(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි හමුවක් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  සිදුවිණ.

මෙම හමුව සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී ප්‍රථම කතාව පැවැත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සංකීර්ණයේ දෙවැනි මහලේ ලොබියට පැමිණි අවස්ථාවේදීය.

යළි පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

අග්‍රාමාත්‍යවරයාට අමතරව රාජකීය විද්‍යාලයේ  රනිල් වික්‍රමසිංහ මහතාගේ සමකාලීන මිත්‍රයකු වූ සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්.සම්පන්තන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ,විජිත හේරත් ,මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන්,සමගි ජනබලවේගයේ කුමාර වෙල්ගම,ගයන්ත කරුණාතිලක, හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ද පාර්ලිමේන්තු විපක්ෂ පැත්තේ අසුන්ගෙන සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ද රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබේ.