(දයාසීලි ලියනගේ)

විශ්වවිද්‍යාල තුනක ආචාර්යවරු 101දෙනෙකු වැඩිදුර අධ්‍යාපනය ලැබීමට විදේශ ගතවී යළි පැමිණි නැති බව අනාවරණය වී ඇත.

මෙම ආචාර්යවරු ගිවිසුම් කඩකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 29කට ආසන්න මුදලක් රජයට ගෙවිය යුතු බව ගණන් බලා ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් හා ආචාර්ය උපාධි සඳහා 2011 වර්ෂයේ සිට ආචාර්යවරු 22දෙනෙක් විදේශගත වී තිබූ අතර, නියමිත කාලයේදී නැවත සේවයට වාර්තා කර නොතිබුණු බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇත.

එම ආචාර්යවරු එළඹ තිබුණු බැඳුම්කර ගිවිසුම් කඩකිරීම නිසා 2019 දෙසැම්බර් 31 වන දින වනවිට රුපියල් මිලියන 97.26ක් අයවිය යුතුව තිබුණු බවද සඳහන් වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු 42දෙනෙකු පශ්චාත් උපාධි ලබාගැනීමට විදේශගතවී නැවත සේවයට පැමිණීම නිසා ගිවිසුම් කඩවීම මත 2020 ජූනි 30 දිනට රුපියල් මිලියන 113.71ක් අයවිය යුතුව ඇති බවද විගණන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවූ ආචාර්යවරුන් 37දෙනෙකු ගිවිසුම් හා බැඳුම්කර කඩකර තිබීම හේතුවෙන් 2019 දෙසැම්බර් 31 වනි දින වනවිට ඔවුන්ගෙන් රුපියල් මිලියන 76.86ක් අයවිය යුතු බවද වාර්තා විය.