
(විනීතා එම් ගමගේ)
කලුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය හා ආසන්න ප්‍රදේශවල වනාන්තරවල ජලභීතිකාව වැළඳුණු නරි ගැවසෙන බැවින් එම ප්‍රදේශවල දරුවන් තනිව පාසල් යැවීමෙන් වළකින්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා එම ප්‍රදේශවල වැසියන්ගෙන් ඉල්ලිමක් කරයි.
එම ප්‍රදේශවල ගැවසෙන නරින්ගෙන් ජලභීතිකාව පැතිර ඇතැයි විශ්වාස කරන බවත් මේ වන විට ජලභීතිකාව වැළඳුණ නරි පස්දෙනෙක්, සුනඛයින් සිව්දෙනෙක්, ගවයින් සිව්දෙනෙක් හා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇතැයි ද රෝග පාලනයට ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බව ද තාරක ප්‍රසාද් මහතා කීය.
නරි ගහණය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් සාමාන්‍ය නිරෝගී නරියකු මිනිසෙකු- දුටුවිට පළා යන නමුත් රෝගී සතෙකු මිනිසුන් පසුපස එළවා ගෙන එන බැවින් උන් පසුපස හඹා නොයන්නැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එවැනි රෝගී සතුන් ගැන සැළවුවහොත් වහා 1992 අංකය අමතන්නැයි ඉල්ලා සිටි වෛද්‍ය තාරක ප්‍රසාද් වනජීවී නිලධාරින් එවිට එම සතා පරිසරයෙන් ඉවත් කරන්නට කටයුතු යොදනු ඇතැයි ද කීය.
මේ තතත්වය සමනය කරන්නට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි විශ්වාස කරන බැවින් එම කාලසීමාව ප්‍රවේශම් සහගත ලෙස ගත කරන්නැයි කලුතර දිස්ත්‍රික් ජනතාව ගෙන් ඉල්ලා සිටි ඒ මහතා මෙම රෝගය මිල්ලනිය පෙදෙසින් පහළට පැතිර නොයනු ඇතැයි සිතන්නේ අධිවේගී මාර්ගය හේතුවෙන් සතුන් එම පෙදෙසට සංක්‍රමණය නොවන බැවින් යැයි ද එහෙත් මිල්ලනියෙන් උතුරට හා දකුණට පැතිර යන්නට හැකියාව ඇති බව ද පෙන්වා දුන්නේය.
වෛද්‍ය තාරක ප්‍රසාද් මේ අදහස් පළ කළේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා කියා සිටියේ දෙපාර්තමේන්තුවේ පළමු පරමාර්ථය ජනතාව අතරට රෝගය පැතිරයාම වැළැක්වීම යැයි ද මේ වනවිට එම ප්‍රදේශවල සුනඛයින් එන්නත් කර අවසන් බව ද කීය.
එසේ වුවද සුනඛයකු එන්නත් කළ නොහැකි වූ අයෙක් වේ නම් හැකි ඉක්මණින් එම සතුන් එනනත් කරවන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.
පොලිසිය ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, පශූ වෛද්‍ය නිලධාරි, වනජීවී නිලධාරි, සහ ප්‍රාදේශීය සභාව යන ආයතන හා නිලධාරින් එක්කර වට්ස්ඇප් මගින් කණ්ඩායමක් හදා ඇති බවත් සියලු තොරතුරු නිරන්තර ඒ ඔස්සේ හුවමාරු කර ගන්නා බවත් කී අධ්‍යක්ෂවරයා හැකි තාක් ජනතාව දැනුවත් කිරීම කළ යුතු බවත් කීය.
මේ අතර ගවයින්ට ජලභීතිකා එන්නත ලබා දීමට ගව හිමියන් පියවර ගත යුතු බව පෙන්වා දුන් ඔහු නරින්ට එන්නතක් ආහාර සමඟ දීමෙන් රෝගපාලනයට උත්සාහ දරන බවත් ඒ සඳහා විදේශාධාර ලබාගනිමින් සිටින බවත් කියා සිටියේය.
එමෙන්ම රෝගයෙන් මියගිය නරියකු දුටුව හොත් ඒ ගැන අදාළ අංශයකට දන්වන්නැයි ද එම හිස වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කරන බව ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
අප නම් මෙතෙක් කාලයක් හිතාගෙන හිටියේ දියවන්නාව පට්ටියේ 225ට විතරයි ජලභීතිකාව හැදිලා තියෙන්නේ කියලා.. දැන් බලනකොට නරින්ටත් ඒකම හැදිලා.
ප්‍රශ්නය දුරදිග යන්න කලින්, කරුණාකර ප්‍රදේශයේ සුනඛයින්ට ජලභීතිකා එන්නත ලබාදීම ඇතුළු අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි .
රටේ මිනිසුන්ගේ ආරක්ෂාවට මුල් ප්‍රමුඛතාවය දිය යුතුයි. නරියන් හදිසියේ මේ ගමට පැමිණි හේතුව සොයාබලා එය වැළැක්වීමට ඉක්මන් පියවර ගත යුතුයි. මෙවැනි ගම් වදින නරින්ට වෙඩිතබා හෝ විනාශ කළයුතුයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම තනතුරුලාභි සුවපතිතුමාණෝ පහුගිය කාලයේ තම ඡන්දබල ප්‍රදේශයේ ජනතාව සුරක්ෂිතව රැකබලා ගත්තාට අපගේ සාතිශය සංවේගය..!
අපොයි. හරිම භයානකයි. දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටියනුත් පරිස්සම් වෙන්න වෙයි. මීට වඩා වගකීමකින් සහ වේගයකින් සෞඛ්‍ය අංශ වැඩ කරන්න ඕනේ. ගව හිමියන්ටයි, බලු හිමියන්ටයි, නරි හිමියන්ටයි ජලභීතිකා එන්නත ලබාදීමේ වගකීම පවරන එක වැරදියි. සෞඛ්‍ය අංශ ගෙදරින් ගෙදරට ගිහින් මේ ගැන හොයා බලන්න ඕනේ. අඩුගානේ මිනිස්සුන්ට කරන්න ඕනේ මොකක්ද කියලා පත්‍රිකාවක්වත් බෙදුවද? අනික මොකක්ද මේ විදේශාධාර කතාව? කොරෝනා පාලනය කළ රටක්, නරි පාලනය කරගන්න බැරුව විදේශ ආධාර ඉල්ලන එක ගැන ලැජ්ජා වෙන්න ඕනේ...
වැඩිය එපා... එකෙක් අල්ලලා දාන්නකෝ දියවන්නාවට.. කවුරු හරි පින්වතෙක්..
අලි මදිවට නරිත්...
සමගි බලවේගය අලි ජනබලය සහ පොහොට්ටුව කඩාවැදිලා වගේ... පිස්සු නරින්ටවත් වෙඩිතැබීමට බලයක් නැති බව වනජීවිය කියන්නේ නැහැ...
කාටවත් ජලභීතිකා බෙහෙත් දෙන්නයි, පොලු අරන් පාරෙ යන්නයි ඕනෑ නැහැ. වඳකරන්න ක්‍රම තිබෙනවා නේද? අර අසරණ දිවියන් මරා දැම්මා නම්, උගුල් අටවනවා නම් නරින් වඳකරන එකත් කජ්ජක්ද?
අපි හිතාගෙන උන්නේ නරි ඉන්නෙ මැදමූලනේ කියලා. බලන් ගියාම ඊට වැඩිය ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේනේ...