(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේවනවිට සමස්ත පැමිණිලි 2366ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිලි 644ක්ද, දිස්ත්‍රික්ක මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිලි 1722ක්ද ලැබී ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

මෙම පැමිණිලි සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති නමුත්, මේ වනතෙක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නැති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජූලි 07 වන දින ප.ව. 4.00 සිට ඊයේ(08) ප.ව. 4.00 දක්වා දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව 160කි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථායෙන් පැමිණිලි 40ක්ද, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් 120ක්ද ලැබී ඇති අතර, ඒ සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් යටතෙහි ගැනෙයි.

කෙසේවෙතත්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ පහරදීමක් සම්බන්ධයෙන්, ප්‍රචණ්ඩ ක්‍රියා යටතට ගැණුනු පැමිණිල්ලේ පොලිස් වාර්තාවට අනුව පහරදීමක් වී නොමැති බවත්, එබැවින් සිදුවීම සමථයකට පත්කරගෙන ඇති බවට කරුණු සඳහන් වී ඇති බැවින් එම පැමිණිල්ල ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඉවත් කරගෙන ඇති බවද නිවේදනයේ සඳහන් වේ.