(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් පපුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාසයේ 2 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය.
තුවාල ලද සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මහරගම ඇරැව්වල සමගි මාවතේ පදිංචි තුවාල ලද සිසුවා ඔහුගේ සහෝදරයා හා මිතුරන් කිහිපදෙනකු සමග ධර්මපාල ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට ඇති අතර බෝලය ක්‍රීඩාංගණයට යාබද සැකකරුගේ වත්තට ගොස් තිබූ බව පොලිසිය කියයි. සෙල්ලම් කරමින් සිටි කිහිප දෙනෙකු වත්ත අසලට ගොස් බෝලය ඉල්ලා ඇති අතර එහිදී සැකකාර වෛද්‍යවරයා එම පිරිසට බැණ වැදී නිවස තුළට ගොස් වායු රයිෆලය රැගෙනවිත් ඔවුන් දෙසට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මෙම සිසුවා මිතුරකු සමග ක්‍රීඩාංගනයේ තාප්පය මත ඉඳගෙන සිට ඇති අතර ඔහුගේ පපු ප්‍රදේශයට එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකාර වෛද්‍යවරයා නැවතත් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමේ දී ඔහු වෙත කඩා වැදුණු සෙල්ලම් කරමින් සිටි සෙසු තරුණයන් වෛද්‍යවරයා අත දරා සිටි වායු රයිපලය උදුරාගෙන දෙකට කඩා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
තුවාල වූ සිසුවාට ශල්‍යකර්මයකට ලක් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
''මානව හිතවාදී,ඒ වගේම මානව දයාවෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් ඉන්න මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙකු අතින් මේ වගේ විශාල වරදක් සිදු වීම ගැන එම රෝහලේ ප්‍රධානියා විදියට වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් සමාව අයදිනවා'' යයි මහරගම අපේක්ෂා රෝහල විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.
මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
දොස්තරගේ වැරැද්දක් නැහැ. හරිනම් තුවක්කුව කැඩීම ගැන එම මැරයින් අත්අඩංගුවට ගන්න ඕනේ...
තුන්ලෝකෙට වැඩකාරයෝ අපි බව නොදන්නේද..? ඕන එකෙක් අපේ අණට දණ නමනවා නොවේද...? සංගමයම හෙට අනිද්දා වැඩ වර්ජන නොවේද...? අපට ඕනා මුළු ලෝකෙම අපේ යටට නොවේද ...?
දෙවිවරුන්වන් වෛද්‍යවරුන් අතර නිසි විනයක් නැති, කිසිඳු හික්මීමක් නැති තකතීරුවන්ද, දැන් පෙර කළ කී දේ අමතක, අසාධාරණය ඉදිරියේ වලිගය හංගාගෙන සිටින, හැම මගුලටම පෙරදී වර්ජන කළ දොස්තරලා වෙසින් සිටි කොන්දොස්තරලාද මෙවන් ගණයට අයිති බව පෙනේ...
ඉවසීමෙන් සැනසීම කියලා කියන්නේ මේ වගේ තැන්වලට තමයි. පව් දෙන්නම සමහරවිට කොලුකමට ගණන්කාර පාට් එකක් දමන්න ඇති. දොස්තර මහත්තයත් දවසේ වැඩ ඉවර කරලා මහන්සියෙන් ඉන්න ඇති...
කවදාවත් පන්සලක් පාසැලක් අසල ඉඩම් ගන්න එපා. ගෙවල් හදන්නත් එපා. මගේ නංගිත් දොස්තර කෙනෙක්. එයාගේ වහලට ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එකේ ලෙදර් බෝල වැටිලා ශීට් කැඩෙනවා. නඩු කියලා නතර කර ගත්තා ලොකු මිනිස්සු ඇවිත් ක්‍රිකට් ගහන එක. පන්සල අනික් පැත්තෙන්, උදේ හවා ඇහෙන්නේ ග්‍රහ අපල, අනවින කොඩිවින බන්දන කපන කවි, දේව යාතිකා සිංහලෙන්, හා පාලි කවි. එක සැරයක් මේ ගැන කතා වෙලා, මමත් ඉන්න තැන එක අසල්වැසි මනුස්සයෙක් කිව්වා, මට නිකන් ඇඳේ ඉඳන් අහන් ඉන්නකොට තේරෙන්නේ හරියට දානේ ගෙනාපු අයට හාමුදුරුවෝ වඳිනවා වගේ නේද කියලා. ඒ තරමට දානේ ගෙනාපු අයගේ හත් මුතු පරම්පරාවම වර්ණනා කරනවා. සියලුම මළගිය මිනිස්සු, පිටරට ඉන්න අයට පැයක් විතර ඉස්පීකර් දාගෙන මහා හයියෙන් පින් දෙනවා. එක පදයක් සිංහලෙන් කියන - "වඳින පුදන මට සැපම ලැබේවා". මේවා බුදු දහමද මන්දා. දැන් මේ කාලේ කිරි ආහාර පුජාව කියල එකක් පටන් අරගෙන උදේ 5.30 ඉඳල කනක ඇහිලා ඉන්න විදියක් නෑ. එකම දේ පැයක් විතර කියවනවා.
මේ දොස්තරට නමක් නැද්ද . ප්‍රතිකාර ගන්න අයට දෙවියන්ගේම පිහිටයි . අපේක්ෂා රෝහලේ ඉන්න දොස්තරලා ගැන අපිට පුදුම බක්තියක් තිබුනේ. මේ වගේ උගත් දොස්තර කෙනෙක් පාසැල් සිසුවාට කරපු දේ වැරදි .
මේ විශ්ව විද්‍යාල පද්ධතියේ තිබෙන විශාලම අඩුවක් තමයි සාරධර්ම සංවර්ධනයක් නැතිකම... පාසලින් සරසවියට යන ඉතාම කීකරු විනයගරුක සිසුන් පවා විප්ලවවාදී අලුගෝසු තත්වයට පත්වෙනවා.
දොස්තර කරපු වැඩේ කුජීතයි, අනුමත කරන්නෙම නැහැ. පාසලක්, පල්ලියක්, මුස්ලිම් පල්ලියක්, පන්සලක් ළඟ ගෙයක් තියෙනවා කියන්නේ ජීවිතේම ඉවරයි.