ආසියානු කලාපයට අයත් ජපානය, ඉන්දුනීසියාව වැනි රටවල නිතර භූමිකම්පා සහ සුනාමි තත්ත්ව පිළිබඳව අසන්නට ලැබේ. පසුගිය 29 දා ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනට ද එවැනි සුනාමියක් බල පෑ අතර එහිදී ඇති වූ ප්‍රබල භූමි කම්පාවෙන් සහ සුනාමියෙන් වෙරළාසන්න නගරයක් වන පලු නගරයට විශාල හානියක් සිදු විය. නැගෙනහිර වෙරළ දෙසින් ගලා ආ සුනාමි රළ අඩි 20ක් පමණ ඉහළට විහිදුණු අතර එම ප්‍රදේශයේ තිබූ නිවාස හා ගොඩනැගිලි රැසක් මොහොතකින් විනාශ වී ගියේය. ඩොන්ගලා, බලරොවා හා මමුජු යන ප්‍රදේශවලට ද මහත් හානියක් සිදු විය. 


සුනාමියට හසු වූ ප්‍රදේශයේ ලක්ෂ හයක පමණ ජනගහනයක් වාසය කරන අතර ඉන් පුද්ගලයන් 1400කට අධික පිරිසකගේ ජීවිත අහිමි විණ. දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා 50,000ක් පමණ පිරිසක් අවතැන්ව ඇතැයි වාර්තා වේ. වෙරළාසන්නයේ පිහිටි ප්‍රදේශ රැසක් තවමත් මුහුදු ජලයෙන් යට වී පවතී. ගලවා ගැනීමේ කණ්ඩායම් රැසක් මේ ​ෙවන විට එම ප්‍රදේශයට ගොස් සිටින අතර එහි සහන සේවා කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ අනතුරට පත් ප්‍රදේශවලට පැමිණ සිටියේය. 


සුලවෙසි දූපතට බලපෑ සුනාමිය හා භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 7.5ක් වූ අතර එය හටගත් ස්ථානය නොහොත් අපිකේන්ද්‍රය ගණනය කිරීමේ දී එතරම් ප්‍රබල සුනාමියක් ඇති වූයේ කෙලෙසක ද යන්න පිළිබඳව භූ විද්‍යාඥයෝ විමතිය පළ කරති. ඔවුන්ගේ අනුමානය අනුව භූකම්පනයත් සමඟ මුහුදු පත්ලේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් සුනාමිය මෙතරම් ප්‍රබල වන්නට ඇති බවටය. 


ඉන්දුනීසියාව පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනක දී භූ කම්පාවලට ගොදුරු විය. පසුගිය ජුලි මාසයේ ලොම්බොක් ප්‍රදේශයේ භූ කම්පාවක් සිදු වූ අතර ඉන් ජීවිත 17ක් අහිමි විණ. දසදහසකට අධික පිරිසක් අවතැන් වූ අතර නිවාස 5448ක් විනාශ විය. අගෝස්තු 15 වැනි දින එහි යළි භූ කම්පාවක් ඇති විය. ඉන් ජීවිත 460ක් අහිමි වූ අතර 7733 දෙනෙක් තුවාල ලැබූහ. අවතැන් වූ පිරිස 417,259ක් වූහ. අගෝස්තු 19 දින ඇති වූ භූ කම්පාවෙන් ජීවිත 10ක් අහිමි විය. නැගෙනහිර ලොම්බොක්, බටහිර ලොම්බොක්, උතුරු ලොම්බොක්, බටහිර සුම්බාවා, සුම්බාවා බෙසාර්, බාලි, නැගෙනහිර ජාවා හා මක්සාර් වැනි ප්‍රදේශ මෙලෙස භූ කම්පනවලට ලක් වූ ප්‍රදේශ විය. 


ඉන්දුනීසියාව මුහුණපෑ දරුණුතම භූ කම්පනය හා සුනාමිය ඇති වූයේ මින් වසර 14කට පෙර 2004දීය. ඉන් සුමාත්‍රා දූපතේ පමණක් ජීවිත 120,000ක් පමණ අහිමි විණි. එම සුනාමිය ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියානු සාගර කලාපයට ද මහත් ව්‍යසනයක් සිදු කළ අතර ජීවිත 230,000ක් උදුරා ගත්තේය. 

