(සුජිත් හේවාජුලිගේ )

සයිනොපාම් එන්නත  ගත් පුද්ගලයන්ගෙන් සියයට 95කගේම ශරීරයන්හි  හොඳින්  ප්‍රතිශක්තිය ගොඩ නැංවෙන බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ  ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකදී  තොරතුරු අනාවරණය වී ඇත .

එසේම ඩෙල්ටා සහ බීටා වයිරස  ප්‍රභේද සඳහාත් සයිනොපාම්  එන්නතෙන්  ඉහළ රැකවරණයක් සැලසෙන බවද එම පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ , ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය .

සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබුවේ  ආචාර්ය  චන්දිම ජීවන්දර මහතා  ඇතුළු පර්යේෂකයන්  කණ්ඩායමක් විසිනි .

සයිනොපාම් එන්නත් මාත්‍රා  දෙකම ගත් පුද්ගලයන් 282ක් යොදාගෙන  මෙම පරීක්ෂණය සිදු කර ඇත .

මේ අනුව  සයිනොපාම් එන්නත් මාත්‍රා  දෙකම ගත් වයස 20ත්39ත් අතර පුද්ගලයන්ගේ  ප්‍රතිශක්තිය සියයට 98.9දක්වාද වයස 60වැඩි පුද්ගලයන්ගේ  ප්‍රතිශක්තිය සියයට 93.3ක් දක්වාද වර්ධනය වන බව මෙම පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ආචාර්ය ජීවන්දර  මහතා වැඩිදුරටත් කීවේය .

මේ අතර  ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේද  සොයා ගැනීම සඳහා තවත් පරීක්ෂණ වටයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් අරඹනු ලැබ ඇත .