(සුජිත් හේවාජුලිගේ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව වයස අවුරුදු දොළහක දැරියකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය බාර වෛද්‍යවරයා සහ එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති මෙම දැරිය එම වෛද්‍යවරයාගේ දියණියක බවද ඇය සඳහන් කළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අද (26) ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵල මත අදාල වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කීවාය.
පුත්තලමේ එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙවැනි නීති විරෝධී හා සදාචාර විරෝධී සිද්ධියක් සිදුවීම ගැන තමා කනගාටුවන බවත් මෙවැනි සිදුවීම් ඉදිරියටද සිදුවීම වැළැක්වීම සඳහා තමා විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් වෛද්‍ය දිනූෂා පුනාන්දු මහත්මිය පැවසුවාය.
මේ අනුව එන්නත්කරණ කටයුතුවල යෙදෙන පුත්තලමේ සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් 28 සිදුකිරීමට කටයුතු යොදා ඇතැයිද ඇය සඳහන් කළාය.
මේ සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ සී.සී.ටී.වී කැමරාවේ සටහන් වී ඇති දර්ශනද පරීක්ෂාවට ලක් කර ඇත.
එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයාගේ දියණිය එහි සිටි පොලිස් හා හමුදා නිලධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවතට ඉවතට යවනු ලැබූ අවස්ථාවේදී චෝදනාවට ලක්ව සිටින පවුල් සෞඛ්‍ය සේවිකාව ඇය නැවතත් කැඳවාගෙන විත් එන්නත ලබා දෙන ආකාරය එම සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙන බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
චෝදනා ලබා සිටින වෛද්‍යවරයාගෙන්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කරුණු විමසා ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් එහිදී කිසිදු ප්‍රකාශයක් කර නැත.
අධ්‍යක්ෂවරිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කළ අවස්ථාවේදී වෛද්‍යවරයා " මැඩම් මට සමාවෙන්න" යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
වෛද්‍යවරයා කුමන මානසිකත්වයකින් දියණියට එන්නත ලබා දුන්නාදැයි තමාට ප්‍රහේලිකාවක් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවාය.
මෙම චෝදනාවට ලක්වූ වෛද්‍යවරයා හලාවත කොක්කාවිල රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බව පැවසේ.
කෙසේ වෙතත් සිද්ධියවන අවස්ථාවේදී එම වෛද්‍යවරයා එන්නත්කරණ මධ්‍යස්ථානයේ සිට නැති බවත් ඔහු ඒ අවස්ථාවේදී සිට ඇත්තේ ඊට නුදුරින් වූ වෙනත් එන්නත්කරණ මධ්‍යස්ථානයක බවත් වාර්තා වේ.
චෝදනාවට ලක් වූ වෛද්‍යවරයාගේ දියණියට ලබාදී ඇත්තේ ෆයිසර් වර්ගයේ එන්නත් මාත්‍රාවක්ය.
මේ අතර කොක්කාවිල එන්නත්කරණ මධ්‍යස්ථානයට පිට පළාත්වලින් පැමිණි අයට එන්නත ලබා දුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම මධ්‍යස්ථානය අසල උද්ඝෝෂණයක යෙදීම නිසා එහි නොසන්සුන් තත්වයක් ඊයේ (25) ඇතිවිය.
කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් අනුමැතිය ලබා දී ඇත්තේ වයස 18ට වැඩි පුද්ගලයන්ට පමණි.

COMMENTS
මේක නම් ඒ තරම් දුරට ඇදගෙන යන්න ඕන ගැටළුවක් නොවෙයි
තමන්ගෙ දරුවට පමනයි' නොදැක්ක වගේ ඉන්න.
මොන මෝඩ මිනිස්සුද, ඔවුන්ට එය කිරීමට අවශ්‍ය නම් එය නිසි ආකාරයෙන් සිදු කරන්න.
