(තිලකරත්න දිසානායක)

සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම පාලන මිල රුපියල් 85 ක් වශයෙන් නියම කර තිබියදී, සීනි කිලෝවක් රුපියල් 50 ක වැඩි මිලට 135 බැගින් අලෙවි කිරීම මත පාරිභෝගික සේවා අධිකාරිය ගම්පහ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ගම්පහ නගර ශාඛා වෙළදසළ වටලා නඩු පැවරීමට පියවර ගනු ලැබීය.

රජය මගින් නියම කොට ඇති පාලන මිල ඉක්මවා ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඇතැම් වෙළඳසල් මගින් ආහාර ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කරනු ලබන බවට පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය වෙත ලැබී ඇති පැමිණිළි මත අද (19) සිදුකළ පරීක්ෂාවේදී  මෙම සමූපකාර ශාඛාව හඳුනාගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබිණි.

පාලන මිල ඉක්මවා මෙලෙස සීනි අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා එම වෙළඳසලෙහි සිට ගම්පහ සමුපකාර සමිතියේ අලෙවි ප්‍රධානියාගෙන් දුරකථනයෙන් විමසූ අවස්ථාවේ දී සදහන් කර සිටියේ පරණ සුදු සීනි තොගයක් මෙලෙස වැඩි මිලට අලෙවි කිරීමට සමූපකාර ශාඛාවලට උපදෙස් ලබාදී ඇති බවය.

රජයට අයත් සමූපකාර දෙපාර්තමේන්තුවෙහි වෙළඳසලක මෙලෙස පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීම වරදක් බව විමර්ශන ප්‍රධානීවරයා එම අලෙවි ප්‍රධානියාට පෙන්වා දෙනු ලැබූ අතර, මෙම වරදට අනුව "පාරිභෝගිකයා රවටන සුළු ආකාරයෙන් කටයුතු කිරීම " යන චෝදනාව යටතේ ගම්පහ මහේස්ත්‍රාත්  අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව දැනුම් දෙනු ලැබීය.