 


දූපත් සමූහයකින් සැදුම් ලත් ගිනිකොනදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව නිතර භූ කම්පන හා සුනාමි ව්‍යසනයට ගොදුරු වන රාජ්‍යයකි. ඊට ප්‍රධාන සාධකය වනුයේ එය පැසිෆික්, යුරේෂියානු, ඉන්දු-ඕස්ට්‍රේලියානු මහාද්වීපික භූ තැටිවලට හා සුළු වශයෙන් පිලිපීන භූ තැටිය මායිමේ පිහිටා තිබීමය. එමෙන්ම එය පැසිෆික් ගිනිවළල්ල නැතිනම් පරි පැසිෆික් කලාපය (පැසිෆික් රිං ඔෆ් ෆයර්) නමින් හැඳින්වෙන භූ කම්පා හා ගිනිකඳු පිපිරීම්වලින් 90%ක් පමණ සිදුවන කලාපය ආසන්නයේ පිහිටා තිබෙන්නකි. මෙම කලාපයේ ගිනිකඳු 450ක් පවතින අතර, එය දකුණු ඇමෙරිකාවේ දකුණු තුඩුවේ සිට උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළ දක්වාද, ජපානය හා නවසීලන්තය දක්වාද කිලෝමීටර 40,000ක් පමණ දුරට අශ්ව ලාඩමක හැඩයට පැතිර තිබේ. 


පැසිෆික් ගිනිවළල්ල නිර්මාණය වූයේ භූ තැටි චලනය වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. භූ තැටි චලනය සිව් අයුරකින් සිදුවේ. ඉන් එක් ආකාරයක් වනුයේ අභිසරණ තැටි මායිමේ සිදුවන චලනයයි. මෙහිදී එක් සාගරික භූ තැටියක් හා මහාද්වීපික භූ තැටියක් සමඟ ගැටීමක් සිදුවේ. ගැටීම හේතුවෙන් බරින් වැඩි සාගරික භූ තැටිය සාගරය පතුළට කිඳා බසී. එය කිඳා බසිනුයේ මහාද්වීපික භූ තැටිය අභ්‍යන්තරයටය. එය පෘථිවියේ මැන්ටලය නොහොත් ප්‍රාවරණය දක්වා කිඳා බසියි. ප්‍රාවරණයේ උෂ්ණත්වය ඉතා ඉහළ අගයක පවතී. එම උෂ්ණත්වයට හසුවන සාගරික භූ තැටිය දියවීමෙන් මැග්මා නොහොත් ආග්නේය පාෂාණ බවට පත් වේ. සාගරික භූ තැටිය සාගර පත්ලට කිඳා බැසුණු ස්ථානයේ විශාල ආගාධයක් නිර්මාණය වේ. එම ආගාධය හේතුවෙන් සාගරය තුළ දැඩි පීඩනයක් ඇති ​ෙවන අතර වෙරළ ප්‍රදේශයේ ඇති ජලය ආගාධය දෙසට ඇද ගනී. 2004 වසරේ සුනාමිය ඇති වීමට පෙර වෙරළාසන්නයේ මුහුදු ජලය ගැඹුරු මුහුද දෙසට ඇදී ගියේ මෙම ක්‍රියාවලිය හේතුවෙනි. එලෙස ඇදගන්නා ජලය යළි සුනාමියක් ලෙස ගොඩ බිමට කඩා වදී. 


ප්‍රාවරණය දක්වා ගමන් කළ සාගරික භූ තැටිය දියවීමෙන් නිර්මාණය වූ මැග්මාවලින් ඉහත සඳහන් කළ ආගාධය පිරී යන අතර පසුව එය ගිනි කන්දක් බවට පත් වී ලාවා ලෙසින් මතුපිටට ගලා එයි. මෙම ලාවා සිසිල් වීමෙන් නව දූපත් නිර්මාණය වෙයි. ජපානය, ඉන්දුනීසියාව සහ කැරිබියානු දූපත් එලෙස නිර්මාණය වූ දූපත්ය. මෙම දූපත්හි සක්‍රීය ගිනිකඳු නිර්මාණය වන අතර ඉන්දුනීසියාවේ සිදුවන භූ කම්පන හා සුනාමිවලට මෙම ගිනිකඳුවල ක්‍රියාකාරකම් නිරතුරු බලපානු ලබයි. 


පසුගිය 03 දා සුලවෙයි දූපතේ පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රිය විය. මීටර් 4000 පමණ උසට ඉන් නැඟුණු දුමාරය පැතිර යන අතර කුමන අවස්ථාවක හෝ ලාවා පිටතට ගලා එනු ඇතැයි විශ්වාස කෙරේ.

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා