(නිමල කොඩිතුවක්කු)

කැස්බෑව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩපාත, ජබුරලිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක නීතියෙන් තහනම් කරන ලද සැෂේ පැකට් නිෂ්පාදනය කරද්දී  මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද(22) වටලනු ලැබීය.

නිෂ්පාදනය කරතිබූ සැෂේ පැකට් 3,000ක පමණ ප්‍රමාණයක් අදාළ කර්මාන්ත ශාලාවේ තිබී හමුවූ බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය.

අදාළ කර්මාන්ත ශාලාව විසින් මේවනවිට වෙළෙඳපොළට නිකුත් කරනු ලැබ ඇති සියලු සැෂේ පැකට් නැවත හැකි ඉක්මනින් වෙළෙඳ පොළෙන් ඉවත් කරගන්නා ලෙස ඔවුනට දැනුම් දුන් බවත් ජයසිංහ මහතා පැවසීය.

මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය. නීතියෙන් තහනම් කරන ලද සැෂේ පැකට් නිෂ්පාදනය කරන ආයතන වලට එරෙහිව ඉදිරියේදි තවදුරටත් වැටලීම් සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.