පුස්තකාල ඡායාරූපයකි

 

අපරාධයක් යනු මහජන පැවැත්මට එරෙහි ක්‍රියාවක් ලෙසින් සරල ව අර්ථකථනය කළ හැකි වෙයි. අපරාධය, සමාජයෙහි යහපැවැත්මට හා සංවර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් එල්ල කරනු ලබන අතර, සමාජීය වශයෙන් පුද්ගලයකුගේ පෞරුෂය, අනන්‍යතාව, තත්ත්වය හා ගෞරවය තීරණය වීම් කෙරෙහි ද ඍජුව බලපානු ලබයි. කෙසේ කීවද අපරාධයක් සිදුකර ඉන් ගැලවී ඉන්නට නීතිය කිසිසේත් ඉඩ නොදෙනු ඇත. ‘‘නීතියක් නැති අපරාධයක් නැත’’ යන කතිකාවත තුළින් අපරාධයත් නීතියත් අතර පවත්නා අනන්‍ය සබඳතාව විද්‍යමාන කරයි. 


මිනිසාගේ අශීලාචාර, නොහොබිනා ගතිපැවතුම්, තමා සිටින තැන පවා අමතක කර දැමීමට තරම් ප්‍රබල වෙයි. තම මවු රටේ ද නොඑසේ නම් විදේශයකද යන්න පවා අමතක කොට ‘‘අපරාධ’’ සිදු කිරීමට කුමන හෝ මිනිසකු පෙළෙඹෙන්නේ නම් ඔහු කවර ජාතිකයකු වුවද ඒ සඳහා දඬුවම් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුය. අපරාධයක් සම්බන්ධයෙන් එක් එක් රටවල පවතින නීති තත්ත්වය වෙනස් වුවද සිදුවූ අපරාධයේ බරපතළතාවය පිළිබඳව අදාළ බලධරයන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වෙයි. අපරාධය සහ නීතිය සහ දඬුවම පිළිබඳව බොහෝ දෑ සිතන්නට ඉඩ තැබූ එක් කතා පුවතකි මේ. මෙහි විශේෂත්වය වන්නේ මෙවැනි නඩුකරයක් ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක් වන පළමු අවස්ථාව මෙය බවට නිරීක්ෂණය වීමයි. 


එය ඉකුත් 1998 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනිදාය. දකුණු කොරියාවේ තේගු ප්‍රාන්තයේදී “භුමා” අධිවේගී මාර්ගයේදී සිදුවූ හදිසි රිය අනතුරකින් වයස අවුරුදු 18ක්වූ තරුණ විශ්වවිද්‍යාල සිසුවියක මිය යන්නේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනි. මෙම රිය අනතුර සම්බන්ධයෙන් එරට බලධාරීන් මෙන්ම දකුණු කොරියාවේ තේගු පොලීසිය විසින් ද පරීක්ෂණයක් ආරම්භ කරනු ලබන අතර, එහිදී දැරිය රිය අනතුරට භාජනය වන්නේ මානසික වියවුලකින් යුක්තවීමේ හේතුවෙන් බවට තොරතුරු සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබිණි. එසේම, එම රිය අනතුර සිදුවූ ස්ථානයට මීටර් 30ක් පමණ ආසන්නයේ වැටී තිබී මෙම සිසුවියගේ යට ඇඳුම් කිහිපයක් සොයා ගැනීමටද එරට පොලීසියට හැකිවී ඇත. මෙම රිය අනතුර සම්බන්ධයෙන් වූ විමර්ශන වෙනත් මානයකට යොමු වන්නේ මේ සිද්ධිය හේතුවෙනි. ඒ අනුව දැරියගේ යට ඇදුම්වල තිබී සොයා ගත් ශුක්‍රාණු පැල්ලම් කිහිපයක් හේතුවෙන් මෙම දැරිය රිය අනතුරට භාජනය වීමට පෙර දූෂණයකට ලක්වී ඇති බවට සොයා ගෙන තිබිණි. 


මේ සියලු සිද්ධීන් මෙරටදී නැවතත් වාර්තා ​ෙවන්නේ ඉකුත් 01 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය විසින් කරනු ලබන කරුණු ඉදිරිපත් කිරීමකට අනුවය. ඒ, කොරියා ජනරජයේ තේගු ප්‍රාන්තයේදී මීට වසර දහ නවයකට පෙර සිදුවූ දහ අට හැවිරිදි දැරියක සමූහ ස්ත්‍රී දූෂණයකට ලක් කර ඝාතනය කළැයි කියන සිද්ධියකට අදාළව ශ්‍රී ලාංකිකයින් තිදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට සඳහන් වූ කරුණු වාර්තා කිරීමකට අදාළවය. 


