මයිනහම අදින වාරයක් පාසා ගිනි අඟුරු මත වදින හුළං පාරට හෝස්.... හෝස්... ශබ්දය නගමින් රත්තරන් පාටට බබලන ගිනි අඟුරු වලින් නිකුත්වන ගිනි පුපුරු ඉහළට ගොස් නොපෙනී යයි. 

ගැරඬි ඔළුවක් වගේ අඬුව ඇඟිලි තුඩින් අල්ලාගෙන ගිනියම් වූ යකඩ, කිනිහිරිය මත තබා තලමින් උදේ ඉඳන් රෑ බෝවෙනකල් දහදිය වගුරුවාගෙන යකඩත් එක්ක ඔට්ටුවෙන යකඩයෙක් බඳු කාන්තාවක් හමුවීමට අපි පසුගිය දිනක අලව්ව, මහරච්චිමුල්ල ප්‍රදේශයේ එච්.එම්. රූපිකා දමයන්ති නම් දිරිය කතගේ කම්මල සොයා ගියෙමු.  


කම්මල වෙත යන විට බුලත් විටක් සපමින් සිටි ඇය පිහිතලයක් පණපොවමින් සිටියත්, අප දෙස බලා සිනහමුසු මුහුණින් අපව පිළිගැනීමට තරම් කාරුණික වූවාය.  


“මොකද මහත්තයලා මේ පැත්තේ... පත්තරේටවත් ලියන්නද? අනේ මහත්තයෝ විනාඩියක් ඉන්න.... මේ පිහිතලේ හැඩය මදි. රත්කරලා ටිකක් තලන්න ඕනෑ. ඒ වැඩේ කරලම අපි කතා කරමු නේද....” අැය මෙසේ කියමින් පිහිතලය පොල්කටු අඟුරුවල දමා ගිනියම් වූ පසු කිනිහිරිය මත තබා ටාං.. ටාං.... ශබ්දය නගමින් තලන්නට වූවාය. ඒ සඳහා සහයට සිටින නන්දසේන සම්බන්ධ කරගෙන කුළුගෙඩි දෙකකින් දෙමාරුවට හීන්වනතුරු පිහිය තලන්නට වූයේ දහදිය වගුරුවමිනි.  


“ඕං දැන්නම් ටිකක් පිහි​ෙය හැඩය ආවා....” යැයි කියමින්ම අප සමග ඇය දොඩමළු වූවාය.  


“මම 1983 තමයි උපන්නේ. අපේ දෙමාපියෝ අපහසුතා මධ්‍යයේ උස්මහත් කරලා පාසලට යවලා අධ්‍යාපනය ලබලා දුන්නා. මා අපොස (සා.පෙළ) දක්වා ඉගෙන ගත්තා. උසස් පෙළ කරන්ඩ ගියේ නැහැ. පුංචි පුංචි රැකියා කරමින් කාලය ගත කළා. කාලය කා දැම්මේ නැහැ. ඵලදායි වැඩක් කළා. කාලය ගතකරමින් සිටියදී මගේ ස්වාමි පුරුෂයා හමුවුණා. ඔහු කේ.එම්. සුගත් කුමාර. ඔහු ඉතා හොඳ කෙනෙක්. මට හරිම ආදරෙයි. මා විවාහ වෙනකොට කම්මලකට ගිහිල්ලවත් නෑ.  


මගේ මහත්තයා අපේ ගෙදර ආසන්නයේ කම්මලක් ආරම්භ කළා. කම්මලේ වැඩට නන්දසේනත් සම්බන්ධ කරගත්තා. පිහි, කැති, මන්නපිහි, පොල් උල්, හිරමනා ඇතුළු විවිධ උපකරණ නිෂ්පාදනය කරනවා. මගේ මහත්තයාත්, නන්දසේනත්, දෙන්න එකතුවෙලා කරන නිෂ්පාදන වලට මම උදව් කළා. මට මේ නිසා නිෂ්පාදන පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණා. මේ දෙන්නම නැති වෙලාවට තනියම මට කම්මලේ වැඩ කරන්න ගත්තා.  

 

 

කොහොම කොහොම හරි ඒ දෙන්නටම වැඩිය මම වැඩ ඉගෙන ගත්තා. මගේ මහත්තයත් එක්ක කතා කරගෙන මහරච්චිමුල්ල නගරයේ ඉඩමක් බද්දට ගෙන කම්මලක් ආරම්භ කළා. අද ඉතා සාර්ථකව මම වැඩ කරගෙන යනවා. හොඳ ආදායමකුත් ලබනවා. මම යකඩ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. මහත්තයා ඒ භාණ්ඩ සති පොළවල්වල අලෙවි කරනවා.  


මන්න පිහි, උදළු, හිරමනා, පොඩි පිහි, පොල් උල්, ඇතුළු ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ නිසා අපි හොඳ සාර්ථක ජීවිතයක් ගත කරනවා. මට දරුවෝ දෙන්නෙක් සිටිනවා. එක දරුවෙක් අට වසරේ. අනෙක් දරුවා පහ වසරේ ඉගෙන ගන්නවා. කම්මලේ වැඩ කරමින්ම ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත්, කටයුතු කරනවා.   


ඉතින් ගැහැනු පිරිමි කියලා බේදයක් නැහැ. හිත හොඳ නම් ගැහැනු වෙන අපටත් ඕනෑම යහපත් කර්මාන්තයක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. අරමුණක් හා අධිෂ්ඨානයක් තිබේ නම් ඒක තමයි අපේ ජයග්‍රහණය බව” ඇය හැඟීම්බරව පැවසුවාය.  


යකඩත් සමග ජීවිතයෙහි ඉදිරි ගමන සාක්ෂාත් කර ගැනීමට උත්සුක වෙන රූපිකාලා මෙන් තවත් කාන්තාවෝ කොතෙකුත් සිටිති. එහෙත් අපේ කාන්තා පරපුරට තවමත් නිසි තැන ලැබී තිබේද? යන්න සිතිය යුතුය.  
රජයක් හැටියට කාන්තාවට නිසි තැන ලබාදීමේ කාලය එළඹී ඇත. එසේ නම් කාන්තාවගෙන් සිදුවෙන මහඟු කාර්යභාරය ඇගයීමට අපි සැවොම කටයුතු කරමු.

 

 

 

 

 

සටහන හා ඡායාරූප  
මහරච්චිමුල්ල එස්.එස්. අබේකෝන්