IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ගෙන ගිය සැකකරු ගෙදර ආවේ පෙට්ටියෙන්

ශ්‍රී ලංකා පොලීසියට වසර එකසිය පනහ පිරුණේ පසුගිය වසරේදීය. මේ මාසයේදී පොලිසිය සිය වසර 151 සම්පූර්ණ කරයි. වසර එකසිය පනහක පොලිසියේ විශිෂ්ට ගමන පෙන්නුම් කිරීම සඳහා සෑම පොලිස් ස්ථානයකම එල්ලා ඇති බැනරයක දැක්වෙන්නේ අධික ගංවතුරකට යටවූ මහා මාර්ගයක සිට රථවාහන හසුරුවන පොලිස් නිලධාරියකුගේ ඡායාරූපයකි. දණහිසටත් වඩා උසින් ගලන ජලයට බැස ජනතාව වෙනුවෙන් පොලිසිය ඉටුකරන සේවාව ඉන් පෙන්නුම් කරවයි. 



මීට වසර කිහිපයකට පෙර තම ඉණටත් වඩා උඩින් පිහිටි මුහුදු ජල කඳට බැස ගල්කිස්ස මුහුදු තීරයේදී මන්ද මානසික තරුණයකුට ගොඩට ඒමට ඉඩ නොදී පොලුවලින් පහරදී මුහුදු වතුරේ ගිලෙන්නට හැර එම තරුණයාව මළවුන් අතරට යැවීමට කටයුතු කරන්නේද පොලිස් නිලධාරින් කිහිප දෙනෙකි. ඒ නිසා ගතවූ වසර එකසිය පනහක පොලිස් ඉතිහාසය තුළ ගංවතුරට බැස ජනතාව වෙනුවෙන් ක්‍රියාකරන පොලිස් නිලධාරීන් මෙන්ම අසරණයින් ජලයේ ගිල්ලවා මරා දැමූ පොලිස් නිලධාරීන්ද සිටි බව අපට සිහිපත්වේ. 


එදිනෙදා අපරාධ පරීක්ෂණවලදී පොලිසිය සැකකරුවන්ට අමානුෂික පහරදීම් සිදුකරන බවට සමාජය තුළ පවතින මතය සනාථ කරමින් පොලිස් පහරදීමකින් තවත් පුද්ගලයෙක් පසුගිය 25 දින මියගියේය. ඒ බියගම-රග්ගහවත්ත පදිංචිව සිටි 41 හැවිරිදි චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි නමැති දෙදරු පියාය.


සොරකමක් සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් මාබිම, ගෝනවල ප්‍රදේශයේ පදිංචිකරුවකු ලබාදුන් තොරතුරකට අනුව අපරාධ විමර්ශණ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරුන් හතර දෙනෙකු සිවිල් ඇඳුමින් චදික්ගේ රග්ගහවත්ත නිවසට පැමිණ තිබුණේ පසුගිය 25 දින අලුයම දෙකට පමණය. ඔවුන් පැමිණ සිටියේ මෝටර් රථයකින් වූ අතර සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුද ඒ අතර සිටියේය.


අලුයම 2.00ට පමණ චදිත්ගේ රග්ගහවත්තේ නිවසට පොලිස් නිලධාරීන් පැමිණ දොරට “තට්ටු” කළේය. “චදික් ඉන්නවද?” ඒ වනවිට නිවස තුළ නිදාගෙන හිටියේ චදිත්ගේ වයෝවෘද්ධ දෙමාපියන් පමණි.


“මම ඇහුවා කවුද කියලා, එතකොට කිව්වා. මම චදික්ගේ යාළුවෙක්. මළගෙදරක බැනර් එකක් දාන්න තියෙනවා ඒකටයි කථා කළේ කියලා. මම කිව්වා චදික් ගෙදර නෑ. හිටියත් ඒ ළමයට ගස් නගින්න බැහැ කියලා. චදික් ඉන්නේ බෝමිරියෙ එයාගේ නෝනාගේ ගෙදර කියලා මම කිව්වා. පස්සෙ ඒ අය යන්න ගියා.” චදික්ගේ මව වන කමලා කහවිකෝරාළ මහත්මිය කීවාය.
පසුව පොලිස් කණ්ඩායම ගියේ කඩුවෙල, බෝමිරිය, රාස්සපාන පිහිටි චදික්ගේ බිරිඳගේ නිවසටය. ඒ වනවිට අලුයම හතර පසුවී තිබිණි. චදික්ගේ බිරිඳ වන අනුරාධා නිල්මිණි විජේසේකර මහත්මිය මෙසේ කීවාය. 


“පාන්දර හතරට විතර කට්ටියක් ඇවිත් අපේ දොරට ගැහුවා. ඒ වෙලාවේ මා ඇහුවා ඔයාලා කවුද කියලා. අපි පෑළියගොඩ පොලිසියෙන් කියලා කිව්වා. නමුත් මා දොර ඇරියේ නැහැ. මා කීවා 119ට කියනවා කියලා. කමක් නෑ කියපං දොර ඇරපං කියලා ඔවුන් කීවා. පසුව මා කිව්වා එළිවුණාම දොර අරින්නම් කියලා. එතකොටම අපි ඉදිරිපස දොර අරිනවත් එක්කම පිටුපස දොර කඩාගෙන දෙන්නෙක් ගෙට ඇතුළුවුණා.


ඉදිරිපස දොරින් ඇතුල්වූ දෙදෙනෙක් ළඟ මාංචු කුට්ටමක් හා පිස්තෝලයක් වැනි ගිනි අවියක් තිබුණා. ඔවුන් සමග මාංචු දමන ලද තවත් අයෙක් හිටියා. මේ අවස්ථාවේ එක් නිලධාරියෙක් මාංචු දමා සිටි අයව චදික්ට පෙන්නලා මෙයාව අඳුනනවාද ඇහුවා. එවිට චදික් කීවා එයා සමග මා තරහයි. මා එයා සමග කථාවක්වත් ආශ්‍රයක්වත් නැහැ කියලා. මා සමග තරහට මා ගැන මොකුත් කියලා දැයි ඔහු ඇසුවා.


ඊට පස්සෙ එතන හිටිය නිලධාරියෙක් චදික් සමග මොනවද කථා කළා. මට එතනට යන්න දුන්නේ නෑ. මට නිවසට යන්න කිව්වා. පසුව ඔවුන් කීවා චදික්ගෙන් පොඩි කට උත්තරයක් ගන්න තියෙනවා, බයවෙන්න එපා. උදේට පොලිසියට එන්න කියලා ඔවුන් මට කීවා. චදික් මට කිව්වා, බයවෙන්න එපා මම පෑලියගොඩ පොලිසියට ගිහින් කට උත්තරයක් දීලා එන්නම්. ඔයා දරුවන් දෙදෙනාත් එක්ක ඉන්න කියලා. පසුව ඔවුන් කාර් එකක චදික්ව දමාගෙන ගියා. පස්සෙ මම මේ බව චදික්ගේ ගෙදරට දැනුම් දුන්නා. පස්සෙ මම දැනගත්තා ඒ අය රග්ගහවත්තේ ගෙදරට ඇවිත් පසුව අපේ ගෙදරට ඇවිත් ඇති විත්තිය. 


උදේ මා රග්ගහවත්ත නිවසට ආවා. එහිදී චදික් අසනීප වෙලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා කියලා දැන ගන්නට ලැබුණා. ඒ නිසා මා මේ පිළිබඳව පැමිණිල්ලක් දැමීමට ප්‍රදේශයේ පොලිසිය වන සපුගස්කන්ද පොලිසියට ගියත් ඔවුන් මගේ පැමිණිල්ල භාරගත්තේ නෑ. ඒ අය මාව පෑලියගොඩ පොලිසියට රැගෙන ගියා.


