IMG-LOGO

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දූෂණ වංචා රැසක් එළියට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම් වැඩසටහන්  පටිගත කිරීම සඳහා  ශ්‍රී ලංකා රූපවාහිනී  සංස්ථාවට රුපියල් කෝටි 21 ට වැඩි මුදලක්  ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව)  එම මණ්ඩලයේ ප්‍රධානීන්ගෙන් ඊයේ (10) ප්‍රශ්න කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීමේ වැඩසටහන් සඳහා රුපියල් කෝටි 3 ක වියදමින් ඉදි කළ චිත්‍රාගාරය 2015 සිට මේ දක්වා භාවිතයට නොගැනීම සම්බන්ධයෙන්ද එම කමිටුවේදී ප්‍රශ්න කෙරිණ.

කෝප් කමිටු ප්‍රධානීන්  මේ කරුණු  පිළිබඳව ප්‍රශ්න කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා  ‍පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදීය.

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල විසින් කලින් කලට ගනු ලබන තීරණ නිසා රාජ්‍ය මුදල් වලට විශාල ව්‍යසනයක් සිදුවන බව   කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී  පැවසීය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව  සහන මිලකට පටිගත කිරීම් සිදු කරන බැවින් මණ්ඩලයට වෙනම චිත්‍රාගාරයක් අනවශ්‍ය බවත් එම චිත්‍රාගාරය ශ්‍රවණාගාරයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් සංවර්ධන ලොතරයි මණ්ඩලයේ ප්‍රධානීහු   මෙහිදී පෙන්වා දුන්හ.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පැවසුවේ  එක් එක් සභාපතිවරුන් හෝ අධ්‍යක්ෂ මණ්ඩලවලට අවශ්‍ය පරිදි මෙවැනි ව්‍යාපෘතීන් ආරම්භ කිරීම මගින් විශාල මුදලක් අවභාවිත වන බවයි.

එවැනි ව්‍යාපෘති විධිමත්ව සංයුක්ත සැලැස්මකට ඇතුළත් කර ක්‍රියාත්මක කළයුතු බවද  ඔහු කීවේය.

මේ පිළිබඳ විධිමත් වාර්තාවක් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කමිටුව වෙත එවන ලෙස කෝප් කමිටුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට  උපදෙස් දුන්නේය.

මෙයට අමතරව වොක්ෂෝල් වීදියේ අංක 234 දරන ගොඩනැගිල්ල කුලී පදනම මත මණ්ඩලය වෙත ලබා ගැනීම සඳහා එළඹ තිබූ ගිවිසුම සංවර්ධන ලොතරැයි මණ්ඩලය  ඒක පාර්ශවිකව කඩ කිරීම නිසා මණ්ඩලයට අය විය යුතු රුපියල් පනස් හත් ලක්ෂයක මුදලක්  වර්ෂ 14ක් මුළුල්ලේ අය කරගෙන නොතිබීම  පිළිබඳවද  මෙහිදී සාකච්ඡා කෙරිණ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින අවස්ථාවේදී ඉහත සඳහන් ගොඩනැගිල්ල වෙළෙඳ අමාත්‍යාංශය  කුලී පදනම මත ලබාගෙන තිබූ බවත් සිය මණ්ඩලයට ගොඩනැගිල්ලක් අවශ්‍යව තිබූ බැවින් උක්ත ගොඩනැගිල්ල ලබා ගන්නා ලෙස අමාත්‍යාංශය දැනුම් දී තිබූ බවත් එහි ප්‍රධානීහු  කමිටුව හමුවේ පැවසූහ.

ඒ අනුව අමාත්‍යාංශයේ අතුරු බදු දීම යටතේ මෙම ගොඩනැගිල්ල සමග ගිවිසුම් අත්සන් කළ බවද නිලධාරීහු සඳහන් කළහ.

මෙම ගොඩනැගිල්ල මණ්ඩලය  භාවිතයට ගැනීමේදී තවත් විශාල මුදලක් වැයවන නිසා එය අවලංගු කිරිම සිදු කළ බවත් ගොඩනැගිල්ල වෙනුවෙන් මූලික ගෙවීම් සිදු කරන ලද්දේ වෙළඳ අමාත්‍යාශය බවත් ඔවුහු පැවසූහ

රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය  අනුව සුදුසුකම් සපුරා නොතිබූ ප්‍රවාහන හිමිකම් නොමැති නිලධාරීන් 08 දෙනකු සඳහා නිල වාහන වෙන් කිරීම සහ ඉන්ධන  දීමනා වෙනුවෙන් 2017 සහ 2018 වර්ෂ වලදී රුපියල් 26 ලක්ෂයක පමණ  මුදලක් ගෙවීම පිලිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමුවිය.

මෙහිදි නිලධාරීන් සඳහන් කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින අවධියේදී ලබා දුන් අනුමැතියක් අනුව මෙම වාහන ලබා දී තිබූ බවයි.

මෙහිදී කෝප් සභාපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දුන්නේ මේ පිළිබඳ විධිමත් පරික්ෂණයක් සිදු කර අදාළ සියළු ලිපි ලේඛනද සහිතව වාර්තාවක් කමිටුව වෙත එවන ලෙසයි.

2008 වර්ෂයේදී විහන නියෝජිත ආයතනයකින් රුපියල් අසූ ලක්ෂයකට වැඩි  වටිනා කැබ් රථයක් මණ්ඩලයේ කිසිදු නිලධාරියකුගේ අනුමැතියකින් තොරව එවකට හිටපු සභාපතිවරයා විසින් භාරගෙන මණ්ඩලයේ නමට ලියාපදිංචි කරනු ලැබ තිබුණද  එදින සිටම එම වාහනය අස්ථානගත වී තිබීම සම්බන්ධයෙන් කොප් කමිටුව ප්‍රශ්න කළේය.

අදාළ වාහනය වෙනුවෙන් වාහන සමාගම වෙත මුදල් නොගෙවීම නිසා එම සමාගම විසින්  පවරන ලද නඩුවේ තීන්දුව අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය එම ආයතනයට එක්කෝටි හැට එක් ලක්ෂයක පමණ මුදලක්   ගෙවා  තිබිණැ යි කියති.මෙම නඩුව සඳහා මණ්ඩලය විසින් දරන ලද නීතිඥ වියදම් ඇතුළුව මුළු අලාභය රුපියල් දෙකෝටි හැට හය ලක්ෂයකි.

මෙහිදී මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව අදාළ අලාභය අය කර ගැනීම සඳහා සිවිල් නඩුවක් පවරා ඇති බවයි.  

මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන සරත් වීරසේකර,  මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය  නාලක ගොඩහේවා,මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජගත් පුෂ්පකුමාර,  චම්පික රණවක,  හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න,  මධුර විතානගේ,  ප්‍රෙම්නාත් සී දොලවත්ත යන මහත්වරු  සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීහු පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (2)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දූෂණ වංචා රැසක් එළියට

chandana Saturday, 12 March 2022 08:44 AM

ඔය කියන කැබ්එක වෙන්න ඇති ගම්පහ, බුත්පිටිය පැත්තේ හෙංචයියෙක් ළඟ තිබුණේ...

:       0       0

ජුණ්ඩප්පුවා Saturday, 12 March 2022 09:11 AM

ඊයේ ටී.වී. නිවුස් වලත් ගිය එකේ, බය නැතුව නමත් දාන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1719 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 569 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 659 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site