(විනීතා එම් ගමගේ)
බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට  දින 50 ක් වසා තැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උයය ගම්මන්පිල මහතා පවසයි.
ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් අමාත්‍යවරයා කිවේය. 

බොර තෙල්වලින් ඉන්ධන නිෂ්පාදනය කළ හැක්කේ බොර තෙල් ප‍්‍රමාණයෙන් සියයට 43 ක් පමණක් බවත් ඩොලර් හිඟයක් පවතින මේ අවස්ථාවේ බොරතෙල් වෙනුවට ඉන්ධන ගෙන්වීමට තීරණය කළේ විනිමය කළමණාකරණය කළ යුතු බැවින් යැයි ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් පිරිපහදුව වසා දමන බව රටට නොකිව්වේ එය රටේ තෙල් සැපයුමට බල නොපාන අභ්‍යන්තර කාරණයක් වන නිසා යැයි ද අමාත්‍යවරයා කීය.
උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ බලශක්ති අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවිය හැකි යැයි තමන් සැප්තැම්බර් 29 වැනිදා මාධ්‍ය හමුවක දී පැවැසී යැයි ද කීය. 
රටේ ඇති සීමිත විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් යොදා ගැනීමට අවශ්‍ය බවත්, වසර 51 ක් පැරණි තෙල් පිරිපහදුවෙන් බොර තෙල්වලින් සියයට 37 ක් නිපදවන්නේ දැවිතෙල් හා නැප්තා බවත් සියයට 19 ක් ගුවන් යානා තෙල් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ දිනවල වැස්ස ඇති බැවින් විදුලිය නිපදවීම ජලවිදුලියෙන් සිදුවන නිසා දැවිතෙල් අවශ්‍ය නොවන බව විදුලි බල මණ්ඩලය පවසා ඇතැයි ද, ගුවන් යානා තෙල් ගුවන් ගමන අරඹන රටෙන් ලබා ගත හැකි බැවින් දිගු ගමන් සඳහා පමණක් ගුවන් යානා තෙල් ලබා ගන්නා බැවින් ද බොරතෙල් අවශ්‍ය නොවන බවට තීරණය කළ බව ද ඔහු කියා සිටියේය. 
ඉන්ධන මිල දී ගැනීමේ ණය පහසුකම් ලබා ගැනීමට මේ වනවිට රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, දිගින් දිගටම පාඩු ලබමින් සිටින නිසා තෙල් සංස්ථාවට ණය ගැනීම දුෂ්කර බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතා පහල මට්ටමක ඇති බැවින් ණය ලබා ගැනීම වඩාත් දුෂ්කර වී ඇතැයි ද පැවැසීය.
බොරතෙල් ගෙන්වීම නැවැත්වීමෙන් පැට‍්‍රල් හෝ ඞීසල් හිඟයක් ඇති නොවන බවත් වෘත්තිය සමිති නායකයකු මාධ්‍යයට කී කතාවක් හේතුවෙන් මෙසේ ඉන්ධන සඳහා පෝලිම් ඇති බවත් පැවැසූ ගම්මන්පිල මහතා දින හතලිහකට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ රටේ ඇතැයි ද කිීය.