පෑලියගොඩ පොලිසියට ගියාට පසුව මා එහි නිලධාරීන්ට කීවා චදික්ව බලන්න ඕනෑ කියලා. එතන සිටි නිලධාරීන් කීවා අපට තව රාජකාරි තියෙනවා. ඒවා ඉවරවෙලා පෙන්නන්නම් කියලා. පසුව හවස 5.00ට විතර කොළඹ ජාතික රෝහලට එක්කගෙන ගියා. එහිදී මට පෙන්නුවේ චදික්ගේ මළ සිරුරයි. චදික් නිවසින් රැගෙන යනවිට කමිසයක් හා කොට කලිසමක් ඇඳලා හිටියේ. කමිසය තිබුණෙ නෑ. පපුවේ තුවාල තිබුණා. ඇඟ පුරාම වැලි තැවරී තිබුණා.


චදික් පොලිසියෙන් රැගෙන යනවිට එයාට කිසිම අසනීපයක් තිබුණේ නෑ. ඒත් පොලිසිය කීවේ එයාට ඇදුම රෝගය හැදිලා රෝහලට ඇතුළත් කළා කියලයි. එයාගේ ඇඟපුරා වැලි තිබුණා. රෝහලේ අය හිතලා තියෙන්නේ එයා ගොඩනැගිලි ඉදිකිරීම් කරන කෙනෙක් කියලා. පොලිසිය චදික්ව රෝහලට භාරදීලා තියෙන්නේ මියගියාට පසුවයි. පොලිසිය රෝහලට දන්වා තිබෙන්නේ එයාට “ෆිට්” එක හැදිලා කියලයි. මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරයා අපට කිව්වේ අමානුෂික අන්දමින් පහරදීලා මරලා කියලයි. අවුරුදු 15කින්වත් මේ වගේ බොඩි එකක් කපලා නැහැ කියලත් වෛද්‍යවරයා කිව්වා.”


අවුරුදු 07 ක දරුවකු හා මාස දෙකක කිරිකැටියකු තුරුලු කරගෙන ඇය විලාප දෙන්නීය. චදික්ගේ මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.ඩී. චන්න පෙරේරා මහතා සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ මොට ආයුධයකින් පහරදීම නිසා මෙම මරණය සිදුව ඇති බවය. ඒ අනුව චදික්ගෙන් ගිනි අවියක් පිළිබඳව ප්‍රශ්න කර දරුණු ලෙස පහරදී ඇති බවට ඥාතීන්ට ඇති සැකය බැහැර කළ නොහැකිය.


පොලිසියේ අත්අඩංගුවේ සිටියදී සිදුවන මියයාම්වලට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 371 වගන්තියට අනුව යම් පුද්ගලයකු පොලිසියේදී, ලාදුරු රෝහලක හෝ සිරගෙයකදී මියගියහොත් වහාම මහේස්ත්‍රාත්වරයකුට ඒ පිළිබඳව තොරතුරු ලබාදිය යුතුය. එහෙත් චදික්ගේ ඥාතීන් චෝදනා කරන්නේ නමක් ගමක් හෝ නොමැතිව නිර්නාමිකව රෝහලට භාරදී ඇත්තේ මළ සිරුර බවය. චදික් මරාදමා දින ගණනක් ගතවුවද සපුගස්කන්ද පොලිසිය තවමත් නිල වශයෙන් මෙම මරණය පිළිබඳ දැනුම්දීමක් සිදු නොකළ බවත් ඥාතීහු චෝදනා කරති.


චදික්ගේ මරණයට පෙර පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ පුස්සැල්ලාව පොලිසිය තුළදී මියගිය කවිරාජ් රවිචන්ද්‍රන් නමැති තිස් හැවිරිදි තරුණයාගේ මරණයයි. මෙම සිදුවීමෙන් පසුව 2016 සැප්තැම්බර් 20 දින පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සියලුම පොලිසිවල හා සිරමැදිරි තුළ සී.සී.ටී.වී. කැමරා සවි කරන බවය. ඒ සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා කීවේය.


