(රොමේෂ් මධුෂංඛ)
යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සඳහා මගී ප්‍රවාහනය වෙනුවෙන් එලුතාරකයි නැමති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය පවසයි.
වායුසමීකරණ පහසුකම් සහිත නෞකාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් පවරා දීමද එම අමාත්‍යංශය මගින් සිදුකෙරිණි.
රුපියල් මිලියන 137 ක මුදලක් මෙම මගී ප්‍රවාහන නෞකාව සඳහා ආයෝජනය කර ඇති අතර එය කොළඹ නැව් තටාකාංගනය නිෂ්පාදනය කර ඇත. මෙම මගී නෞකාව තුළ මගීන් 100 කට පහසුවෙන් ගමන් කළ හැකිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීරීක්ෂණය යටතේ නව කාර්ය මණ්ඩලයක් පුහුණු කටයුතුවල නිරතව සිටිති.
මෙම මගී ප්‍රවාහන නෞකාව යෙදවීමත් සමග එළුවතිවු දුපතේ ජීවත්වන පවුල් 500 කගේ සහ අනලතිවු දූපතේ ජීවත්වන පවුල් 250 කගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටුකෙරෙනු ඇත.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් වී.සිවඥානසෝති මහතා, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිතරන් මහතා, කයිට්ස් ප්‍රාදේශීය ලේකම් මංජුලාදේවී සදීසන් මහත්මිය ඇතුළු පිරිසක් එලුතාරකයි මගී ප්‍රවාහන නෞකාව නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට එක්වූහ.




COMMENTS
මොනවා කළත් අවසානයේ සජිත් ජනපති වෙනවා. සජිත්ට ජයවේවා!
මේවා බොහොම කලින් කරන්න තිබුණු වැඩ. ජනතාවගේ ගමන් බිමන් අදහස් හුවමාරු කරගැනීම දියුණුවන තරමටම සංහිඳියාව වැඩිවන බව වරක් ශ්‍රේෂ්ට ජන නායකයකු වන හිටපු අමාත්‍ය කදිරගාමන් මැතිතුමා කිවා වගේ මතකයි.
මේ බෝට්ටු සේවාව පටන් ගත්තේ මීට අවුරුදු 2 කට කලින්. තව බෝට්ටුවක් තියෙනවා ඒක පටන් පටන් ගත්තේ 2011 අවුරුද්දේ.
බොහොම හොඳ වැඩක්. නමුත් නාගදීපය දක්වා තියෙන බෝට්ටු සේවය ගැනත් හිතන්න. හරිම අන්තරායදායක ගමනක් එක... ගොඩක් දෙනා ගමන් කරන මේ සඳහාත් පහසුකම් ඇති මගියාගේ ආරක්ෂාව සුරක්ෂිත වෙන විදියේ දෙයක් කළොත් වඩාත් වටිනවා...
නාගදීපයට හොද ප්‍රවාහන සේවයක් අවශ්‍යයයි. අර මාලු බෝට්ටුවක නග්ගගෙන මගීන් රැගෙන යන ගමන ඉතාමත් අන්තරාදායකයි.