසා ඇතිවන සමාජ අස්ථාවරභාවයක් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ආනයන, අපනයන ආර්ථිකයට මෙන්ම රටේ දෛනික පැවැත්ම සම්බන්ධ ක්‍රියාවලියටත් බලපෑම් කරනවා. මහනුවර වැනි ප්‍රදේශයක් සැලකීමේදී තේ කර්මාන්තය වැනි කෘෂි නිෂ්පාදන ක්‍රියාවලිය, අනෙකුත් නිෂ්පාදන මෙන්ම පාසල්, රජයේ කාර්යාල ආදිය ද අක්‍රීයවීමට මෙවැනි ගැටුම් හේතු වෙනවා. සේවා අඩපණවීම ආර්ථිකයට බලපෑමක් වෙනවා.
ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාව අප දෙස බලන ආකල්පය වෙනස් වෙනවා. ඔවුන් අප සමග තබා ඇති සබඳතා කෙරෙහි මෙය බලපැමක් එල්ල වෙනවා. මේ වෙද්දී ඇමෙරිකාව, ඉන්දියාව වැනි රටවල් තමන්ගේ රටවල ජනතාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවවාද නිකුත් කොට තිබෙනවා. එයින් අපේ සංචාරක ව්‍යාපාරයේ සෘජු බලපෑමක් සිදුවෙනවා. ආනයන - අපනයන ක්‍රියාවලියට මෙන්ම ආයෝජකයන් අප ​ෙවත පැමිණිමේදී දෙතුන් වතාවක් සිතා බලනවා. නොඑසේ නම් ඔවුන් අප මඟහැරීමට ඉඩකඩ තිබෙනවා.


සංචාරක කර්මාන්තය අඩපණවීම රටේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා. විදේශ ආයෝජන දුර්වලවීම කර්මාන්ත ක්ෂේත්‍රයට ශ්‍රම වෙළෙඳපොළට ආදී සියල්ලටම බලපෑමක් වෙනවා. මානව හිමිකම් පිළිබඳ යම් යම් නියාමනයන් අද වෙද්දී ආයෝජකයන් විශේෂයෙන් අවධානයට ලක්කරන ක්ෂේත්‍ර බවට පත්වෙලා තිබෙනවා.


ඉකුත් සමයේ මත්ස්‍ය අපනයන පිළිබඳ ගැටලුවක් මතු වූ හැටි ඔබට මතක ඇති. ඒ වගේම බටහිර රටවල් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන මානව හිමිකම් යන්න ප්‍රබල බලපෑම්කාරී සාධකයක් බවට පත්කොට ගෙන සිටිනවා. ඒ ඒ රටවලින් ලැබිය හැකි ණය, ආධාර, යම් යම් ප්‍රදානයන් ආදියට මානව හිමිකම් යන්න බලපෑමක් වෙනවා.


විදේශ රටවල සේවා නියුක්තියටත් මේ තත්ත්වයටත් සෘජුවම බලපානවා. අපේ රටේ විදේශ විනිමයට සෘජු මැදිහත්වීම සිදුකරන මැදපෙරදිග ගෘහසේවයට වත්මනේ ඇති වී තිබෙන තත්ත්වය සෘජු බලපෑමක් විය හැකියි.
මැදපෙරදිග බහුතර රටවල් මුස්ලිම් ආගමිකයන් සිටින නිසා ඔවුන් තුළ අප කෙරෙහි විරෝධාකල්පයක් මතුවීමේ ඉඩ කඩ තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර කාර්යයන්වලදී අපට ලැබෙන සහයෝගය අහිමිවීමට ඉඩකඩ තිබෙනවා.


මාර්තු මාසය කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස්වන සමයවීම නිසා එහිදී බහුතර මුස්ලිම් රටවල් අපට විරුද්ධව කටයුතු කිරීමේ ඉඩකඩක් මතුවිය හැකියි.


සමාජ අර්බුදකාරී තත්ත්වයකදී අපේ රටේ නිෂ්පාදන මිල දී ගැනීම් සිදුනොකිරීම වැනි දෑ මගින් පීඩාවක් එල්ල කිරීමේ හැකියාව තිබෙනවා.


සංහිඳියාව පිළිබඳ කලක සිට අප සාකච්ඡා කෙරෙනවා. රටක ජාතික අභිලාසයන්ට ගැලපෙන ලෙස අපට ඇති ප්‍රමුඛතාවයන් තෝරාගෙන රටේ ආර්ථික ක්‍රියාවලිය සැලසුම් කළ යුතුයි.


ජාත්‍යන්තරය තුළ අපට හිමිවිය හැකි ආර්ථික වරප්‍රසාද හඳුනාගත යුතුයි. ඒ හැර ආගම, ජාතිය මත පදනම්ව ආර්ථිකය සැලසුම් කිරීමෙන් අප වැලකී සිටිය යුතුයි යන්න මගේ අදහසයි’’ මහාචාර්ය සේමසිංහ සඳහන් කළේය.

 

 

 

 

සටහන - සමන්තිකා මාධවී