(ඩයනා උදයංගනී)
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද (1)ට යෙදී ඇත.
මෙවර ලෝක ළමා දින සැමරුම් තේමාව “සියල්ලටම පෙර දරුවන්” යන්න වන අතර වැඩිහිටි දින සැමරුම් තේමාව වී ඇත්තේ ‘සියලු වයස් කාණ්ඩ සඳහා ඩිජිටල් තාක්‍ෂණය’ යන්නයි. ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සහ පළාත් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. එහි ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික රූපවාහිනී ප්‍රධාන මැදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මේ සඳහා දරුවන් සීමිත පිරිසක් පමණක් සහභාගී කරවාගන්නා බැවින් ඒ සඳහා රූපවාහිනිය ඔස්සේ දරුවන් සම්බන්ධ කරන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයින පුරා ළමා නිවාස 379ක සිටින දරුවන් වෙනුවෙන් පරිගණක මධ්‍යස්ථාන ලබාදීම, පාසල් ගුරුවරුන් සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යත්ව 1500ක් පිරිනැමීම ද මෙහිදී සිදුවන බව පියල් නිශාන්ත මහතා පැවසීය.
මේ අතර මෙවර වැඩිහිටි දින සැමරුම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ද සහභාගීත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ රටපුරා වැඩිහිටියන් සම්බන්ධ කරගනිමින් සංකේතවත්ව සැමරීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම මාර්ගගත ක්‍රමවේද ඔස්සේ වැඩිහිටි දක්‍ෂතා ඇගයීමේ වැඩසටහනක් ද ඉදිරියේදී පැවැත්වීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
ළමයින් යනු අප සැමගේම දරුවන් ය. අද වැඩිම අවධානයක් යොමු කළ යුත්තේ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහායි. දෙමව්පියන්ගේ නූගත්කම සහ බීමත්කම වගේම දුප්පත්කම ද අහිංසක දරුවන් දුකට පත් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. වගකිව යුත්තන් වහාම මේ ගැන අවධානය යොමු කර කටයුතු කළ යුතුයි.
අපිට ඉගෙනගන්න උපකරණ ලබාදෙන්න.