දිලංගා ගෝමස්)

කොවිඩ් තත්වයක් සමග රට තුළ ඇති වී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගික ජනතාවට හිඟ විදුලි බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මාස 24 ක සහන කාලයක් දීමට කටයුතු කරන වන බව අද (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

හිඟ විදුලි බිල්පත් මාසික වාරික වශයෙන් ගෙවීමේදී ඒ සඳහා සුළු පොලියක් අය කරගැනීමට බලාපොරොත්තු වන බවද ඉදිරි දිනවලදී ඒ සඳහා අය කර ගන්නා පොළී මුදල පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් තත්වයක් සමග විදුලිබල මණ්ඩලයට ගත වූ මාස දෙකක කාලය තුළ රුපියල් බිලියන හතලිස් හතරක මුදලක් අය විය යුතුව ඇති අතර විදුලි බිල්පත ගෙවීමට හැකි ජනතාව පවා විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය දැඩි අපහසුතාවකට පත්වී ඇතැයි අමාත්‍ය වරයා පැවසීය. 

මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ගල් අඟුරු බලාගාර ඇති කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමකින් තොරව ජනතාවට විදුලිය ලබා දීමට කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව වර්ෂ 2030 වනවිට පරිසර හිතකාමී අයුරින් සූර්ය බලය හා සුළං බලය යොදාගනිමින් විදුලිය නිපදවීම සියයට හැත්තෑවකින් වැඩි දියුණු කිරීමට මේ වන විට සැලසුම් කරමින් සිටින බව ද පැවසීය.