(සිරංගිකා ලොකුකරවිට) 

ගාල්ල දිසාපතිවරයා ලෙස කටයුතු කළ සෝමරත්න විදානපතිරණ මහතා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

හෙට (10) දිනයේ හෙතෙම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමට නියමිතව ඇත.

ඇඹිලිපිටිය මහ විද්‍යලයෙන් මුලික අධ්‍යාපනය ලැබු සෝමරත්න විදානපතිරණ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගත් අයෙකි.

දසවසරක කාලයක් පෞද්ගලික අංශයේ සේවය කර ඇති ඒ ඔහු 1995 වසරේදි ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වි ඇත. කොලොන්න, පැල්මඩුල්ල ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි සහකාර ලේකම් ලෙස රාජකාරි කල හෙතෙම රත්නපුර දිස්ත්‍රික් අතිරේක දිසාපති සහ වැඩබලන දිසාපතිවරයා වශයෙන් ද සේවය කර ඇත. 

2001 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේද, 2009 වසරේදි ක්‍රිඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් සේවය කල සොමරත්න විදානපතිරණ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් සේවය කිරීමෙන් පසු වව්නියාව දිසාපති ලෙස තේරී පත්විය. ඉන් පසු 2018 ජූලි 09 වැනි දා සිට ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස රාජකාරි කළේය.

ජාතින් අතර එකමුතු කම සහ ආගමික සංහිඳියාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන ‍සෝමරත්න විදානපතිරණ මහතා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේ දී කරන ලද ආගමික උත්සව බොහෝ දෙනකුගේ පැසසුමට ලක්ව තිබිණි.