
(යොහාන් භාසුර)
ගෑස් පුපුරායාමෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට එරෙහිව ඉදිරි දින කීපයේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නීති අංශය නඩු පැවරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන් කළ එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසුවේ නීතිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට ද නියමිත බවයි.
ගෑස් සමාගම් දෙකම ගෑස් සිලින්ඩරවලට සම්බන්ධ වන උපාංග පිළිබඳව හෝ ඒවායේ නඩත්තුව පිළිබඳව කටයුතු කර නොමැති බව කී එම නිලධාරියා ඒ අනුව අදාල සමාගම් වගකීම් පැහැරහැර ඇති බව බැලූ බැල්මට පෙනී යන බව ද සඳහන් කළේය.
එම බොහෝ සිද්ධීන්වලදී ගෑස් සිලින්ඩරයට සම්බන්ධ උපාංගවලට හැනි සිදුවී තිබූ බවත් ඒ පිළිබඳව ගෑස් සමාගම්වලට වගකීමක් තිබේද යන්න ද සොයා බලමින් සිටින බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ගෑස් සම්බන්ධ අනතුරු පිළිබඳ සොයා බැලීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව මෙම සතියේ ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.
එම කමිටුවේ වාර්තාවට අදාල ස්ථානීය පරීක්‍ෂණ මේ වන විට අවසන් කර ඇති බවත් වාර්තාව සකස් කරමින් සිටින බවත් එම විශේෂඥ කමිටුවේ සාමාජිකයෙන් අද (12) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
COMMENTS
මේවා ජනතාව මුලා කරන වැඩ. ලිට්‍රෝ කියන්නේ ආණ්ඩුවේ සමාගමක්. නඩු දාල කල්මරන්න නැතුව, ආණ්ඩුවට පුළුවන් කෙලින්ම පීඩාවට පත්වූවන්ට වන්දි ලබා දෙන්න. මේකෙන් වෙන්නේ නීතීඥ ගාස්තු ගෙවනවා මුවාවෙන් නාගන්න යන්නේ.
කෝ අර කතානායක? ගෑස් කියන්නේ පුපුරන දෙයක් කියලා හරි ලේසියෙන් කිව්වේ. මේ අයට ඡන්දෙ දුන්න අයට ජයවේවා...!
ඇයි ගෑස් සමාගම් දෙක විතරද වැරදි? අදාල රාජ්‍ය ආයතන දෙකේ රාජකාරිය පැහැර හැරපු නිලධාරීන්ට නඩු නැද්ද? ඊට අමතරව වගකිවයුතු දේශපාලුවන් නිදහස්ද? කරන දෙයක් වෙන්න වගේ හරියට කරන්න…!
මෙහි වගකිව යුත්තන් ජනතාවගෙන් පිං පඩි ගන්නවා කියල කියන්න පුළුවන්. මොකද මිනිස්සුන්ට හෘද සාක්ෂියට අනුකූල සේවයක් කර මිස පඩියක් ලබා ගැනීම යුතු නැති නිසයි. මේවයෙ වැඩ කරන අවස්ථාවාදීන්ගේ නොසැලකිල්ල නිසා අද අසරණවූ සුන්දර දරු පවුලකට තම මව අහිමි වුණා.