(මනෝප‍්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධී ක‍්‍රියාකාරකම්වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා මත අද (08) නඩු පවරන ලදී.
මෙම සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් පුරා සිදුකළ විමර්ශනවල උධෘත පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රීවරයකුද වන විත්තිකරුට එරෙහිව අධි චෝදනා නැඟීමට නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොළඹදී නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් රුපියල් 445,111,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දැනම ඉන් රුපියල් 306,268,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම්වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
විත්තිකරු මුදල් විශුද්ධීකරණ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
COMMENTS
අලුත් නීතිපති තුමා පරණ බරපතල නඩු ඉවරයක් කිරීමට දරන උත්සාහය අපි අගය කරනවා. මෙච්චර කල් ඒවා යටගියේ ඇයි කියල කියනවා නම් ඒවා කියල වැඩක් නෑ.
දේශපාලන තනතුරක් ලැබුණා කියන්නේ ඇලඩින්ට පුදුම පහන ලැබුණා වගෙයි...
මොකෝ හදිසියේම මෙයාව මතක් වෙලා තියෙන්නේ? කාගේ සල්ලිද මේ පිල්ලි ගහලා තියෙන්නේ? ලංකාව ආසියාවේ මංකොල්ලකරුවන්ගේ පාරාදීසයක් කරන්න මුල්වෙලා තියෙන්නේ උත්තරීතරයි කියාගන්න පාර්ලිමේන්තුවේ හිටපු සහ වවුලෝ වගේ එල්ලීගෙන ඉන්න කාලකන්නි සෙට් එක නිසා තමයි. අපි නම් හරිම පව්කාරයන් ටිකක්..
මේ මහත්තයාගේ අයියා තවම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉහළම තනතුරක් දරන බව දන්නවද? මොනවා වුණත් එයානම් ඉතාම නිහතමානී දක්ෂ කෙනෙක්...
මට මතක විදිහට මේ හාදයට විරුද්ධව එක පාරක් මහාපරිමාණ නඩුවක් පවරලා අන්තිමට රුපියල් 5000ක් වැනි සුළු දඩයක් ගහලා මොහු නිදහස් කළා.. මට කියන්න තිබෙන්නේ ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව හරිම දුර්වල සහ අකාර්යක්ෂම එකක්... කරපු මූල්‍ය වංචා සහ දූෂණ ඉතා ඉහළය. මොහු බලයෙන් පහවෙලා දැන් අවුරුදු 4 1/2ක් විතර ගතවෙලත් මොහු කරපු වංචා ඇස්පනාපිටම දකින්න තිබෙද්දී මොහුට දඬුවම් කර හිරේ අරින්න බැරිවෙලා තිබෙනවා..