( පුෂ්පකුමාර ජයරත්න )

 

සමගි ජන බලවේගය නියෝජනය කරන රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන පක්ෂය වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයකුගේ වාහන පෙළකට ඊයේ (22) රාත්‍රියේ කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේ දී පහරදීමක් සිදුකර තිබේ.

 

එම ප්‍රහාරයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මෙහොමඩ් නසීර් මහතා ගමන් කළ වාහන තුනකට අලාභ හානි සිදුව ඇති බව වාර්තාවේ.

 

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදින මුස්ලිම් අපේක්ෂකයන්ට ආධාර පිණිස රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී වන ජන හමුවක් ඊයේ රාත්‍රියේ තෙලියාගොන්න ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී ඊට සහභාගි වීමට පැමිණි නසීර් මහතාගේ වාහන කිපයකට ප්‍රදේශවාසින් පිරිසක් විසින් මෙසේ පහරදී ඇතැයි වාර්තාවේ.

 

මේ කලබලකාරී වාතාවරණය  හේතුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා එම ජන හමුවට සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත . රිෂාඩ් බදියුදීන් මහතාගේ ජාතිවාදී අදහස් වලට විරෝධය පළ කරමින් තෙලියාගොන්න ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වෙයි.

 

 මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නසීර් මහතා කුරුණෑගල පොලීසියට පැමිණිලි කර ඇත.