(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
රියදුරු බලපත්‍රයක් නොමැතිව චැලි වර්ගයේ යතුරුපැදියක් පැදවු තරුණයෙකුගෙන් රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් මාතර පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (14) මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
 
කොළඹ ප්‍රදේශයේ හෝටලයක සේවය කරන එම තරුණයා කොරෝනා වයිරසය හේතුවෙන් රැකියාව අහිමි වී දැනට මාස 6ක පමණ කාලයක සිට නිවසට වී සිට ඇත.මිතුරකු හමු වීම සදහා අද මාතර නගරයට එන අතරතුරදී තුඩාව හංදිය ආසන්නයේ දී රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු නවතා රියදුරු බලපත්‍රය පරීක්ෂා කර ඇත.
 
එහිදී නීතිය ක්‍රියාත්මක නොකිරීමට නම් රුපියල් 5000 ක මුදලක් එම පොලිස් කොස්තාපල්වරයා ඉල්ලා තිබේ. ඒ අනුව අදාල තරුණයා ඒ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට දැනුම් දී තිබෙන අතර ඔහු වහා ක්‍රියාත්මක වී සිවිල් ඇදුමින් සැරසුණු නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබේ.
 
මාතර පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පතියකට සහභාගී වී පිටතට පැමිණී අවස්ථාවේ දී අදාල කොස්තාපල්වරයා අල්ලස් මුදල ලබා ගෙන ඇත.ඒ සමගම අදාල මුදල් නෝට්ටු සමගම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
 
දික්වැල්ලේ පදිංචි එම කොස්තාපල්වරයා හෙට (15) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් ද විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.