ශ්‍රී ලාංකිකයෙකු මෙරට දේශසීමාවෙන් පිටත සිදුකරන ලද අපරාධයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන අනුව මෙරට අධිකරණයට බලය ඇතැයි නීතිපතිවරයාගෙන් ලද උපදෙස් ප්‍රකාරව මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයේ පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ, එහි ස්ථානාධිපති රාජකරුණා සහ අධිකරණ අංශයේ විජේසූරිය යන නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළ කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිණි. 


එහෙත්, මෙම විෂය ගත සිද්ධියට අදාළව මෙරට අධිකරණයක් හමුවේ විමර්ශනයකට අදාළව නඩු පැවරිය හැකිදැයි යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාගේ නියෝජනයක් අවශ්‍ය බවට එහිදී මහේස්ත්‍රාත්වරිය පැමිණිලි පාර්ශ්වයට දැනුම් දෙනු ලැබ තිබිණි. ඒ අනුව ඉකුත් 04 වැනිදා නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ මාලි අසීස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ 2006 අංක 16 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 2 උපවගන්ති 2 යටතේ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙරටින් බාහිරව සිදුකරනු ලබන වැරදි සඳහා දඬුවම් පැමිණවිය හැකි බවය. එහිදී කුමන අධිකරණයක නඩු පැවරිය හැකි ද යන්න අධිකරණ සංග්‍රහ පනතේ 9 (1) ඊ සහ එෆ් වගන්ති ප්‍රකාරව දක්වා ඇති බවද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. ඒ අනුව එකී වරදක් සම්බන්ධයෙන් අපරාධමය නඩුවක් සඳහා මහාධිකරණයක් හමුවේ නඩු පැවරිය හැකි බවත්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්ති ප්‍රකාරව විමර්ශනයට අධිකරණයේ සහාය අවශ්‍ය බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණය දැනුම්වත් කරමින් සඳහන් කළේය. 


එසේම, මෙවැනි සිද්ධියක් මෙරට අධිකරණයක් තුළ විභාග ​ෙවන පළමු අවස්ථාව මෙය වීමට බොහෝ ඉඩකඩ ඇති බවත් එවන් අවස්ථාවක් මින් ඉහතදී සිදුවූ බවට වාර්තා සොයා ගැනීමට නොහැකි වූ බවත් රජයේ අධිනීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කිරීම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් විශේෂත්වයක් ලෙසින් දැක්විය හැකිය. 


මෙම 18 හැවිරිදි ජොං අන් හේ, දකුණු කොරියාවේ තේගු ප්‍රාන්තයේ කේම්‍යුන්ග් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකි. ඇය සිය විශ්වවිද්‍යාලයේ පැවැති උත්සවයක් අවසානයේ නිවස බලා යමින් සිටියදී මෙම රිය අනතුරට භාජනය වී ඇති බවත්, එම අවස්ථාවේදී ඇය බීමතින් සිට ඇති බවටත් කරුණු හෙළී වි තිබුණේ පොලිස් පරීක්ෂණවලදීය. එසේම, ඇය පුද්ගලයින් තිදෙනකු අතින් දූෂණයට ලක්වී ඇති බවට එරට විමර්ශන කණ්ඩායම් විසින් විමර්ශනය කර තිබුණි. එම සිදුවීමෙන් අනතුරුව කවුරුන් හෝ මෙම ශිෂ්‍යාව අධිවේගී මාර්ගයේ ධාවනය වූ කාගෝ ට්‍රක් රථයකට යට​ෙවන අයුරින් දමා ගොස් ඇති බවටද එම විමර්ශන කණ්ඩායම් අනාවරණය කර ගෙන තිබූ බවට වාර්තා වී තිබිණි. 


එසේම, මෙම සිද්ධියට අදාළව තේගු පොලිසිය විසින් සිදුකරනු ලැබූ අභ්‍යන්තර පරීක්ෂණයට අදාළව එම ශිෂ්‍යාව මියගිය ස්ථානයේ සිට මීටර් 30කට දුරින් ඇගේ යට ඇඳුම් දෙකක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, එහි තිබූ පැල්ලම්වලට අදාළව ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමක් සිදුකර ඇතැයි ද වාර්තා කර ඇත. එහිදී එම ඩී.එන්.ඒ. සැසඳීම සඳහා කිසිවකු හෝ සැකකරුවකු ලෙස නම් කර ගැනීමට ඒ අවස්ථාව වන විටදී තේගු පොලිසියට හැකියාවක් තිබී නැත. 