එන්නත ගත්ත එක නෙමෙයි ,ගත්ත ක්‍රමයයි වැරදි . යුරෝපයෙ සහ මැදපෙරදිග ගොඩාක් රටවල් වල අඅවුරුදු 12 ඉහල ළමයින්ට ෆයිසර් එන්නත අනුමත කරලා තියෙන්නේ. රටේ ඉහල අය ඉඳන් පහළ අය දක්වා ඉන්න මෙවැනි අය නිසා තමයි අපේ රටට හොඳ ක්‍රමයක් හදාගන්න බැරි . බලය තියෙන කෙනා පුළුවන් විදියට එය අයුතු ලෙස පාවිච්චි කරනවා.
හමුදාව එන්නත් ක්‍රියාවලියෙන් ඉවත් කොට, දොස්තරලා අතට පත්කර ගන්න උත්සහ දරන්නේ මෙන්න මෙවැනි දුෂිත දේවල් සිදුකිරීමට තමයි. ආයේ අහන්න දෙයක් නැහැ, ඔය දොස්තරත් අර මාෆියා කල්ලියේ සාමාජිකයෙක් වෙන්න ඇති.
GMOA එකට බාරදුන්නනම් මේ වගේ වැරදි වැඩ වෙන්නේ නැහැ ෙන්.
මගේ පවුලේ කට්ටිය බේරිලා අනිත් හැමෝම මැරිලා ගියත් කමක් නැහැ කියලා හිතන මේ වගේ අය නිසා සුව විරුවොත් අපහසුතාවට පත් වෙනවා.
ලොකු මිනිස්සු වැරදි කලාම දෙන ලොකුම දඬුවම. ගෙදරට ලඟම තැනකට ස්ථාන මාරුව දෙන්න.
මෙතන පොලිස් නිලධාරියකුත් ඉන්නව නෙද ?
මේ වගේ වයසේ ළමයින්ට යුරෝපයේ ෆයිසර් එන්නත දෙනවා. ඉතින් මේ වෙලාවේ තමාගේම දුවට එන්නත දෙන්න මෙම වෛද්‍යවරයා ගත් උත්සාහය ගැන පරීක්ෂණ පවත්වන එක අකාරුණික සහ අමනෝඥ දෙයක් ලෙසයි මම දකින්නේ.
මේ අවුරුදු 12 ලමයාට විතරක් නෙවෙයිනේ ,තවත් නන්නාඳුනන ගොඩකට එන්නත් දීලනෙ, ඒක වහන්න දැන් අවුරුදු 12 ලමයෙක් විතරක් පෙන්නනවා .මේ ලමයා එන්නත් ගත්ත එක්කෙනෙක් විතරයි .මේ ක්‍රියාව සසම්පූර්ණයෙන්ම වැරදියි .මීට කලිනුත් GMOA එකේ දොස්තරලා අත්තනෝමතිකව මෙහෙම කලා , අනෙක් සෞඛ්‍ය සේවකයන් ඉදිද්දි තමන්ගේ පවුලේ අයට විතරක් එන්නත් ගැගැහුවා ..මේ ගැන අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කරන්න ඕනෙ
දෙමාපියන්ගෙන් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවදානමට ලක්ව සිටින වෛද්‍ය නිලධාරින්ගේ සියලුම සමීප සම්බන්ධතා වලට අපි එන්නත් ලබා දිය යුතුයි.
මොකටද ස්ථාන මාරු . වැඩ තහනම් කරන්න
දැන් සේරම හරි කරපු වරදට මතක හිටින දඩුවම ස්ථාන මාරු,අනේ මෙහෙමත් රටක්
ලංකාව හැම වෙලාවේම ප්‍රමාදයි, ජර්මනිය වසර 12 සිට අවුරුදු 17 දක්වා එන්නත ආරම්භ කර ඇත. දරුවන්ට පාසල් යන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රමාද වූ තොරතුරු. මේ කාරණය සඳහා යමක් කළ යුතුයි.
ඕකට තමා කලින් ඉදන්ම දැගලුවේ. යුද හමුදාව එන්නත් දෙන එකට විරුද්ධව.
