
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගෙන් අද(14) උදෑසන පැය එකහමාරක කාලයක් ප්‍රශ්න කළ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ඒ සඳහා කළ කැඳවීමකට අනුව මංගල සමරවීර මහතා මාතර කාලිදාස පාරේ පිහිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණියේය.
මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජේ.ඒ.සමන් හා උප පොලිස් පරීක්ෂක ජේ.පතිරත්න යන මහත්වරු සමරවීර මහතාගෙන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසා ඔහුගේ ප්‍රකාශය සටහන් කරගත්හ.
පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා හා නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස යහපාලන රජය සමයේ පොලිස් මූලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ විය.
දහවල් 11.10 පමණ ප්‍රකාශය ලබා දීමෙන් පසු පිටතට පැමිණි මංගල සමරවීරමහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීය.
“ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව බෞද්ධ දර්ශනය අනුව මම අද පොලීසියට තෝරලා දුන්නා. මාතර උපන් පරම්පරාගත බෞද්ධයෙකු ලෙස බෞද්ධ දර්ශනය කෙරෙහි දැඩි ලැදියාවක් මට තිබෙනවා. මගේ පියාගේ ළඟම ඥතිත්වයක් දක්වන හිමි නමක් තමයි මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්. බෞද්ධ දර්ශනය කියන්නේ ආගමකට ජාතියකට රටකට සීමා වු දෙයක් නොවෙයි. පෘථිවියටවත් සීමා නොවන විශ්ව දර්ශනයක් බව මම එහිදී පෙන්වා දුන්නා. මේ රට සිංහල බෞද්ධ දර්ශනයෙන් වසර 2500කට ආසන්න කාලයක් පෝෂණය වු රටක්. මේ රටට වසර එක්දහස් ගණනක කාලයක සිට හින්දු සංස්කෘතියත් මුස්ලිම් සංස්කෘතියත් දායක වී තිබෙනවා. ඒ නිසා අද ශ්‍රී ලාංකේය සංස්කෘතියක් ගොඩ නැගීමයි අවශ්‍ය වී තිබෙන්නේ. අවාසනාවකට සිවුරු දරාගත් සුලුතරයකට ඒක තේරුම් ගන්න බැරි වී තිබෙනවා”
මෙම අවස්ථාවට වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායකඋපුල් නිශාන්ත යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

COMMENTS
අයියෝ, පැය එකහමාරෙන් මොකක් අහගන්නද? තේ එකක් බීලා දුක සැප අහන කොටම පැය එකහමාරයි... තව චුට්ටක් ගිහිල්ලා. අඩුගානේ පැය 8ක්වත් තියාගත්තා නම් තමයි හොඳ..
මේ හාදයා හිතාගෙන ඉන්නේ රතන හාමුදුරුවොයි, ඥාණසාර හාමුදුරුවොයි සරණ යන එක සංඝං සරණං ගච්ඡාමි කියලා. නැහැ ඔය කියන්නේ සැරියුත් මුගලන් ආදි මහඅරහතුන් වහන්සේලා ගැන. හැබැයි සුළු ජාතික ත්‍රස්තවාදයෙන් රට බේරාගන්න ඉදිරියට එන්න කළින් හාමුදුරුවරු ඒකමතිකව තියාගන්න. ඔබලා කළේ ත්‍රස්තයින්ට උදව්කරපු එකයි.