(විනීතා එම් ගමගේ)

මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශයන්හි ඉකුත් දා සිදුවූ භූ  කම්පන කිහිපය එහි සිදුවන හුණුගල් කැඩීම නිසා සිදුවන්නක් නොවන බව එම භූ කම්පන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවේ සඳහන් වේ.

රිච්ටර් මාපක 2ට අඩුවෙන් වාර්තාවූ එම කම්පන සුලු භූ කම්පන ලෙස සැළකෙන අතර ඒවා සියල්ල ස්වභාවික ඒවා බව ද එම වාර්තාව කියයි.

එහෙත් සුළු හෝ අවදානමකින් මිදෙනු පිණිස වික්ටෝරියා ජලාශය මායිමේ සිට මීටර් 100 ක් දක්වා දුරක පවතින හුණුගල් කොරි වසා දැමීමට කටයුතු කරන්නැයි ද එම විද්වත් කමිටුව නිර්දේශ කර ඇත.

එවැනි කම්පන තුලින් බරපතල තත්ත්වයක් ඇති නොවන බව ද එම ප්‍රමාණය මෙන් දස ගුණයක ප්‍රබල කම්පනයකට වුව ද වික්ටෝරියා වේල්ල ඔරොත්තු දෙන බව ද එම වාර්තාව පෙන්වා දී තිබේ.

ඉකුත් අගෝස්තු 29 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා අවස්ථා දහයක දී සිදුවූ එම භූ කම්පන පිළිබඳ සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙකී කමිටුව පත් කරන ලද අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් වූ එම කමිටුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න, මහාචාර්ය එල් ආර් කේ පෙරේරා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් ගුණතිලක, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිත්සිරි දිසානායක, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එස් රණසිංහ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් ආර්කේ අරුප්පොල, හා ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඉහළපිටිය, භු විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ නලින් ද සිල්වා, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න හා ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විය.


එම කමිටුවේ වාර්තාව කමිටු සභාපති අනුර වල්පොල මහතා විසින් අමාත්‍යවරයා වෙත පරිසර අමාත්‍යංශයේ දී අද(05) භාර දෙනු ලැබීය.
කෙසේ වෙතත් කෙටි කාලින, මධ්‍ය කාලින හා දිගු කාලින ක්‍රියා මාර්ග ගත යුතු බවත් මෙම කණ්ඩායම දිගටම ක්‍රියාත්මක වෙමින් දීර්ඝ කාලින පර්යේෂණයක නිරත විය යුතු බවත් අමාත්‍යවරයා එම වාර්තාව භාර ගනිමින් කමිටුව වෙත පැවැසීය.