ආචාර්ය දිනුෂා ප්‍රනාන්දු (ඩී.ඩී.එච්.එස් පුත්තලම) කෙරෙහි අවධානය යොමු කරන්න, සමස්ත දේශපාලනඥයින් වැරදි දේ කර ආරක්ෂිතව සිටින විට ඒවා නිවැරදි කිරීමට කිසිවෙකු නැත. රාජපක්ෂ පවුල හමුවීමට ඔබට පැය 24 න් පසු පී.සී.ආර් සහ පැය 1 න් ප්‍රතිදේහජනක පරීක්‍ෂණය අවශ්‍යයි, ඔබ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛතාවයෙන් සෞඛ්‍ය සේවක පවුලට එන්නත ලබා දීම නැවැත්වීමට හේතුව. වෛද්‍යවරුන්ගේ පවුලට ප්‍රවෘත්ති පත්‍ර වල විවේචනය කරනවාට වඩා එන්නත් ලබා දිය යුතුය. මෙම වැරදි නිවැරදි කරන්න, නමුත් වැරදි උපදෙස් පිළිපදින්න එපා. වෛද්‍යවරයා කළ දෙය නම් ඇත්ත වශයෙන්ම සියළුම සෞඛ්‍ය සේවකයින්ගේ පවුල කිසිවෙකුටත් පෙර එන්නත ලබා දීම නිවැරදි ය. විශේෂයෙන් දේශපාලනඥයින් සහ විරෝධතාකරුවන්ගේ පවුල්. මෙය තේරුම් ගත හැක්කේ අසමත් මිනිසුන්ට පමණි
රටේ කොන්ද පන තියෙන නායකයෙක් ඉන්නවානම් දැන්ම ජොබ් එකෙන් ඇයින්කරන්න ඕන.
පෙන්නන්නේ ඔය සේවකයෝ දෙවිවරු කියලා.
ගෙනාපු එන්නත් ඔක්කොම පිලිවෙලකටද විද්දේ ? තැනින් තැන කෙරුණ අසම්පුර්ණ ක්‍රියාවලියක් . මේ රටේ වෙන දුෂණ ක්‍රියා , වෙච්ච දුෂණ ක්‍රියා යට යද්දී , මේ වයිරසයෙන් බේරෙන්න , විශේෂයෙන් දොස්තර මහතෙකුගේ ගෙදර , මොකද දොස්තර ඉන්නේ කොරෝනා ලෙඩ්ඩු එක්ක, ඉතින් ඒ ගෙදරම තියෙන්නේ අවදානකම , හැදුනොත් ගෙදරම ඉවරයි . එතකොට මෙච්චර දුෂිත රටක වෙන නීතිවිරෝදී වැඩ සාමාන්‍ය නම් මේක මොකද්ද ? දැනට එන්නත්කරණය සාදාරන විදියටද කරලා තියෙන්නේ ? ඉස්පිරිතාල වල වැඩ කරන අයට ගෙදර එන්න බැරුවයි ඉන්නේ පවුලේ සාමාජිකයන් බේරා ගන්න ඕන නිසා.
සෞඛ්‍ය සේවයේ අයගේ පවුලේ සියලු අයට එන්නත් දෙන්න ඕන. ඒ අය ඉන්න අවදානම තේරුම් ගන්න.
මාරු කරල මදි. රාජ්‍ය නිළදාරින්ගේ විනය පාලනය කරන්නෙ ආයතන සංග්‍රහයේ විදිවිධාන අනුවය. ඒ අනුව ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVll පරි 1:5;සහ වරදවල් පිලිඹද පළමුවන උපලේඛණයේ (7) (8) (10) යටතේ ඇති වරදවල් කලබව ඉතාම පැහැදිලිව ඇත ඒ අනුව නොපමාව මූලික විමර්ශනයක් සිදුකර විනය පියවරක් ගත යුතුයි
හැමදාමත් අපි සිස්ටම් චේන්ජ් එකක් ගැන කතාකර කර ඉමු...
මේක ලොකු වැරැද්දක් නෙවෙයිනේ. මොකටද මේක අල්ලාගෙන දගලන්නේ.?
