(ඩිල්ශානි චතුරිකා දාබරේ)

ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ, විශිෂ්ටම සාමාර්ථ ලබාගත් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බදවා ගැනීමේ හැකියාව පිළිබදව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට අද (02) උපදෙස් දුන්නේය.

විශ්වවිද්‍යාලවලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අරලියගහමන්දිරයේ දී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ අද පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව
සඳහන් කළේය.

සරසවි ප්‍රවේශය අහිමි වූ සිසුන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියත්මක කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී පැවසූ කරුණකට අදාලව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පැවසූයෙ, රජය ප්‍රතිපාදන ලබාදෙන්නේ නම් ඔවුන් බදවාගැනීමට තම විශ්වවිද්‍යාලයට හැකි බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් මෙවර වැඩිපුර බඳවාගත් සරසවි සිසුන් 10588 දෙනෙකුට සාපේක්ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාදෙන්නැයි ද එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එසේම, වසරේ දී විශ්වවිද්‍යාල සඳහා දරුවන් 41000 ක් බඳවාගෙන ඇතැයි පෙන්වා දුන්විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, 10588 ක් තරම් සිසුන් සංඛ්‍යාවක් මෙවර විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර බඳවා ගෙන ඇත්තේ නිදහසෙන් පසු පළමු වතාවට බව අනාවරණය කළේය.

බිලියන 5ක පමණ අමතර මුදලක් විශ්වවිද්‍යාල පද්ධතියේ භෞතික හා මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය වී ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැනට ලබාදෙන මුදල් ප්‍රතිපාදනවලට අමතරව මෙම අතිරේක මුදල් පියවරෙන් පියවර අදියර කිහිපයකින් විශ්වවිද්‍යාල පද්ධතියට මුදාහරින්නැයි උපදෙස් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධ ක්‍රමවේදය මහා භාණ්ඩාගාරය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව එක්ව සාකච්ඡා මාර්ගයෙන් තීන්දු කරගන්නැයි දන්වා සිටියේය.

 

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස්, අග්‍රාමාත්‍ය ලේකම්ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කේ. කපිල සී. කේ පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස් ඩී ජුඩ්නිලුක්ෂාන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් මහාචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහත්වරු සහ සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු මෙම හමුවට එක්ව සිටියහ.



(ඡායාරූප - අග්‍රාමාත්‍ය කාර්යාලය)