(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැතැයි පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාව වර්ජනය කළද එම පක්ෂයේ මන්ත්‍රීවරුන්  34 දෙනකු පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දැනට උදේ  ආහාරය ගත් බවට  තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී  අද (6) පැවැසීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මන්ත්‍රී භෝජනාගාරයෙන්  හොඳට ආහාර ගෙන ඇති හෙයින්  පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන්  ගැටළුවක් ඇතැයි ඔවුන් පවසන චෝදනාව ප්‍රතික්ෂේප වන බවද  හෙතෙම සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී  විශේෂ ප්‍රකාශයක් කරමිනි.පාර්ලිමේන්තුවේ අද කවුරුත් නැතැයි පවසමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා රටට වැරදි පණිවිඩයක් දීමට උත්සාහ දැරූ බවද  මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී   පැවසුවේය.

මේ අවස්ථාවේදී අලුත්ගමගේ  සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර උණුසුම් බහින් බස්වීමක් ඇතිවිය. දෙදෙනා අතර ඇතිවූ එම ගැටුම සංසිඳවීම සඳහා කතානායකවරයා දැඩි උත්සාහයක් දරනු දැක ගත හැකිවිය.