කෙසේ වෙතත් 2010 වර්ෂයේදී දකුණු කොරියාවේ තේගු ප්‍රාන්තයේ රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයෙකු විසින් එරට බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කිරීමේ වරදට එරට පොලීසිය අත්අඩංගුවට ගනු ලබන්නේ 2011 වර්ෂයේදීය. එහිදී එම සිද්ධියට වරදකරු වන මෙම ශ්‍රී ලාංකිකයාගේ ඩී.එන්.ඒ. සාම්පල සමඟ 1998 වර්ෂයේ සිදුවූ විශේෂ කොල්ලකෑමක් සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමට අදාළව ගබඩා කොට තිබූ ඩී.එන්.ඒ. සාම්පල සමග සැසඳෙන බවට පොලීසියට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබිණ. 


මෙරට වරදකරුවකු වූ අවස්ථාවක ඇඟිලි සලකුණු ලබාගැනීමේ ක්‍රමවේදයට භාවිතා කරනු ලබන අයුරින් කොරියානු රාජ්‍යයේ වරදකරුවකු වූ අවස්ථාවක ඩී.එන්.ඒ. ලබා ගැනීමේ ක්‍රමවේදය භාවිතා කරනු ලබයි. ඒ අනුව ඉහත කී අපරාධය සිදුවූ අවස්ථාවේදී එහි ඩී.එන්.ඒ. සාම්පල ගබඩා කර තබා ගැනීම නිසා මෙම අපරාධයට වගකිව යුතු අපරාධකරුවන් සම්බන්ධයෙන් වැළලීගිය අතීතය නැවත ගොඩගැනීමට හැකියාවක් ඇතිවී ඇත. 
කෙසේ වෙතත් තේගු ප්‍රාන්ත පොලීසිය විසින් මෙම සැකකරු 1998 සිදුවූ සිද්ධියට අදාළව එරට අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ විශේෂ කොල්ලකෑම් සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ චෝදනාවන් යටතේය. එහෙත් කොරියානු රටේ නීතිමය ප්‍රතිපාදන ප්‍රකාරව එකී වරද ඔප්පු කරනු වස් ප්‍රථමයෙන් කොල්ලකෑම ඔප්පුකර ඊට පසු ස්ත්‍රී දූෂණය ඔප්පු කළ යුතු වන බව සඳහන් වෙයි. මෙහිදී මෙම සිද්ධියට අදාළව කොරියානු රාජ්‍යය විසින් මුල් අවස්ථාවේදීම කොල්ලකෑමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඔප්පුකිරීම අපොහොසත් වී ඇති බවට ද කරුණු හෙළිවිය. ඒ අනුව පළමු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ මෙම සැකකරු දෙවන චෝදනාවෙන් ද එලෙසින්ම නිදොස් කොට නිදහස් කර ඇත්තේ ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් එරට අධිකරණය කිසිදු තැකීමක් සිදු නොකොට ය. මෙම නියෝගය දකුණු කොරියාවේ තේගු ප්‍රාන්ත මහාධිකරණයෙන් සහ සෝල් නගරයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද තහවුරු කර ඇති බවටද කරුණු අනාරවණය වෙයි. 


සිද්ධිය මෙසේ තිබියදී මෙම සැකකරු ඇතුලු සිද්ධියට අදාළ ශ්‍රී ලාංකිකයින් තිදෙනා ම මේ ​ෙවන විට නැවතත් මෙරටට පැමිණ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත. 
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට කොරියානු රාජ්‍ය ත්‍රාන්තික දූත පිරිසක් ඉකුත් මැයි මස 30 වැනිදා මෙරටට පැමිණ නීතිපතිවරයා හා අධිකරණ අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ විශේෂ හමුවක් පවත්වා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාත්‍යන්තර පොලිස් ඒකකය අධිකරණයට දැනුම් දී ඇත. 


එසේම, මේ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මස 28 වැනිදා කොරියානු රාජ්‍ය විසින් මෙරට බලධාරීන් වෙත රාජ්‍ය ත්‍රාන්තික මට්ටමින් මෙම සිද්ධියට අදාළ විමර්ශනයක් ආරම්භ කරන ලෙසට ඉල්ලීමක් කළ බවද වැඩිදුරටත් එම පොලිස් ඒකකය අධිකරණයට දැනුම් දී තිබේ. 


ඒ අනුව කොරියානු රටේ බලධාරින්ගේ මැදිහත්වීම මත නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කොරියානු රාජ්‍ය බලා පිටත්ව යන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකිරීමේ අභිලාෂයෙනි. එහිදී එම නිලධාරී කණ්ඩායම කොරියානු තානාපති කාර්යාලයේ සහායෙන් එම රිය අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය පරික්ෂාවක් මෙන්ම අදාළ නඩුකරයන්ට පාදක වූ මෙන්ම සිද්ධියට අදාළ විමර්ශනයක් සිදුකර තිබිණ. 


