(ශාන්ත චන්ද්‍රසිරි)
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට තහනම් මාර්ග භාවිත කර ඇතුළුවීම, ගිනිදැල්විය හැකි උපකරණ රැගෙන යාම හා සතුන් බෝවෙන ස්ථානයකට බාධාවක් ඇතිවන ලෙස හැසිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගත් ලද පුද්ගලයන් තිදෙනෙකුට, එක් අයෙකුට රුපියල් 60,000 ක් බැඟින් දඩ මුදලක් ‍ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (19) නියෝග කළේය.
 
මෙලෙස දඩ නියමවුයේ මීරිගම, වෑබඩ හා හෙවනකුඹුර යන ප්‍රදේශයන්ගේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකුටය.

මේ අතර, හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධීව ගිනි දැල්විය හැකි උපකරණ ගෙන යාමේ චෝදනාවට  වරද පිළිගන්නා ලද තවත් පුද්ගලයෙකුට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මෙලෙස දඩ නියමවූයේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.
 
ගිනි දැල්වීමේ උපකරණ  රහසිගත ලෙස රැගෙන ගොස් හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ තබාගෙන සිටියදී වනෝද්‍යාන නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර, සහකාර භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව නියාමකවරුන්වන රුක්ෂාන්, ධාරක ලක්මාල්, ප්‍රියදර්ශන, ශෙහාන්, අඩවි ආරක්ෂක ජයරත්න, කේෂ්ත්‍ර සහායක සම්පත් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිපත් කර තිබිණි.