(නිමන්ති රණසිංහ)

හිටපු සතොස සාමාන්‍යාධිකාරි විමල් පෙරේරා මහතාට වසරක ලිහිල් සිරදඬුවමක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියම කළාය.

ආනයනය කරන ලද සුදු සහල් මෙට්‍රික් ටොන් 1000 ක් මිල දර්ශකයේ මිලට වඩා අඩුවෙන් විකුණා රුපියල් මිලියන 4 ක පාඩුවක් කළැයි අල්ලස් දුෂණ විමර්ශන කොමිසම ගොනු කළ නඩුවට අදාළව එලෙස සිරදඬුවම් නියම විය.

එසේම රුපියල් 50,000 ක දඩයක් ද නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස 6 ක සිරදඬුවමක් ලබාදෙන ලෙස ද නියම කළේය.

මෙම චුදිතයා කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාරිවරයකු මෙන්ම වරලත් ගණකාධිකාරිවරයකු ලෙසත් ශ්‍රී ලංකා රාජ්‍ය විනිසුරු මණ්ඩලයේ විනිසුරුවරයකු ලෙසත් කටයුතු කරන බව අධිකරණයේ දී කරුණු අනාවරණය වී තිබේ.

අධිකරණය මගින් නිකුත් කළ එකී නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරිමට තීරණය කර ඇතැයි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා නඩුව අවසානයේ අධිකරණයේ කරනු ලැබූ ඉල්ලිමකට අනුව චුදිතව රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.