රටකට වෙන විශාලතම විනාශය තමයි එහි සදාචාරය පිරිහිම... බලය ඇත්තන්ට එක විදිහකටත්....ඇති හැකි ඇත්තන්ට අමුතුම විදිහකටත්.....නැති බැරි මිනිහට තව විදිහකටත් ක්‍රියා කරන්න ගියොත් එවැනි රටක් වැටෙන්නෙ අන්තිම පහල තැනකට...මොන තරම් හේතු කාරනා තිබුනත් මේ දේවල් සමාජය පිලිකුල් කරන සිද්දීන්...මෙහෙම ගිහින් හැමෝම බලය අතට ගත්තොත් මේ රටට යන කල දසාව මොකක්ද...? මේව උඩ ඉදන් හැදෙන්න ඕන දේවල්.....
කොන්ද පණනැති පරිපාලනයක්... රටේ නීතියට විරුද්ධව වැඩකළා නම් විනය පරීක්ෂණයක් කරලා මතක හිටින්න දඬුවමක් දෙන්න පුළුවන් කෙනෙක් නැති හැටි...
දැනටමත් පාසැල් සිසුන් තුන් දෙනෙක් මිය ගොස් තිබේ .දොස්තර තුමා කල දෙය හරි .බලධාරීන් ගේ ඇස් ඇරේවි මේ ක්‍රියාව නිසා වත් .දැන්වත් 12 ට වැඩි යට ෆයිසර් එන්නත වෙන් කර දෙන්න පටන් ගන්න .දැනටත් ප්‍රමාධයි .රජයේ විභාග (උසස් පෙළ )නියමිත නිසා කල යුතුමය
දොස්තරවරු වැරදී .රට වහන්න කිය කියා අපිට බන කියනවා
යුද්ධය කාලේ හමුදාවේ අයට, පවුල්වල අයට ඕනෑම පෝලිමක මුල් තැන අපි දුන්නා... බැංකු, රෝහල් ඕනතැනක දැන් මේ කොරෝනා යුද්දේ අපේ ආරක්ෂකයින්, වෛද්‍යවරුන් ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයින්.. අපි ඔවුන්ගේ පවුල් වල අයට මුල් තැන දෙන්න ඕනෑ තමයි.. පුදුම මිනිස්සු... මේ අයට බෙහෙත් කරන්නවත් හොඳ නැහැ හරි නම්... මේ කාලේ වයසක දෙමව්පියන්, පොඩි දරුවන් ඉන්න වෛද්‍ය වරයෙක් ගෙදර එන්නේ මිදුලේ ඉඳන් නාලා පාන්දරට පවා.. ළමයින්ගෙන් ඈත්වෙලා ඉන්නේ බයට පුදුම දුකක් විඳින්නේ... ඔය ප්ලාස්ටික් ඇඳුම් ඇඳගෙන දවසම.. මේ මිනිස්සුන්ට කිසිම හිතක්, පපුවක් නැහැ.. කුහකකම පිරිලා සහෝදරයෙක්, වෛද්‍යවරයෙක් නිසා මම දන්නවා මේකේ අමාරුව, එම කැපකිරීම් හැමෝටම කරන්න බැහැ ...
දොස්තරවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය ලොකු ජීවිත අවදානමක් ගන්නවා තමන්ගේ ජීවිතය වගේම පවුලේ අය ජීවිත සම්බන්ධයෙන්. ඒ නිසා එවැනි කෙනෙක් දරුවාට එන්නත විද ගැනීමේ කිසිම වරදක් නැහැ. රෝහල් සේවයට සමිබන්ධ නොවන කෙනෙක් කරා නම් තමයි වැරදි.
නායකයින් ජනතාවගේ අනුමැතිය නැතිව ලාබාල දරුවන්ට ඇමතිකම් දෙනවා නම් වෛද්‍යවරයා තම දියණියට එන්නත දීම ප්‍රශ්නයක්ද?
මමනම් කියන්නේ දිවි පරදුවට තබා කොවිඩ් රෝගීන් වෙනුවෙන් සේවය කරන අවදානම් පවුල්වල සියලුදෙනාම මෙතෙක් එන්නත් නොකළ රජයට දඬුවම් දිය යුතුයි
මා මෙහි වරදක් දකින්නේ නැහැ.
කොළඹ දොස්තරලට කතා කරලම දුන්න නේද?