වෙඩිතබා ඝාතනය කරන ලද වන අලියෙක්

 

1970 වර්ෂයෙන් පසුව සත්වසරක් පුරාවට මේ රටේ පැවැති ඉතියෝපියානු සමය ගැන දැනට හැටපස් වැනි විය පසු කරමින් සිටින වැඩිහිටියෝ හොඳාකාරව දනිති. එවකට බලයේ සිටි රජයේ නිර්ලජ්ජිත ආර්ථික කළමනාකරණය නිසා රට ශීඝ්‍ර අගාධයකට ඇද වැටුණේය. දරිද්‍රතාව හා කුසගින්න ජන ජීවිතය වෙළාගත්තේය. අවිචාරවත් පාලනය රන් පවුම් වතු ජනසතු කිරීම හේතුවෙන් රටේ අපනයන ආර්ථිකය ලෙල්ලටම කඩා වැටුණේය. විදේශ විනිමය අහේනියකට රට මුහුණපෑවේය.   


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම සේවා භාණ්ඩ ආනයනය නතර කර දැමීමට සිදුවිය. යන එන මං නුදුටු රජය ඉතිහාසයේ ප්‍රථම වතාවට අඟහරුවාදා හා සිකුරාදා දිනයන්හි බත් කෑම මහජනතාවට තහනම් කරමින් ඊනියා වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කළේය.   


දේශපාලන බලධාරීහු රජයේ ඉඩම් පමණක් නොව පෞද්ගලික ඉඩකඩම් හා වතුපිටිද බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ජනතාව පෙළඹ වූහ. වනසතුන් වෙනුවෙන් වෙන්කර තිබුණු ජාතික වනෝද්‍යාන, අභය භූමි හා රක්ෂිත වනාන්තරද මේ ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු විය. එය රටවැසියාගේ පමණක් නොව වනසත්ව සංහතියේද ජීවිතවලට දුර්භාග්‍ය උදා කළ අඳුරු යුගයක් විය. මේ තත්ත්වයෙන් රට බේරාගත්තේ 1977 ජූලි මස පැවැති මැතිවරණ​ෙයන් විජයග්‍රහණය කළ ජේ.ආර්. ජයවර්ධන මහතාය.   
ඉහත සංසිද්ධීන් කෙටියෙන් හෝ මා මෙහි සඳහන් කළේ කිසිදු දේශපාලනයක් උලුප්පා දැක්වීමට නොව අද රටේ උග්‍ර පරිසර අර්බුදයක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුමට පදනම වැටුණු ආකාරය පෙන්වා දෙනු සඳහාය. මන්ද අප මේ අද පසුකරමින් ඉන්නේ ඒ ගැටුමේ දෙවැනි අදියරය.   


1977 දී නව යුගයක බර කරටගත් ජේ.ආර්. ජයවර්ධන මහතාට මිනිසුන්ගේ ප්‍රශ්න පමණක් නොව වනසතුන්ගේ ප්‍රශ්නද අමතක කරන්නට බැරි විය. ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි වන් යෝධ යුග පුරුෂයන් සමග රට පෙරට ගෙන ගිය ජයවර්ධන මහතා රටේ වනජීවී සම්පත භාරදුන්නේ තමා හා සම මට්ටමින්ම දේශපාලන විද්වත් ඇසුර ලද උගත් බුද්ධිමත් අවංක නිහඬ චරිතයක් වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතාටය. මේ දෙදෙනාම සැබෑ වනලෝලියෝ වූහ.   


වරක් දේශපාලන රැස්වීමකට සහභාගීවීම සඳහා මඩකළපුවට ගොස් ආපසු කොළඹ බලා එමින් සිටි මේ දෙදෙනාට සුප්‍රකට නෙළුගල අලි කොරිඩෝව හරහා ගමන් කරමින් සිටි හැට හැත්තෑවකට වැඩි අලි රංචුවක් දැකගැනීමට ලැබී ඇත. එක දිගට දේශපාලන රැස්වීම්වලට සහභාගිවීමෙන් විඩාපත්ව සිටි ජයවර්ධන මහතාට හිරු අවරට යමින් තිබුණු ඒ සුන්දර සැඳෑවේ මනම්පිටියේ වියැළි කාස්ටක වනාන්තර යායක් පසු කරමින් සෝමාවතිය දෙසට යමින් සිටි එම අලි රංචුව අසීමිත සතුටක් හා වින්දනයක් ලබාදුන්නේය.  
සිනහබර මුහුණෙන් යුතුව වාහනයෙන් බිමට බැසගත් ජයවර්ධන මැතිඳු රන්වන් හිරු රැස් අතරින් අවසන් අලියාද ඈතට නොපෙනී යනතුරු විනාඩි විස්සකට අධික කාලයක් තිස්සේ එහි රැඳී සිටියේය. ඉක්බිති තමා සමීපයේ සිටි ආනන්ද තිස්ස ද අල්විස් මහතාට කතා කොට ‘මේ ලස්සන සත්තු ටික රැකගන්න කරන්න ඕනෑ හැම දෙයක්ම අපි කරමු’ යනුවෙන් පැවසූ බව වරෙක මහවැලි කේන්ද්‍රයේ පැවැති පරිසර දින සමුළුවකදී ආනන්ද තිස්ස ද අල්විස් මහතා සතුටින් සිහිපත් කළේය.  


කී දේ කවදත් එලෙසින්ම ඉටුකරන චරිතයක් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා වනජීවී දෙපාර්තමේන්තුව ආනන්ද තිස්ස ද අල්විස් මහතාටම භාරදුන්නේ එදා මනම්පිටිය වැලිකන්දේදී වූ පොරොන්දුව ඒ අයුරින්ම ඉටුවනු දැකීමට ය. රාජ්‍ය අමාත්‍යංශයේ වැඩ භාරගත් සැණින් ඇමැතිවරයාගේ මුල්ම රාජකාරිය වූයේ ලංකාවේ පමණක් නොව ලෝක වන සත්ත්ව අරමුදලේ සැම සාමාජික රටකම ප්‍රසංශාව දිනා සිටි ප්‍රකට වනසත්ව සංරක්ෂකයකු වන ලීන් ද අල්විස් මහතා වනජීවී අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමය. ඒ එවකට ඔහු දැරූ සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ධුරයට අමතරවය.  


මේ වන විට උඩවලව, වස්ගමුව, හෝර්ටන්තැන්න, කුමන යන වනෝද්‍යාන හා ආරක්ෂිත වනාන්තර කලාප මුළුමනින්ම පාහේ මානව ආක්‍රමණයට යටපත් වී තිබුණේය. මේ වන කලාප මුදාගෙන යළිත් ඒවා වන සතුන්ගේ නිදහස් වනාන්තර භූමි බවට ප්‍රතිෂ්ඨාපනය කිරීම අධ්‍යක්ෂවරයාගේ ප්‍රධාන වගකීම විය. එදා මේ වනෝද්‍යාන පත්ව තිබුණ තත්ත්වය මෙසේය.  


උඩවලව ජලාශයේ ජලධර ප්‍රදේශය ආරක්ෂා කරගැනීම උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටුවීමේ මූලික පරමාර්ථය විය. එහි විශාලත්වය වර්ග සැතපුම් 119 කි. වනෝද්‍යානයක් වුවද මෙය 1978 වනතුරු දැඩි මානව ක්‍රියාවන්ට ගොදුරු වී තිබුණේය. වැල්ලවාය, හක්මන, වලස්මුල්ල ආදී ප්‍රදේශවලින් පැමිණි ජනයා බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන වනෝද්‍යානය තුළ පදිංචි වී සිටි අතර, වාසස්ථාන හා ව්‍යාපාරික ස්ථානද ගොඩනගා ගෙන තිබිණ.  


මේ නිසා වනාන්තරයේ ගස් කොළන් විනාශ වූවා පමණක් නොව මස් සඳහා මරනු ලැබීම හේතුවෙන් වන සත්තු වඳවී ගියහ. අලි ඇත්තු පේන තෙක් මානයක නොසිටියහ.  
මේ කනගාටුදායක තත්ත්වයෙන් උඩවලව වනෝද්‍යානය බේරාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වනෝද්‍යානය තුළ හා එහි මායිම්වල පදිංචිව සිටි සංක්‍රමණික පවුල් 2500 ක් පමණ ඉතා කෙටි කාලයක් තුළ වනෝද්‍යානයෙන් ඉවත් කරවා වන උයන යළිත් වනජීවීන්ට ප්‍රියමනාප පෙදෙසක් බවට පත් කිරීමට දෙපාර්තමේන්තුව සමත් විය.  


ඒ අනුව කලින් ජාතික වනෝද්‍යානය අත්හැර දමා ගිය අලි ඇතුන්, මුවන් ගෝනුන් පමණක් නොව දිවියන් ද නැවතත් වනෝද්‍යානය වෙත ඇදී ආ අතර 1982 ​ෙවන විට මේ වන උයන වන සතුන්ටත් සංචාරකයන්ටත් ඉතා ප්‍රියමනාප දර්ශනීය ස්ථානයක් බවට පත්විය. වනෝද්‍යානයෙන් ඉවත් කරන ලද සියලුම සංක්‍රමණික පවුල්වලට මහවැලි ගම්මානවල ඉඩකඩම් හා නිවාස ලබාදීමට රජය පියවර ගත්තේය.  


