(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය සඳහා තවත් සංවිධායකවරුන් 35 දෙනෙකු ඉදිරි සති කිහිපය තුළ කඩිනමින් පත් කරන බව  එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.

සමගි ජන බලවේගය සඳහා ආසන සංවිධායකවරුන් 107 දෙනෙකු ඉකුත්දා පත්කළ අතර උතුරු නැගෙනහිර ඇතුළු සෙසු ප්‍රදේශ සඳහා මෙම නව  ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සියලුම ආසන සංවිධායකවරුන් මාර්තු 31 වන දාට පෙර තම මැතිවරණ කොට්ඨාස තුළ මහජන කාර්යාල විවෘත කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම සෑම සතියේ දිනකම මහජන දිනයක් වෙන් කරන ලෙසට ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

බිම් මට්ටමෙන් සංවිධාන ජාලය ශක්තිමත් කිරීම සඳහා ආසන සංවිධායකවරුන් වෙත උපදෙස් මාලාවක් ලබා දී ඇති බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.