(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලබන මස 20 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
පෞද්ගලික හේතුවක් මත තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව සඳහන් කරමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යවා ඇත්තේ නොවැම්බර් 4 වැනිදාය.
ධුරයෙන් ඉවත් වීමට මසකට පෙර අදාළ ඉල්ලා අස්වීම දැනුම් දිය යුතු නිසාත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස බාරගත් මුඛ්‍ය දේශන, රැස්වීම්, දෙස් විදෙස් හමු ආදී රාජකාරී කටයුතු කීපයක් නිසාත් කුමාරස්වාමි මහතා දෙසැම්බර් 20 වැනිදා දක්වා මහ බැංකු අධිපති ධුරයේ රැඳී සිටිනු ඇතැයි වාර්තා වේ.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා වශයෙන් පත්වූයේ 2016 ජූලි මාසයේදීය.
1974 වසරේදී මාණ්ඩලික නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වූ කුමාරස්වාමි මහතා වසර 15කට ආසන්න කාලයක් එහි විවිධ අංශවල සේවය කළේය.
ඔහු 1981 සිට 1989 දක්වා කාලය තුළ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ සේවය කළ අතර 1990 සිට 2008 දක්වා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ ප්‍රධානී, මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සමාජ පරිවර්තන සඳහා වූ වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂ යනාදී ඉහළ තනතුරු කීපයක් හෙබවීය. හෙතෙම 2013 සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජියකු ලෙස ද 2015 සිට 2016 වසර දක්වා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.
ඊට අමතරව ඔහු පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු රැසක් ද හොබවා ඇත.
2017 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත් ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රකාශනය මගින් කුමාරස්වාමි මහතා දකුණු ආසියානු කලාපයේ මහ බැංකු අධිපතිවරයා ලෙස ද නම් කළේය.
ජාතිය උදෙසා කරන ලද අති විශිෂ්ට හා ප්‍රශංසනීය සේවාව වෙනුවෙන් පසුගිය අගෝස්තු මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමාරස්වාමි මහතාට දේශමාන්‍ය ගෞරව සම්මානය ද පිරිනැමුවේය.
ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ හෙතෙම 1974 වසරේ ජපානයේ පැවැති ආසියානු රග්බි තරගාවලියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ද නායකත්වය දුන්නේය. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ද වේ.

COMMENTS
සත්ගුණවත් දේශහිතෛශී අර්ජුන් අාපසු සිංගප්පූරුවේ ඉඳලා එනවද මන්දා.. ඉතුරු ටිකත් හොරකම් කරන්න.
මීලගට කව්ද?
ඊළඟට සුදුස්සා අර නිවාඩ් කබ්රාල් බවට යෝජනා කරමි.
"පසුගිය නොවැම්බර් 2 වැනිදා සිට ඉල්ලා අස්වී තිබේ" කියන එක ගැන නම් දෙපාරක් හිතන්න වෙයි වගේ... අද නොවැම්බර් 25. අපේ රටේ ආර්ථික කළමනාකරණය ගැන තවත් කුමන කතාද ඉතින් නේද? එතකොට ඡන්දයට අසන්න දවස්වල මහබැංකු අධිපති කෙනෙක් ඉඳලත් නැද්ද? මීළඟට එන කෙනා කවුරු වුණත් වගකීමෙන් රට ගැන හැඟීමකින් වැඩකරන කෙනෙක් වෙනවා නම් හොඳයි. මොකද දැන් රටේ ආර්ථිකය තියෙන තත්වයත් එක්ක දක්ෂ, උපායශීලි කළමනාකරණයක් රටට වුවමනා වේලාවක් මේක...
අජිත් කබ්රාල් ආපසු මහබැංකු මහපුටුවටද? තව හොරු පසුවට...
ලොකු දෙයක්...
ඉල්ලා අස්වෙන්න වෙනවා නෙවේ. අස්වෙන්න වෙනවා කියන්න.
ඔය කබ්රාල් මහත්තය තමයි හොඳම කෙනා.
ඉහත එක තැනක දක්වා ඇති අදහස් වලට අනුව ඉල්ලා අස් වීමේ ලිපිය ඉදිරිපත් කල දිනයයි, ඉල්ලා අස්වීම බලපැවැත්වෙන දිනයයි අතර වෙනස තේරුම් ගන්න බැරිද?