පසුව එම විමර්ශනයට අදාළ වාර්තා නීතිපතිවරයා වෙත දැනුම් දීමෙන් පසු නඩුවේ සැකකරුවන් තිදෙනා යම් හෙයකින් මෙරටින් පලා ගියගොත් විමර්ශනයට බාධාවක් ​ෙවන බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබිණ. එම නියෝගය ලබා ගැනීම සඳහා රහස් පොලිසිය අධිකරණය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක් තුළ මෙවැනි නඩුවක් විභාග කළ හැකිද යන්න පිළිබඳව වූ නියෝගය නිකුත් කිරීම අධිකරණය හමුවේ පවතින කටයුත්තක් විය. 


එම නීතිකෘත්‍ය එසේ තිබියදී ශ්‍රී ලාංකිකයකු වශයෙන් මෙම පුද්ගලයින් විදේශයකට ගොස් මෙරට කීර්තිනාමය මෙලෙස විනාශ කර දැමීම කෙතරම් අවාසනාවන්ත සිදුවීමක්ද? රැකියාවක් සොයා ගොස් අපරාධ සිදුකිරීම පිළිබඳ එරට කෙසේ වෙතත් අප රට තුළ පවතින නීතිවල අඩුපාඩු ඇත්නම් ඒවා සංශෝධනයට ලක් කළ යුතු කාලය එළඹ ඇතැයි නැගෙන්නේ මෙවන් සිද්ධීන් තුළින් නොවන්නේද? 


මේ වෙන විට කොරියානු රාජ්‍යය තුළ ශ්‍රමිකයන් වශයෙන් ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට වඩා වැඩි පිරිසක් ජීවත් වෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව නීත්‍යානුකූල මෙන්ම නීත්‍යානුකූල නොවන ආකාරයෙන් එරට රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ට ද මෙවැනි අපරාධකරුවන් විෂයෙහි පවතින දෘෂ්ටිකෝණය හේතුවෙන් විශාල බලපෑමක් නොවන්නේ ද? 


මේ සිද්ධිය වෙනුවෙන් තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසට මියගිය ශිෂ්‍යාවගේ සහෝදරයා අප රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල කර ඇත්තේ ‘‘වේදනාව’’ යන පොදු හැඟීම ජාතිකත්වයට හෝ වෙන මොනයම් කාරණයකට අදාළ නොවන බව එය මොනවට පැහැදිලි කරන්නකි. 


සෑම අපරාධයක් සඳහාම සමාජය පිළිගත් පදනමක් මත දඬුවම් ලබාදීම තුළින් අපරාධකරුවන් සහ සාමාන්‍ය මහජනතාව තුළ අපරාධමය සම්බන්ධයෙන් බියක් ඇති කිරීම මගින් අපරාධය පාලනය කිරීම සිදුකෙරෙයි. මිනිසා සතුටට වැඩි කැමැත්තක් දක්වන අතර, වේදනාව ප්‍රතික්ෂේප කරයි. අපරාධයක් සඳහා දෙන දඬුවම වේදනාකාරී දඬුවමකට යටත්වීමට සිදු වන බවට පුද්ගලයකු තුළ ඇති කරන බිය ඔස්සේ ඔවුන් අපරාධ කිරීම වළක්වා ගත හැකි වෙයි. 


කෙසේ වෙතත් කොටියාට කැලේ මාරු වුවත් පුල්ලි මාරු නොවන සේ අපරාධකරුවාට තැනක් නොතැනක් නැත. මේ අපරාධකරුවන්ටත් එසේමය. 


මෙම සිද්ධියට අදාළ සැකකරුවන් මේ වෙන විට මෙරට තුළ රැඳී සිටින අතර, දැන් ඔවුන් මෙරට නීතිය කෙසේ හැසිරෙන්නේ දැයි විපරමෙන් සිටිනු ඇත. 


එපමණක් ද නොව, මෙවන් සිද්ධියක් පිළිබඳව අප රට තුළ නීතිය කෙසේ ක්‍රියාත්මක වෙනු ඇත්දැයි රටේ මහජනතාවටද බලා සිටිය යුතු වෙයි. කෙසේ වුවද, අපරාධයක් සිදු කර නීතියෙන් ගැලවුණ ද කෙදිනක හෝ කිසිවකුටවත් තම හෘද සාක්ෂියෙන් සහ සොබා දහම් නීතියෙන් ගැලවීමක් අපේක්ෂා කළ නොහැක.

 

 

 

නිමන්ති රණසිංහ