(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ විසක් ශරීරගත කර සුනඛයන් 10 දෙනෙකු පමණ ඝාතනය කර ඇතැයි ප්‍රදේශවාසීන් ගලේවෙල පොලීසියට අද (24) පැමිණිලි කර තිබේ.
අද පෙරවරුවේ තැන තැන සුනඛයන්ගේ මළ සිරුරු දැකීමත් සමඟ ප්‍රදේශවාසීන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සොයා බැලීමක් සිදු කර තිබේ.
එහිදී නිවෙස්වල සිටි සුනඛයන් දස දෙනෙකුගේ පමණ සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ.
ගලේවෙල අළුත්වැව ප්‍රදේශයේ සත්ව ගොවිපලක හිමිකරුවන් විසින් මෙම සතුන් දිගින් දිගටම ඝාතනය කරන බවත් මෙවර මෙම සතුන්ට විසක් ශරීර ගත කර මරා දමන්නට ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මීට පෙර ද පහර දී සහ වෙඩි තබා ප්‍රදේශයේ සුනඛයන් ගොවිපල හිමිකරුවන් විසින් මරා දමන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට පවා පැමිණිලි කොට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මෙම සුනඛයන් දිගින් දිගටම ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ විට එම ව්‍යාපාරිකයන් ප්‍රදේශවාසීන්ට පහරදීමට සහ ඝාතනය කරන බවට තර්ජනය කරන බව ද ඔවුහු කියති.
මෙම සුනඛයන් තැන තැන මැරී වැටී ඇති අයුරු පෙන්වන ප්‍රදේශවාසීන් මේ පිළිබඳව ගලේවෙල පොලීසියට ද පැමිණිලි කර ඇතත් පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂාකර හෙට ( 25) උදෑසන 9 ට මෙම අයිතිකරුවන්ට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ යැයි ඔවුහු පවසති.
අලුත්ගම ප්‍රදේශයේ ඉතා අමානුෂික ආකාරයෙන් නිවෙස් වල සුරතලයට ඇති කළ සුනඛයන් මරා දැමීම සම්බන්ධයෙන් ඔවුහු දැඩි කනස්සල්ලට පත්ව හැඬූ කඳුළින් කියා සිටියේ මෙවැනි අපරාධ සඳහා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.
ගලේවෙල පොලීසියේ ඉහළ පොලිස් නිලධාරියකු කියා සිටියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යැවූ බව ය කෙසේ වෙතත් තවදුරටත් මෙම සුනඛයන් මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන බවද පොලිසිය ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




COMMENTS
මේ රටේ මෑත කාලයේ අසන්නට දකින්නට ලැබෙන්නේ මහා අවාසනාවන්ත දේවල් තමයි. කිසිම අනුකම්පාවක් නැති මහා නපුරු දරුණු මිනිසුන් තමයි දැන් බොහෝවිට රටේ සිටින්නේ.. අසරණ බල්ලෙකුටවත් පණපිටින් ඉන්නට නම් දෙන්නේ නැහැ. මේ වැනි වැඩකරන තිරිසනුන්වන් මිනිස් වෙස්ගත්තන්ට නිසි දඬුවම් දිය යුතුයි...
තමන්ට රැක බලාගැනීමට නොහැකිනම් සුනඛයන් ඇති කිරීමෙන් වලකින්න.
ගමේ මිනිස්සු තමයි ගමේ අයිතිකාරයෝ. ඒක තමයි ... මුලින්ම ඔබලා හිතට ගන්න. ඔය සිංහල ,දෙමල ,මුස්ලිම්... ජාතිබේදත්... බුද්ධාගමේ... ක්‍රිස්තියානි.. මුස්ලිම්. ආගම බේදත් අතහැරලා ගමේ සියලු දෙනාම එකට එකතුවෙන්න...
මේ අහිංසක සත්තුන්ට මෙවැනි අපරාධ කරන අයට හෙනම තමයි...!!!
සුරතලයට ඇති කරන සුනඛයින් අයාලේ යැවීමෙන් වළකින්න. අයාලේ යැවීම වැරදියි. අයාලේ යැවීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු කරන්න...
ගමේ හැදෙන බල්ලා ගෙදරින් පැන ගම වටේ රවුමක් ගසා කුඹුරෙන් මඩ නාගෙන පොඩි වලියක් එහෙම දාගෙන එන එක උන්ගේ ජන්ම පුරුද්දක්. ඒක තේරුම් ගන්න පුළුවන් දම්වැලක් අතින් අරන් ගම පුරා බල්ලා හොයන්න ගිය අපි වගේ අයට විතරයි.
දැනට අවුරදු 27 කට විතර කලින්. අපි කතරගම වන්දනාවේ ගියා. අපි දේවාලෙට නොයන නිසා, පාන්දරම වගේ ගියේ කිරි වෙහෙරට. මගේ දුවට අවු 3ක් විතර ඇති. කිරිවෙහෙර පඩිපෙළ ගාවදි, දුව අපි පස්සෙන් ගිහින් එක පාරටම අඟල් 7 - 8 බලුපැටියෙක් ඇහිඳ ගෙන ආවා. බලුපැටිය හිටියේ මැරිලා. එයා පඩිපෙළ උඩින් තියලා වතුර දුන්නා. පස්සේ වට පිට බැලුවම, තව පැටවූ 10 - 15 විතර හා ලොකු බල්ලොත් කිරිවෙහෙර වටේ මැරිලා. මම දුවව වඩාගෙන, අතුගාන ගෑනු කෙනෙක් ගාවට ගිහින් ඇහුවා, මේ මොකද කියල. කිසි කෙනෙක් උත්තර දෙන්නේ නෑ. පස්සේ මුවා වෙලා වගේ හිටපු ගෑනු කෙනෙක් කිව්වා, ඊයේ පුජාවට ආපු ගෑනු කෙනෙක්ව බල්ලෙක් කාලා. ඊයේ රෑ දේවාලේ හා පන්සලේ හිටපු බල්ලෝ ඔක්කොටම වස දුන්නා කියලා.
දඩාවතේ යන බල්ලන්ගේ මිනිසුන්ටත් කරදරයි. ඒකයි මිනිස්සු, බල්ලන්ට මෙහෙම කරන්නේ... බල්ලන්ගෙන් මිනිසුන්ට තිබෙන කරදර ලීවාට වැඩක් නැහැ.