(ඩයනා උදයංගනී)
මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩකර එහි ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරයක් ඉදිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පා බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව ප්‍රදේශයන්හි පදිංචි ජනතාව අද (11) තම නිවෙස් ඉදිරිපිටට පැමිණ නිහඬ විරෝධතාවයක යෙදුණහ.
මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු පදවි එකමුතුව සංවිධානය කර තිබූ මෙම නිහඬ විරෝධතාව සංවිධානය කර තිබූ අතර ප්‍රදේශයේ දේවස්ථානවල පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියෝ ද බෝපිටිය, ශුද්ධ වූ නිකුලා මුනි දේවස්ථානය ඉදිරිපිට දී විරෝධතාවයේ නිරත වූහ.
‘මුහුදෙන් වැලිගසා මුතුරාජවෙල වනසා පමුණුගම පේරුව මුහුදට යටකිරීමට හිතන්නවත් එපා’, මුතුරාජවෙල ගොඩකර බලාගාර සෑදීමට හිතන්නවත් එපා’, ‘මුතුරාජවෙලට අත තියන්න එපා. අත තියන්න දෙන්නෙත් නෑ’, ‘අහිංසක ධීවර ජනතාව නැවතත් අනතුරේ’ ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස මෙම නිහඬ විරෝධතාවයට එක්ව සිටියහ.
එම ප්‍රදේශවල මාර්ග දෙපස සහ මුතුරාජවෙල පරිසර පද්ධතිය අවට ද එම පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

(ඡායාරූප ශාන්ත රත්නායක)