එහෙත් වැල නොකැඩී පොලිස් පහරදීම්වලින් සිදුවූ තවත් මරණයක් වාර්තා වී ඇතත් අමාත්‍යවරයාගේ සැලසුම් ක්‍රියාවට නැගෙන අයුරක් නම් පෙනෙන්නට නැත. 


යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මෙන්ම ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට ඇති අයිතිය නීතිය ඉදිරියේ අපි කවුරුත් පිළිගන්නෙමු. නමුත් තමන්ට අවශ්‍ය ප්‍රකාශය ලබාගැනීමට යමෙකුට කෲර වධහිංසා පැමිණවීමත් ඒ හරහා ඔහු මරා දැමීමත් ශිෂ්ටසම්පන්න සමාජය කිසිදා අනුමත නොකරති. 1994 අංක 22 දරණ කෲර අමානුෂික වධහිංසා පනතට අනුව යම් පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේදී පමණක් එවැනි නිලධාරියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර වසර 07ක සිරදඬුවමක් පැනවිය හැකිය.


1975 අගෝස්තු 25 දින උපත ලද චදික් රැකියාව ලෙස කළේ කුලී රථ රියැදුරෙකු ලෙස සේවය කිරීමයි. ඔහුගේ බිරිඳ සතුව ඇති මෝටර් රථය මෙන්ම චදික් තවත් අයෙකුගෙන් කුලියට ලබාගත් වාහනයක් උපයෝගී කර ගනිමින් ඔහු වාහන කුලියට ලබාදී ලද ආදායමෙන් තම පවුල පෝෂණය කළේය. ඔහුගේ බිරිඳ ගාල්ල රත්ගම, ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය සමග මීට වසර හත අටකට පෙර විවාහවූ චදික් කලක් රත්ගම පදිංචිව සිටියේය. පසුව තම බිරිඳත් සමග එක්වී කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ නිවසක් ඉදි කළේය. වසර 07ක් වයසැති පුතාට අමතරව මීට මාස දෙකකට පෙර ඉපදුණු දියණියකගේ පියෙකු වීමටද චදික් වාසනාව ලද්දේය.
තම වයෝවෘද්ධ දෙමාපියන් රැක බලාගත් චදික් මියයන්නට පෙරදින හවස පැමිණ තම දෙමාපියන්ගේ සුවදුක්ද විමසා පසුදින මවගේ රුධිර පරීක්ෂණයක් සිදු කිරීමට සූදානමින් සිටින ලෙස දන්වා ඒ සඳහා තමා පසුදින පැමිණෙන බව පවසමින් පිටව ගොස් ඇතැයි කියති.


දෙමාපියන්ට තම පුත්‍රයා අහිමිවීම මෙන්ම දරු දෙදෙනකුට පියෙකු අහිමිවීම කොතරම් ඛේදජනකද? 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ වනවිට ජාතික පොලිස් කොමිසම සක්‍රිය වී ඇතත් පොලිස් කොමිසමේ රාජකාරි අතරට වැටෙන්නේ පොලිසියේ පත්කිරීම් උසස්කිරීම් පමණක් නොවේ. පොලිසියේ විනය පාලනය පිළිබඳ බලතලද පොලිස් කොමිසම සතුව පවතී. එහෙයින් පොලිසිය මගින් ජනතාවට සිදුවන මෙම අකටයුතුකම්වලට මැදිහත්වී ජනතාව ආරක්ෂා කර ගැනීම පොලිස් කොමිසමටද ඇති වගකීමක් බව පෙන්වා දිය යුතුය. 

 

 



අදහස් (0)

ගෙන ගිය සැකකරු ගෙදර ආවේ පෙට්ටියෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 14 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 20 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 9 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 12 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 59 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 324 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site