(ඩයනා උදයංගනී)
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් එහි නායක, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවැත්විණි.
ලිබරල් පක්‍ෂය, ජනතා අරුණලු පක්‍ෂය, නව සිහල උරුමය, එක්සත් ලංකා පොදුජන පක්‍ෂය, ජාතික පෙරමුණ, මුස්ලිම් උලමා පක්‍ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ශ්‍රී ටෙලෝ පක්‍ෂය, ලංකා ජනතා ජාතික පක්‍ෂය, එක්සත් ලංකා ජනතා පක්‍ෂය, කම්කරු විමුක්ති පෙරමුණ, එක්සත් ලංකා මහා සභාව, නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ, ඉන්දියානු සම්භවයක් ඇති මහජන පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, මව්බිම ජාතික පෙරමුණ, එක්සත් කොංග්‍රසය, අපේ ජන උරුමය, ප්‍රගතිශීලී ජනතා සේවක පක්‍ෂය, හෙලබිම ජනතා පක්‍ෂය, මව්බිම ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ජාතික මහජන පක්‍ෂය, එක්සත් ලංකා ජනබල පෙරමුණ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්‍ෂය, එක්සත් නිදහස් පක්‍ෂය, මහජන සංවර්ධන පක්‍ෂය, සමාජ සංවර්ධන පක්‍ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ යන පක්‍ෂවල නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.
එම සාකච්ඡාවට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතුවීමට කැමැත්තෙන් සිටින සහෝදර දේශපාලන පක්ෂ කිහිපයකට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කළ බවය.
ඉදිරි මැතිවරණයකදී තරඟ කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැගූ පැනයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ළඟදි මැතිවරණයක් නොමැති බැවින් දැන්ම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර නැති බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂ එක්කරගෙන ඉදිරියේදී කටයුතු කිරීමට අප බලාපොරොත්තු වන බවය.
ඉදිරි ඕනෑම මැතිවරණයකදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ගන්නා තීන්දු අනුව කටයුතු කරන බව කී අමරවීර මහතා ඕනෑම මැතිවරණයක් සඳහා සූදානම් බවද පැවසීය. අපි
ජනතාව ආණ්ඩුව ගැන කලකිරී සිටින දන්නේ යැයි කී ඇමතිවරයා ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එරෙහිව යම් යම් ප්‍රකාශ කළත් ආණ්ඩුවේ නායකයන්ගෙන් එවැනි චෝදනා නැති නිසා යටිතලයේ අය කියන දේ ගැන තැකීමක් කරන්නේ නැතැයි ද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපි ඡන්ද 17,10,000ක් සමඟ රජයට එක්වුණේ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තබා බවත්, ඉදිරි තත්වය අනුව අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු ගන්නා බවත් හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, පක්‍ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.