(ටී.කේ.ජී.කපිල )

අන්තර්ජාතික 07 වන සකර්යා ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලේදී, ලොව හොදම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්  ශ්‍රී ලාංකික තරුණ සිනමා නිර්මාණකරු හසන්ත දිසානායක, එම සම්මානයත් රැගෙන  අද (20)  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙල තුර්කි සංචාරක සහ සංස්කෘතික අමාත්‍යාංශය සහ  එරට සකර්යා විශ්ව විද්‍යාලය සමග එක්ව සංවිධානය කර තිබූ අතර, ඒ සදහා ලොව පුරා රටවල් 193 ශිෂ්‍ය තරගකරුවන්, සිය නිර්මාණ 7,000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි .

"මට්න්" නමින් නම් කර තිබූ විනාඩි 12 ක විකාශන කාළයකින් සමන්විත, මෙම කෙටි චිත්‍රපටය ඉරානයේ සහ දකුණු කොරියාවේ චිත්‍රපට සම්මාන උළෙල වලදී ද , අවසන් වටයේ තරග කරමින් තිබේ .

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හසන්ත දිසානායක කැළණිය විශ්ව විද්‍යාලයේ, සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි .

 හසන්ත දිසානායක මෙම සම්මානය ද රැගෙන අද (20 ) කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම තරුණ සිනමාකරුවා පිළිගැනීම සදහා සිනමාවේදී සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදත් රෝහණ , ප්‍රවීන රංගවේදී ලක්ෂ්මන් මෙන්ඩිස් , මෙම සිනමාකරුගේ දෙමාපියන් , කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ඔහුගේ විශ්ව විද්‍යාලයීය සහෝදර ශිෂ්‍යයන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආලින්දය වෙත පැමිණ සිටියහ .