(අජන්ත කුමාර අගලකඩ )

වෙළෙඳපොළේ සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ අතර වැඩිමිලට අලෙවි කිරීමට අතරමැදියන් වී තොග රැස්කර ඇත්නම් ඒවා රජය මගින් කිලෝව රුපියල් 50 බැගින් මිලදී ගෙන සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට ද  කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර  වෙළෙඳපොළේ සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන්  සාකච්ඡා වී ඇත.

සහල්මිල අනවශ්‍ය ලෙස ඉහළ යන්නේ නම් වෙළෙඳ ඇමැතිවරයාත් කෘෂිකර්ම ඇමැතිවරයාත් ඒ පිළිබඳව සාකච්ඡාකර වැඩපිළිවෙළක් සකස්කරන්නැයි ද  ජනාධිපතිවරයා එහිදි උපදෙස් දී ඇත.