1938 දී දැඩි රක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණු වස්ගමුව වනෝද්‍යානයේ තත්ත්වය ඊට දෙවෙනි නොවීය. 1970 න් පසුව මේ ප්‍රදේශය විශාල ගොවි ජනපද ව්‍යාපාරයක් බවට යටපත් කර දමා තිබුණේය. එතුළ මිනිසුන් පදිංචි කරවා පාසල් ගොඩනැගිල්ලක්ද ඉදිකර තිබිණ. විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ සඳහා පමණක් වෙන්කර තිබුණු මේ දැඩි වනාන්තර රක්ෂිතය කැලෑ පාළුවන්ට සිතු සේ විනාශ කිරීමට ඉඩ හැර තිබුණු රජය වනෝද්‍යානයට ස්වභාවික ආරක්ෂාවක් සපයමින් ගැඹුරු නිම්නයක ගලා ගිය නොඉඳුල් දුනුවිලට ඉහළින් පාලමක් ද ඉදිකර දී තිබුණේය.  


මේ සියලු මිනිස් ක්‍රියාකාරකම්වලින් වනෝද්‍යානය නිදහස් කරගෙන එය යළිත් වන සතුන්ගේ පාරාදීසයක් බවට පත් කිරීම සඳහා අධ්‍යක්ෂ ලීන් ද අල්විස් මහතාට ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පූර්ණ සහය ලැබුණේය. උඩවලව මෙන්ම වස්ගමුවද අද වන අලින්ගේ සැබෑ පාරාදීසයකි.  

 

සාක්කි නැති මරණ පරීක්ෂණයක්

 


1978 ​ෙවන විට හෝර්ටන්තැන්න මුළුමනින්ම වාගේ අර්තාපල් වගාබිමකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි හා මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර එහි නිමල පරිසරය කෙළසමින් දිවා රෑ නොමැතිව දිය උල්පත් විනාශ කර දැම්මේය. තැන්නේ සාරවත් ලොම්පස හාරා ඛාදනයට ලක්කළේය. සියලු අර්තාපල් වගාබිම් තහනම් කර ගොඩනැගිලි කඩා ඉවත්කර මහඑළිතැන්න නිදහස් කර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සමත් විය. මේ සියලු ක්‍රියා පසුපස සිටි යෝධ බලවේගය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාය.  
කුමන කුරුලු පාරාදීසය නිදහස් කරදීම ඒ අතර වෙයි. මෙවන් කරුණු එකින් එක සඳහන් කරන්නේ නම් තව තවත් යහපත් කටයුතු රාශියක් පෙන්වාදීමට පුළුවන. මෙම සාධනීය තත්ත්වය 1994 දී යළිත් කණපිට පෙරළා දැමීමට අපේම රටේ මිනිසුන් පෙරමුණ ගැනීම කනගාටුවට කරුණකි.  


අද අප මේ අත්දකින්නේ 1995 වසරේ සිට උත්සන්න වූ අලි-මිනිස් ගැටුමේ දෙවැනි අදියරයි. ජාතික වනෝද්‍යාන හා රක්ෂිත අභයභූමි වටා එතෙක් පැවැති ප්‍රේරණ වන කලාප හෙවත් වනසතුන්ගේ ගොදුරු බිම් රජය පනතක් මගින් අහෝසි කළේය. කිලෝමීටර් දෙකක් තුනක් යන තෙක් විසිරී පැතිරී ගිය මේ පුළුල් බිම් ප්‍රදේශවල අලි ඇතුන් නිදහසේ ආහාර බුදිමින් ජීවත් වුණු බව දේශපාලන බලවතුන් කල්පනා කළේ නැත. පැහැර ගනු ලැබූ ඒ බිම් ප්‍රදේශවල මිනිස් ජනාවාස බිහි කෙරිණ. නව ගමත් කැලේ අලියාත් අතර පරාසය විදුලි වැටකට සීමා කෙරිණ. ඉතිං අලි ඇතුන් සංරක්ෂණය ගැන කවර කතාද?  


අද අපේ අලි සම්පත රැක ගැනීමට අවැසි නම් උන් ඇමේසන් වනාන්තරයට ගෙන ගොස් දැමිය යුතු බව ලංකාවේ සුප්‍රකට වන අලි සංරක්ෂකයකු වන ඒ.බී. ප්‍රනාන්දු මහතා වරක් ප්‍රකාශ කළේය.  


ඉහළ ගෝලීය ශීත අක්ෂාංශයක පිහිටි ඇමේසන් වනාන්තරයේ අලින්ට ජීවත්වීමට පුළුවන්කමක් නැත. ඔහුගේ ඒ ප්‍රකාශයෙහි ඇත්තේ උපහාසාත්මක යථාර්ථයකි. උපහාසය නම් අපේ අලි සම්පත රැකගැනීමට රජයට අවශ්‍යතාවක් නැත යන්නය. යථාර්ථය ​ෙවන්නේ දිනපතා මරාදමනු ලබන අලි සංඛ්‍යාව දෙස බලන විට පෙනීයන්නේ අලි සම්පත ලංකාවෙන් වඳවී යන බවය. පරිසරයට ආදරය කරන පුරවැසියන් ලෙස අපට කීමට ඇත්තේ එකම දෙයකි. එනම් ජේ.ආර්. ලා වන් මිනිසුන් යළිත් මේ රටේ බිහි​ෙවන්නේ නැත යන්නය.  

 


කැමිලස් වනිගසූරිය